2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ධීවරයන් අතට දෙන ඉලෙක්ට්‍රොනික් ලා‍ෙග් පා‍ෙත

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

ධීවර කාර්මිකයන්ට ඉලෙක්ට්‍රොනික් ලොග් පොත් ලබාදීම ලෝකයේ පිළිගැනීමට ලක්වී ඇති ක්‍රමවේදයකි. මෙම ඉලෙක්ට්‍රොනික් ලොග් පොත් ලබාදීම සඳහා රුපියල් මිලියන 150 ආසන්න මුදලක් වෙන් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කටයුතු කර ඇති බව සඳහන් වේ.

වරින් වර නවීන තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීම ධීවර අමාත්‍යංශය විසින් සිදුකළද ඉදිරියේදී ධීවරයන්ට ලබාදීමට සැලසුම්කර ඇති ඉලෙක්ට්‍රොනික් ලොග් පොත් (පරිගණක ටැබ්) පිළිබඳව ධීවරයන් අතර වැඩි කතාබහට ලක්වී ඇත. මේ පිළිබඳ නිසි දැනුමක් තවමත් ධීවරයන්ට නොලැබීම තුළ මෙය ගැටලුවක් වේදැයි ඇතැම් ධීවරයෝ ප්‍රශ්න කරති. ඒ හේතුවෙන් මෙම පරිගණක ටැබ් ලබාදීම පිළිබඳ සමහරුන් සතුටු නොවූවද බහුදින යාත්‍රා හිමියන් සහා බහුතර ධීවරයන් මෙම තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ දක්වන්නේ යහපත් ප්‍රතිචාරයකි.

ජලය අභ්‍යන්තරයේ වුවත් හානියක් නොවී සටහන් තබා ගත හැකි වන පරිදි සකස්කර ඇති මෙම ඉලෙක්ට්‍රොනික් ලොග් පොත ධීවර ක්ෂේත්‍රයේ වගකීමකින් යුතුව කර්මාන්තයේ නිරතවන්නට සාර්ථක කළමනාකරණ ක්‍රමවේදයක් බව මේ පිළිබඳ දැනුම්වත් වී ඇති ධීවරයන්ගේ අදහසය.

මෙම නව තාක්ෂණය හඳුන්වාදීමට කරුණු කිහිපයක් මූලික වුවද මූලිකම අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර මුහුදේ සිදුකරන නිති විරෝධී ක්‍රියා වැළැක්වීම සහ ඒ තුළින් ජාත්‍යන්තර නීතිය පිළිපදින ධීවරයන් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමකට ලක් කිරීමයි. එමෙන්ම මෙම ටැබ් යන්ත්‍රය මගින් දුරකථනයකින් ගත හැකි ප්‍රයෝජනද ලබාගැනීමේ හැකියාව පවතී.

ධීවර ප්‍රජාවට මෙම නව තාක්ෂණය හඳුන්වා දීමෙන් සාගරයේදී නෙළා ගන්නා මත්ස්‍ය සම්පත පිළිබඳ දත්ත මෙම ඉලෙක්ට්‍රොනික් ලොග් පොතෙහි දෛනිකව අන්තර්ගත කරමින් අන්තර් ජාතික ධීවර නීති හා ප්‍රතිපත්තීන්ට අනුව විද්‍යාත්මකව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර පිරිසක් නිර්මාණය කිරීම මේ තුළින් හැකිවන බව ධීවර අමාත්‍යංශය සඳහන් කරයි.

මුහුදේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීමේදි අන්තර්ජාතික නීති අනුව එක් එක් බහුදින යාත්‍රා විසින් අල්ලා ගන්නා මසුන් පිළිබඳ දත්ත පරිගණක ගත කර එම තොරතුරැ සෑම රටක්ම යුරෝපා සංගමයට ලබාදිය යුතුවේ. කළමනාකරණයකින් තොරව සිදුකරන ධීවර කර්මාන්තය වැළැක්වීම, ඉවක් බවක් නැතුව සිදුකරන ධීවර කර්මාන්තයේදී සිදුකරන සම්පත් අවභාවිතය වැළැක්වීමටත් මෙම තාක්ෂණය පිටුවහලක් වනු ඇතැයි බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ විශ්වාසයයි.

ධීවර කර්මාන්තය සම්බන්ධ අන්තර්ජාතික ධීවර නීති රීති පිළිබඳව රටක් වශයෙන් ශ්‍රී ලංකාවද අන්තර්ජාතික පිළිගැනීමට ලක්වීම අත්‍යවශ්‍යවේ. පසුගිය රජය සමයේ යුරෝපා සංගමය විසින් මෙරට මත්ස්‍ය අපනයනයට තහනම් පනවනු ලැබුවේ අන්තර් ජාතික නීති ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම හේතුවෙන් බව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය කියයි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ තොරතුරු වලට අනුව වාර්ෂිකව ඉන්දියානු සාගර ටූනා කොමිසම මගින් ප්‍රසිද්ධ කරනු ලබන අනුකූලතා මට්ටමේ 2014 වන විට 18%සිට ශ්‍රී ලංකාව වර්තමානය වනවිට 77%දක්වා එම ලකුණු ප්‍රමාණය ඉහළ නැග ඇත. වසර තුනක් වැනි කාලයක් තුළ එය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකිවීම ධීවරයන් සිටින රටක් වශයෙන් ලබාගත් ජයග්‍රහණයකි.

