2018 ජනවාරි 13 වන සෙනසුරාදා

උත්සව කාලෙදි ලෙඩ දෙන කෑම

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 253

ආයුර්වේදයට අනුව එකම රසයක් එකදිගට අනුභව කිරීම රෝගී වීමට හේතුවිය හැක. විශේෂයෙන් සීනි සහ කාබෝහයිඩ්‍රේට් එකදිගට අනුභව කිරීමෙන් රෝගී තත්ත්ව ඇතිවිය හැක. මේ නිසා දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල් වැනි රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවේ. එමෙන්ම වැඩිපුර සීනි සහ සීනි යොදා ආහාර ගැනීමෙන් සිරැරේ මේදය නිපදවීමක් සිදුවේ. අද වෙද්දී සමාජයේ බොහෝ දෙනෙක් කාබෝහයිඩ්‍රේට්, මේදය අඩංගු ආහාර මෙන්ම පැණි රස ආහාර වැඩිපුර ආහාරයට එක්කරගැනීමට පුරුදුව සිටිති. මේ නිසා රෝගවලින් ඈත්වීමට නම් ඔබ නොදැනුවත්වම ගනු ලබන ආහාරවලින් ඈත් විය යුතුය. ඒ වෙනුවට ශරීරයට හිතකර වූ ආහාරවලට පුරුදු වෙන්න. එමෙන්ම වසර ආරම්භය උත්සවවලට සහභාගී වීමේ අවස්ථා වැඩිවන අවධියකි. ඒ කාලවලදී ආහාරවලින් පරිස්සම් වීම ඉතා වැදගත් වේ.

ආහාර ගැනීමෙන් පසුව උණුවතුර පානය කරන්න

සාමාන්‍යයෙන් කුසෙන් අඩක් පිරෙන් ලෙස කෑම ගෙන ඉතිරි ¼ සඳහා ජලය ද ඉතිරිය හිස්වද තබන්න. ආහාර ගැනීමෙන් පසුව මඳ උණුසුම් වතුර පානය කරන්න. නමුත් කෑමට පසුව වැඩිපුර ජලය පානය කිරීමෙන් වළකින්න. දිනකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය එකවර නොගෙන ටිකින් ටික ගෙන දවස අවසානයේ දී සම්පූර්ණ කිරීමට උත්සාහ ගන්න.

වැඩිපුර තෙල්, සීනි යෙදු ආහාර ගැනීමෙන් පසුව කෙඳි සහිත එළවළු වර්ග කොහිල, බණ්ඩක්කා, පතෝල, වැටකොළු වැනි කෙඳි අධික කැලරි අඩු එළවළු වැඩිපුර ඔබේ කෑම වේලට එක්කරගන්න. එසේම ප්‍රධාන ආහාරය අඩුකර ඒ වෙනුවට වැඩිපුර පළතුරැ ගන්න. මේ කාලවලදී මාස්මාංශ ආහාර ගැනීමෙන් වළකින්න. අගුණ කොළ, කතුරුමුරුංගා, පළා වර්ග, මැල්ලුම් සේ සකසා ආහාරයට ගන්න. එමෙන්ම රණවරා වැනි කැඳ වර්ග පානය කරන්න. රාත්‍රියට එළවළු සුප් එකක් හෝ ලුණු කැඳ වැනි සැහැල්ලු ආහාරයක් ගන්න.

උදේ තේ වෙනුවට කැඳ වීදුරුවක් පානය කරන්න

පසුගිය දිනවලදී එකදිගට නත්තල් වෙනුවෙන් පැවැත් වූ උත්සව නව වසර වෙනුවෙන් පැවැත් වූ උත්සව වෙනුවෙන් සහභාගී වූ ඔබේ සීනි මට්ටම වැඩි වීමක් සිදුවී තිබෙන්නට පුළුවනි. මේ නිසා තේවලට සීනි අඩුකර කිරි පිටි ද අඩු කරන්න. තේ වෙනුවට ධාන්‍ය හෝ කොළ කැඳ වීදුරුවක් බොන්න. වැඩිපුර රතු හාල් බත් ආහාරයට එක්කරගන්න. ගම්මිරිස් ඇට 4ක්, සියඹලා ඉස්ම හැදි දෙකක්, සුදු ලූනු බික් 02ක්, ගොරකා අවුන්සයක්, කරපිංචා කිනිත්තක් රස අනුව ලූනු ගෙන සිහින්ව අඹරා ගන්න. මෙය තේ හැඳි භාගයක් බැගින් සතියකට දින දෙකක් ආහාරයට ගන්න. මෙය සීනි සහ කොලොස්ටරෝල් ඇති අයට ඉතා ගුණදායක වේ.

සිරුරේ තෙල් අඩුකර ගැනීමට
ඔබ විසින් දිනපතා සාදන ලද ව්‍යාංජනවලට කරපිංචා, සුදු ලූනු, කුරුඳු පොතු, ගොරකා, උළුහාල් වැඩිපුර එක්කරගන්න. එමෙන්ම ව්‍යාංජනයක් ලෙසින් සුදු ලූනු ව්‍යාංජනය පිළියෙළ කරගන්න. මෙම සුදු ලූනු ව්‍යාංජනයට කරපිංචා, ගොරකා සහ තුනපහ කුඩු එක්කරගන්න. ආහාරයේ වැඩිපුර ඇති මේද කොටස් ඒ මඟින් සමනය වේ. ආහාර රුචිය ඇතිවේ. බඩ පිපුම සමනය කරගත හැකිවේ.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00