2018 ජනවාරි 13 වන සෙනසුරාදා

හදවත ලොකු කරගන්න පුළුවන්ද?

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

“තනි ගෑනියෙක්ගෙන් පිරෙන්න තරම් උඹේ හදවත පුංචිද? එහෙම උන්ට දේශපාලනේ කරන්න බෑ බං..."

මේක “සහෝදරයා" ටෙලිනාට්‍යයේ ගිය වදන්‍ෙ මේ. අද කතා කරන්න යන්නේ සහෝදරයා ගැනවත්, දේශපාලනය ගැනවත් නොවෙයි, ආදරය ගැන. ආදරය කියන්නේ මිනිස් ඉතිහාසය පුරාම වැඩියෙන්ම භාවිත වුණු, කලා නිර්මාණ බිහිවුණු, දේශනා පවත්වපු, අර්ථකථන බිහිකරපු සහ නොයෙක් ආකාරවලින් පට්ට ගහපු මාතෘකාවක්. එනමුත් තවමත් පරිපූර්ණ ලෙස වටහානොගත්ත, නැත්නම් අර්ථකථනය නොවූ හැඟීමක්. මම හිතන්නේ ඒක නිසි ලෙස අර්ථකථනය හෝ විස්තර කරන්න බැරිවෙන්නේ ඒක අතිශය පුද්ගලානුබද්ධ හැඟීමක් නිසා වෙන්න ඇති. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ රීති පද්ධතියක් උඩ දුවන දෙයක්. එකම කෙනාට වුණත් යම් මොහොතක ඒ අනන්‍ය වූ රීතීන්, නියමයන් වෙනස් වීමකට ලක්වෙන්න පුළුවන්. සරලවම කියනවනම් ආදරයක් ඇතිවෙන මොහොත කියන්නේ accident එකක්. ඒක කොයි මොහොතේ මොන තත්ත්වයන් යටතේ කවුරුන් උදෙසා ඇතිවෙයිද කියලා අපිට සාස්තර කියන්න බෑ. ඉතින් එහෙව් හැඟීමක් ගැන, ඉහතින් සඳහන් කරපු දෙබස ඇහුණාම ආපු අදහසක් වචනවලට ගලපලා ලියන්නයි යන්නේ. අතිශය පුද්ගල කේන්ද්‍රීය දේවල්වලට සාර්වත්‍රික නියමයන් හෝ තර්ක ඉදිරිපත් කිරීම හරියන වැඩක් නොවේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඒක වචන විදිහට පෙළගස්වනකොට නාගන්න හෝ අනාගන්න ඉඩ තියෙන බව හොඳ හැටි දනිමින්ම ඊළඟ ඡේදයට පිවිසෙන්නම්.

යම් කෙනෙක් උදෙසා අපිට ඇතිවෙන ආදරය, එහෙමත් නැතිනම් accident එක ප්‍රකාශ කළාට පස්සේ අනෙක් පාර්ශවයෙන් ඒක පිළිගන්නා මොහොත කිසිසේත්ම ඔප්පු කළ හැකි දෙයක් නොවේ. විස්තරාත්මකව කියනවනම් මම ඔයාට ආදරෙයි කියලා කෙනෙක් තවත් කෙනෙක්ට කියන ප්‍රකාශය ඇත්තක් බවට ඔප්පු කළ හැකි දෙයක් නොවේ ඒ මොහොතේදී. ඒ වගේම අනෙක් පාර්ශවයෙන් ඔව් මාත් ඔයාට ආදරෙයි කියලා කියන එකත් එහෙමමයි. මේක ඇත්තක් ද බොරුවක් ද කියලා දැනගන්න පුළුවන් ප්‍රකාශයක් නොවේ, එය ඒ මොහොතේ දී ඇතිවන එකඟතාවයක්. අපි එකිනෙකා පිළිගන්නවා ඔව් අපි අපිට ආදරෙයි කියලා. හරියට ඔය ගණිතයේ දී එක එක ප්‍රමේයයන් සාධනය කරද්දී, නැත්නම් විවිධ සංකල්ප හදද්දී කරන පූර්ව උපකල්පන වගේ. එහෙම දෙයක් තියෙනවා කියලා පිළිගත්තට පස්සේ, නැත්නම් එහෙම දෙයක් ඇති ලෙස උපකල්පනය කරගත්තොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අනෙකා තමන්ට ආදරෙයි කියන ප්‍රකාශය ඇත්තක් ලෙස සැලකුවොත් තමයි ආදරය කියන ක්‍රියාවලියේ ඉදිරි ගමන කරගෙන යන්න පුළුවන් වෙන්නේ.