පසුගිය වසර දෙක තුළ හඳුන්වා දෙන ලද නීති රීති මෙන්ම නව කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මකවීම එම ජයග්‍රහණයට හේතුවී ඇත. නවීන තාක්ෂණය යොදාගෙන සිදුකරන කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම තුළින් ධීවර කාර්මිකයාගේ කාලය සහ මුදල් ඉතිරි කර ගැනීම මෙන්ම ආදායමක්ද වර්ධනය කර ගත හැකියි. තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව ධීවර දත්ත කළමණාකරනය සඳහා ඉලෙක්ට්‍රොනික් ලොග්පොත් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට නවතම හඳුන්වාදීමකි. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මාර්ග සිතියම යටතේ හඳුන්වා දුන් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නංවා තිබේ.

වර්තමාන දත්ත කළමනාකරණයේ පවතින අඩුපාඩු අවම කර ගැනීමට යෝජනා වූ මෙම ක්‍රමවේදය යුරෝපා සංගමයේ අවධානයට ලක්වීමෙන් මත්ස්‍ය තහනම ඉවත් කිරීම සඳහා වූ ධනාත්මක බලපෑමක් එල්ල කෙරිණි. වර්තමානයේ ක්‍රියාත්මක වන අතින් ලිවීමේ ලොග්පොත් සටහන් කිරීමේදී මතුවන අඩුපාඩු මගහරවා ගැනීමට මෙම ක්‍රමවේදය තුළින් හැකියාව ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත ප්‍රනාන්දු මහතා කියයි. 

මසුන් ඇල්ලූ ස්ථාන මෙම ලොග් පොතෙහි ස්වයංක්‍රියව සටහන්වන අතර අල්ලා ගන්නා ලද මසුන් ප්‍රමාණය පිළිබඳ දත්ත ලබාදීම ඉතාම පහසුවන අතර යුරෝපා මත්ස්‍ය වෙළෙඳපොළ සඳහා මසුන් අපනයනය කිරීමේදී එම මසුන් අල්ලාගත් ධීවර මෙහෙයුම නීත්‍යානුකූල එකක් බව ධීවර දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් ලබාදිය යුතු බැවින් එයද ගැටලුවකින් තොරව ඉටුකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. වර්තමානයේදී එම කාර්යය සිදුකරනුයේ අතින් තොරතුරැ සටහන් කරගන්නා ලොග් පොත සහා VMS තොරතුරැ සැසඳීමෙන් ලබාදෙන සත්‍යෝක්ෂණ වාර්තා මගිනි. මේ සඳහා අධික කාලයක් ගතවන අතර නිර්වද්‍යතාවය පිළිබඳ ගැටලුද මතුවී ඇත.

නව තාක්ෂණය මගින් මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු යාත්‍රාව වරායට පැමිණීමට නාවික සැතපුම් 12 පමණ පෙර GSM කලාපයට පැමිණි විගස ධීවර දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියට ඇතුළුවීම තුළ ඉහත සත්‍යෝක්ෂණ වාර්තාව ස්වයංක්‍රීයව ඉතා ඉක්මනින් ලබාදිය හැකිවන අතර මසුන් අපනයනය ප්‍රමාදයකින් තොතරව සිදුකරගත හැකි බවද සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සභාපතිවරයා කියයි.

ජාත්‍යන්තර අපකීර්තියට පත්වී යුරෝපා මත්ස්‍ය තහනමට ලක්වන තුරැ නව දැනුම ලබා ගැනීම, නව තාක්ෂණය වැළඳ ගැනීම, ධීවර සම්පත් සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් නොවූවද වර්තමානය වනවිට ඒ සඳහා යොමුවීම ධීවරයන්ගේ පැසසීමට ලක්වී ඇත. ජාත්‍යන්තර නීතිරීති සකසා ඇත්තේ කර්මාන්තය රැකගැනීමට මෙන්ම ලෝකයේ සියලු දෙනාටම එකම ක්‍රමවේදයකට සැලකීම සඳහාය. එම නීතිරීති පිළිපැදීමෙන් රට ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වේ.

