මා ඒ ලෙවල් නරඹමින් සිටියේ කඩුවෙල පිහිටි සිනමා ශාලාවකය. විශාල නරඹන්නන් පිරිසක් ඒ අවස්ථාවේ නොසිටියත් සිටි පිරිස අතරින් බහුතරයක් යොවුන් වියේ උසස්පෙළ කරන සිසුන් බව පෙනුණි. චිත්‍රපටය මිනිත්තු 88කින් පසු නිමාවූවිට ඔවුහු අයියෝ.. ඉවරයිනේ.. කියා දුකට පත් වූහ. ඊට පසු අත්පොලසන් නගමින් තම ප්‍රතිචාර දැක්වූහ. එම සිද්ධියෙන්ම ඒ ලෙවල් චිත්‍රපටය එහි ඉලක්ක ප්‍රේක්ෂකයන් වූ තව නව යොවුන් තරුණයන්ට අල්ලලා ගිය බව පැහැදිලිය.
රොහාන් පෙරේරාගේ දෙවන අධ්‍යක්ෂණය ඒ ලෙවල්ය. ඔහුගේ පළමු චිත්‍රපටය හීන හොයන සමනල්ලු ද විචාරක අවධානයට ලක්වූවකි. මේ කතාව ද රොහාන්ගේමය. මහාරාජා එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය තරුණ සිසු පිරිසකගේ පෙම් කතාවක්ම නොව යටි පෙළ අරුතක් ද සහිතව ගලා යන සොඳුරු නිර්මාණයකි.
ළමා පරපුරට හා වැඩිහිටි පරපුර ඉලක්ක කරගත් චිත්‍රපට බහුලව බිහිවුව ද උසස් පෙළ පන්තිවල ඉගෙනගන්නා සිසුන් තේමා කරගත් චිත්‍රපට බිහිවන්නේ කලාතුරකිනි. පාසල් අධ්‍යාපනය නිමකර නිදහස් සමාජයට පියමනිනා එම වයස් කාණ්ඩයේ පිරිස අමතන නිර්මාණයක් වශයෙන් ඒ ලෙවල් හඳුන්වා දීමට පුළුවන.
අනුත්තර, අෂාන්, යොමාල් ඇතුළු පිරිස ඉගෙනගන්නේ කඳුකරය පසුබිම් වූ මිශ්‍ර පාසලකය. ඔවුන්ට අවශ්‍ය ඒ ලෙවල් ගොඩදාගෙන සරසවියට සමත්වීමයි. පාසලේ දක්ෂම ශිෂ්‍යයා අනුත්තරය. (සචිර විජේසිංහ) පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක වූ ඔහු මාධ්‍ය ඒකකයේ ද සභාපතිය. උසස් පෙළ පන්තියේ අලුතින් වෙනත් පාසල්වලින් එක් වූ ශිෂ්‍ය කණ්ඩායමේ අහිංසා (ලහිරුකා ඒකනායක) ද සිටින්නීය. A නවයක් අරන් සා.පෙළ සමත් වූ නමුත් අහිංසාගේ මතුපිටින් පෙනෙන සිනහව යටින් විශාල අර්බුදයක් පවතින බව අනුත්තර වටහා ගනී. ඔහු ඇයට සරණක් වීමට උත්සාහ කරයි. ඒ අතර අනුත්තර හා අහිංසා අතර අප්‍රකාශිත ප්‍රේමයක් හට ගනී. අහිංසා ජීවත්වන්නේ ඇයගේ වැඩිමල් සොයුරිය වන පාරමී (උමාලි තිලකරත්න) ගේ නිවසේය. පාරමීගේ දියණිය ඇගේ මාමා (ජයලත් මනෝරත්න) අතින් අතවරයට පත්වන අතර එය දන්නේ අහිංසා පමණි. මේ නිසා අහිංසා ද විශාල පීඩාවකින් කල්ගෙවන බව පෙනේ.
ප්‍රේක්ෂකයා තුළ අවසන් මොහොත දක්වාම කුතුහලය රඳවා ගැනීමට සමත් තිර රචනයක් උපයෝගී කර ගැනීම නිසා ඒ ලෙවල් කම්මැලිකමකින් තොරව නැරඹිය හැකිය. එහි ගලායාම වේගවත්ය. අනවශ්‍ය වැල්වටාරම්වලට නොගොස් අධ්‍යක්ෂවරයා තමාට අවශ්‍ය කතා තේමාවට නාභිගත කරගත් රූපාවලියකින් එය සමන්විතය. කැමරාවට ආධුනික විශාල තරැණ කණ්ඩායමක් හැසිරවීම ලේසිපහසු කාරණයක් නොවේ. නමුත් අධ්‍යක්ෂ රොහාන් මේ තරුණ කණ්ඩායම බොහෝ දුරට සාර්ථකව හසුරැවා ඇති බව ප්‍රේක්ෂක අපට පෙනේ. මේ නිසා රොහාන් තම පළමු කඩයිම සාර්ථකව ජයගෙන තිබේ. ඒ චරිතවලට උචිත පිරිසක් හෙවත් නිසි නළුවරණයක් කිරීමෙනි.