මේ පිළිගැනීමත් සමඟ ඒ පුද්ගලයන් දෙදෙනාගේම ජීවිත වෙනස් වෙනවා. මුලදී තමන්ගේ සියලු කාර්යයන් පිළිබඳ තමන් අත තිබූ පාලනය තවත් හවුල්කාරයෙක්ට පවරන්න වෙනවා. අපි කරන වැඩ, අපි අනෙක් අයත් එක්ක තියෙන සම්බන්ධතා re-model කරගන්න අපිට සිද්ධවෙනවා.  තීරණ ගැනීමේ දී මම අතේ තිබ්බ අධිකාරී බලය මම ආදරය කරන කෙනා සමඟ බෙදාගන්නට යොමුවෙනවා. මේක ගිවිසුමක් අත්සන් කරලා වෙන වෙනම කතාවෙලා වෙන දෙයක් නොවේ. ස්වයංක්‍රීයවම සිද්ධවෙන දෙයක්. මේ නිසා ඒ පුද්ගලයන් දෙදෙනාගේ ජීවිත වෙනස් වෙන්න ගන්නවා.  අවිඥානිකවම අපි අනෙක් පුද්ගලයන් හෝ අප අවට සමාජයත් සමග පැවැත්වූ සම්බන්ධතාවල තීව්‍රතාවය අඩුවෙන්න ගන්නවා. අපි තවදුරටත් සලකන්නේ, වද වෙන්නේ අපි ආදරය කරන කෙනාගේ කාර්යයන් සහ හැඟීම් වෙනුවෙන්. 

අපි කඩේ යන්නේ, ෆිල්ම් බලන්න යන්නේ, බීච් යන්නේ, ගේ අතුපතු ගාන්නේ, උයන්න උදව් වෙන්නේ, ලෙඩක් වුණාම බලාකියාගන්නේ, ආදී මෙකී නොකී කාර්යයන් කරන්නේ, සොයා බලන්නේ අපි ආදරය කරන කෙනා වෙනුවෙන් පමණයි. එහෙම නැත්නම් ආදරය කරන කෙනා වෙනුවෙන් කරන මේ වැඩ අනෙක් අය වෙනුවෙන් කරනාවට වඩා පැහැදිලි ඉහළ අගයකින් යුතුයි. මේක තමයි අපි අපේ පෙම්වතා හෝ පෙම්වතිය අනෙක් අයගෙන් වෙන් කරලා පෙන්වන බෙදුම් රේඛාව. ආදරය ප්‍රකාශ කරන මොහොත හුදු පිළිගැනීමක්/ උපකල්පනයක් වෙද්දී එතනින් එහාට ප්‍රේමය සාධනය කරන පියවරයන් තමයි, මේ එක් කෙනෙක් උදෙසා කරන කැපවීම. ඒ කැපවීම සමාජයේ අනෙකුන් උදෙසා කරන කැපවීමෙන් පැහැදිලිව වෙන්කොට හඳුනාගන්න බැරිනම් අපේ ආදරය සාධනය කරගන්න තරමක් අමාරැවෙන්න පුළුවන්. නැතිනම් අපේ ආදරය සැබැවින්ම පවතින්නක් බව අනෙක් පාර්ශවයට ඒත්තුගන්වන්න අමාරුවෙන්න පුළුවන්. ආදරය පිළිගන්නා අවස්ථාවේ දී එය ඔප්පු කර දැක්වීමක් අවශ්‍ය නොවුණත් ආදරය පවත්වාගෙන යාමේදී මේ ඔප්පු කිරීම් අවශ්‍ය වෙන්නක් බවට අවිඥානිකවම පත්වෙනවා.

ඉතින්, එක ගෑනියෙක්ගෙන්, එහෙමත් නැතිනම් එක් සහකරැවෙක්ගෙන් පිරෙන්න තරම් හදවත පුංචිද?... ඒ කියන්නේ අපි අනෙකෙක් වෙනුවෙන් කරනා කැපකිරීම, සැලකිල්ල යනු අපි ආදරය කරන බවට එකඟතාවක් ඇතිකරගත් කෙනා වෙනුවෙන් පමණක් කරන දෙයක් විය යුතුද?... එසේත් නැත්නම් ඒ සැලකිල්ලේ හෝ කැපකිරීමේ ඉහළ තීව්‍රතාව සමාජයක් උදෙසා පවත්වාගත නොහැකිද?... එසේ පවත්වාගතහොත් දෙදෙනෙක් අතර ඇතිවන ප්‍රේමයේ නිශ්චිත හඳුනාගැනීමේ සංකේතය කායික සන්තර්පණය උඩ දිවෙන්නක් බවට පත්වේද?...

 දසුන් සිල්වා