මෙම ඉලෙක්ට්‍රොනික් ලොග් සටහන් පොත ධීවරයන් අතට පත්වූ පසු පිටත්වීමේ පෝරම, යාත්‍ර පරීක්ෂණ සරල ක්‍රමවේදයකට පත්කර කාලය සහා මුදල් ඉතුරු කරගත හැකි බවත් දැනට අත්විඳින අපහසුකම් රාශියක් මගහරවා ගත හැකි බවත් විශ්වාස කෙරේ. ටැබ් යන්ත්‍රය භාවිත කරන යාත්‍රාවලට අන්තර් ජාතික ධීවර බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීමට ධීවර අමාත්‍යංශය සැලසුම් කර ඇති බව සඳහන්වෙයි. VMS යන්ත්‍රයක් නොමැති වුවද (ටැබ් පරිගණකය) තිබීමෙන් ගමන් කරන මාර්ග ස්වයංක්‍රීයව සටහන් වීමෙන් අන්තර් ජාතික මුහුදේ සිදුකරන ක්‍රියාවන් ගොඩ බිමට පැමිණි පසු නිරීක්ෂණය කළ හැක. අන්තර් ජාතික ධීවර බලපත්‍ර මගින් වෙනත් රටවල මුහුදු සීමා ආසන්නයට යෑමට හෝ එම සීමා හරහා වෙනත් අන්තර් ජාතික මුහුදකට පිවිසීමට අවසර නොලැබූ නමුත් අන්තර් ජාතික මුහුදේ සැලකිය යුතු ප්‍රදේශයකට ගමන් කිරීමට හැකියාව ලැබේ.

රජයෙන් නොමිලයේ ලබාදෙන ඉලෙක්ට්‍රොනික් ලොක් පොත් (පරිගණක ටැබ් යන්ත්‍රය) ලබාගැනීමට හැකි වන්නේ 2012 සහා 2013 වර්ෂවල ඉන්ධන කූපන් ලබාගෙන එම යන්ත්‍ර අද වනතුරු එම ධීවරයන් සතුව පවතී නම් පමණි. එමෙන්ම මෙම ටැබ් යන්ත්‍ර මිලදී ගෙන ඉලෙක්ට්‍රොනික් ලොග් පද්ධතියට ඇතුළුවීමට හැකියාවක් ඇත. අන්තර් ජාතික ධීවර බලපත්‍රයක හිමිකරුවකුට වුවද මේ ටැබ් යන්ත්‍රය මිලදී ගැනීමේ බාධාවක් නැත. එක් ටැබ් යන්ත්‍රයක් එක් ධීවර යාත්‍රාවක් සඳහා පමණක් වලංගුවේ. මෙම ටැබ් යන්ත්‍රය පරිහරණය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කරන බවද කියයි.

මෙය භාවිත කිරීම සඳහා ඉන්ටනෙට් දත්ත කාඩ්පතක් අවශ්‍ය වන අතර ඒ සඳහා කුමන හෝ දත්ත කාඩ්පතක් භාවිතා කිරීමේ හැකියාව පවතී. දත්ත කාඩ්පත යන්ත්‍රයට ඇතුළු කිරීමට පෙර වරාය කාර්යාලය දැනුවත් කර දත්ත ප්‍රමාණය හා සංඥා තීව්‍රරතාවය පිළිබඳ පරික්ෂා කර අවසර ලබා ගත යුතු ඉදිරියේදී එක් එක් වරාය කලාපයන් තුල Wi fi කලාප ඇතිකර නොමිලයේ එම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ධීවර අමාත්‍යංශය සඳහන් කරයි. ධීවර අමාත්‍යංශය විසින් හඳුන්වාදී ඇති ඉලෙක්ට්‍රොනික් ලොග් පොත පිළිබඳ සමස්තලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත ප්‍රනාන්දු මහතා යහපත් ප්‍රතිචාරයක් දැක්වූවද පුත්තලම් දිස්ත්‍රික් ධීවර සංවිධානයේ  සභාපති කැමිලස් පෙරේරා මහතා දැක්වූයේ අයහපත් ප්‍රතිචාරයකි.

ටැබ් පරිගණකයක් දෙනවා කියනවා අහලා තිබෙනවා. දැනුම්වත් වෙලා නැහැ. මේ පිළිබඳ හරිහැටි කරුණු දන්නෙ නැහැ. යමක් කරන කොට හොඳ හරි නරක හරි දැනුවත්වීම වැදගත්. එහෙම නොවීම තුළ අද මේ පිළිබඳ කතාබහට ලක්වෙලා තිබෙනවා. අමාත්‍යංශය මේ වගේ තීරණයක් ගත්තහම ධීවර පරික්ෂක මහත්වරුන් මගින් හරි දැනුවත් කිරීම් බිම් මට්ටමින් කරන්න ඕනා. එහෙම නැති නිසා තමයි ධීවරයන්ට මේ ටැබ් එක කියන්නෙ මොකක්ද? මොනවද කරන්න පුළුවන?  ඒක ලබාගන්නෙ කොහොමද? ඒකෙන් ලැබෙන යහපත අයහපත මොකක්ද? කියලා දන්නෙ නැහැ. මේ ගැන හරි වැටහීමක් සභාපතිවරයා විදිහට මමවත් නොදන්නවා නම් මට මීට වඩා කියන්න දෙයක් නැහැ.
මෙම නවීන තාක්ෂණය හඳුන්වාදීම යහපත් බව කරුණු දන්නා ධීවරයන් දැන සිටියද නොදන්නා අයට මෙය ප්‍රහේළිකාවකි. එසේ නම් බිම් මට්ටමින් මේ පිළිබඳ දැනුම්වත් කිරීම තුළ වැඩි ප්‍රතිපලයක් ලබාගැනීමට හැකිවනු ඇත.

► රෝවන් පෙරේරා පුත්තලම