උසස් පෙළ හා ඊට පහළ ප්‍රාථමික පන්තිවල සිසුන් ද මෙහි දැකගත හැකිය. සෑම සිසුවකුගේම රංගනය සාර්ථකය. ඒ අතරින් සචිර විජේසිංහ අනුත්තර ලෙස කදිම රඟපෑමක් ඉදිරිපත් කරයි. ලහිරුකාගේ (අහිංසා) රංගනය තවදුරටත් වර්ධනය කරගත හැකිව තිබුණි. ඇය දෙලොවකට මැදි වූ සංකීර්ණ චරිතයක් නිරෑපණය කරන්නීය. තම යාලු මිත්‍රයන්ටත් විභාගෙන් ගොඩයාමට උපකාර කරමින් මිත්‍රත්වය මත විශ්වාසය තබා කටයුතු කරන යහපත් තරුණයෙක් ලෙස අනුත්තර චරිතය ගලා යයි. එක් මොහොතකදී ඔහු තම මිතුරකුට අදින් පස්සේ උඹ මගේ යාළුවෙක් නෙවෙයි කියන්නේ එම විශ්වාසය බිඳ වැටුණු මොහොතකය. සමාජයේ සියලු දෙනාම අහිංසා නරක ගෑනියෙක් යන මතය පතුරවද්දී අනුත්තර පමණක් ඇය අවබෝධ කරගෙන සිටී. අවසානයේ චිත්‍රපටය සුභවාදී අවසානයකට එන්නේ පන්තියේ සියලු දෙනා උසස් පෙළ විභාගයට වාඩි වීමෙන් සුභවාදී අනාගතයකට සිහින දැකීමෙනි.
කතා තේමාවට ගැලපෙන සංගීතයක් සුරේෂ් මාලියද්දගෙන් සැපයී තිබේ. ඒ අතරම රුවන් කොස්තාගේ කැමරාකරණය ද ඉහළ මට්ටමක පවතී. සමහර තීරණාත්මක අවස්ථා කැමරා කිහිපයකින් රූගත කර ඇති අතර අතීතාවර්ජන අවස්ථාවේ වෙනත් කෝණයකින් එම සිද්ධිය ඉදිරිපත් කිරීම (සිසු පිරිසට මහා මාර්ගයේදී මැරයන් පහරදෙන අවස්ථාව, පන්ති කාමරයේදී අනුත්තරට අහිංසා රස කැවිලි ගෙනවිත් දීම වැනි) සාර්ථක දෘෂ්‍ය උපක්‍රමයකි. එහිදී අදාළ ජවනිකාව අතීතාවර්ජන අවස්ථාවේ වෙනත් කෝණයකින් දැකීමේ අවස්ථා හිමි වී තිබේ.
අද සමහරු චිත්‍රපටවල අනවශ්‍ය පරිදි ඩ්‍රෝන කැමරා පාවිච්චි කළ ද මෙහි එවන් අවස්ථා ඇත්තේ එකක් පමණි. එය ද චිත්‍රපටයේ ගලායාමට අවශ්‍ය පරිදිය.
සමහර චිත්‍රපටවල ගුරුවරු දකිනවිට ඉගැන්නිල්ලත් ඉගෙන ගැනීමත් එපා වේ. මෙහිනම් ගුරුවරිය ඉගැන්වීමට ඉතා බුහුටිය.
ජයලත් මනෝරත්න (මාමා), චමිලා පීරිස් (විදුහල්පතිනිය), චාන්දනී සෙනවිරත්න (නීතීඥවරිය), ජයනී සේනානායක (අසල්වැසි කාන්තාව සිල්වියා) තම චරිතවලට මනා සාධාරණයක් ඉටු කරති. ඒ අතරින් බටහිරට ලැදි තනිකඩ චරිතයක් ලෙස ජයනි කදිම රංගනයක් ඉදිරිපත් කරන්නීය. ඒ අතරට අසල්වැසියන්ට උපකාර කරන සාධාරණයට තැන දෙන චරිතයක් ලෙස ද ඇය මේ චරිතය හසුරුවා ගන්නීය. උමාලි තිලකරත්න සහ තුමිදු දොඩන්තැන්න ද සාර්ථක රංගනයක් ඉදිරිපත් කරති. චිත්‍රපටයේ සාර්ථකත්වයට මේ නළු නිළි කැළගේ කැපවීම ද බලපා ඇති බව නොරහසකි.
චිත්‍රපටයේ සංස්කරණය ගැනද යමක් කිව යුත්තේ මෙහි ඒකීය ගලායාමට සංස්කරණය ද ඉවහල්වී ඇති බැවිනි. චිත්‍රපටය ආරම්භ වන්නේ එහි අතරමැදදී දැකගත හැකි පහරදීමේ සිද්ධියෙනි. ඊට පසු චිත්‍රපටය ආරම්භ වේ.
පන්ති කාමරයේ සිසු හැසිරීම්, පුස්තකාලයේ දර්ශන මෙන්ම ටියුෂන් ක්ලාස් අසල සිසු හැසිරීම් ද කදිමට ග්‍රහණය කර ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත. මෙහි ගැටලු අවස්ථා කිහිපයක් ද අපට හමුවේ. නවක වදය ලබා දෙන්නේ පිරිමි සිසුන් විසින් ගැහැණු සිසුන්ට පමණකි. මෙම අලුතින් පන්තියට පිරිමි සිසුන් පැමිණියේ නැද්ද යන සැකය ප්‍රේක්ෂකයා තුළ මතුවේ. සිසුන් පෞද්ගලික විනෝද චාරිකාවක යන්නේ පාසල් නිල ඇඳුමෙනි. පෞද්ගලික චාරිකාවලදී පාසල් නිල ඇඳුම භාවිත නොවේ. ළමා චිත්‍රපටයකදී මේවා එතරම් ගතයුතු දේ නොවුව ද වැඩිහිටි චිත්‍රපටයකදී තාක්ෂණික කරුණු ගැන ද සැලකිලිමත් විය යුතු වේ.
නමුත් සමස්තයක් ලෙස සැලකූවිට නම් පැවසිය හැක්කේ රොහාන් පෙරේරා ඒ ලෙවල් පාස් බවය.
- කුසුම්සිරි -