2018 ජනවාරි 20 වන සෙනසුරාදා

මාගම් සෝලියක්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

දඹදිව ඈත පිටිසර ගමක් තිබුණා. එහි වැසියෝ හරි දිළිඳුයි. ජීවත්වුණේ ගොවිතැනින්. වෙනත් කිසිම කර්මාන්තයක් ඒ ගම තිබුණේ නෑ. මේ ගමට එක් නායකයෙක් උන්නා. ඔහු කෙළිලොල්. ඒ වාගේම කපටියෙක්. කුම්මැහියෙක්. වතුපිටි හරකබානෙන් ද අඩුවක් නෑ.

ඒ ගම බොහෝම යහපත් ගොවියෙක් උන්නා. තමන්ගේ පාඩුවේ ජීවත් වූ ඔහුගෙන් සතා සර්පයකුටවත් අබමල් රොනක තරම්වත් වැරැද්දක් වුණේ නෑ. ඒ තරම්ම සිල්වත්.

මේ ගොවියාගේ බිරිය ඔහුට වඩා රූමත්. ඒ වුණාට කරුණාවන්තයි. කොයි කා සමඟත් හොඳ හිත රැකගත්තා. එහෙත් සැමියාට වඩා දැඟලිලි ගතියක් නම් තිබුණා. එය ඔවුන්ගේ සමගියට ප්‍රශ්නයක් වුණේ නෑ. කිසි දිනක අඬ දබර කර ගත්තේත් නෑ.

ඒ අතර ගම් නායකයාට ඇය ගැන හිතක් ඇතිවුණා. ඔහු නිතර මේ ගොවි ගෙදර පැත්තෙන් ගියා. ඒ රාජකාරියකට යනවා වගේ. යන එන හැම වාරයකම ගොවි ගෙදර දෙස අමුතු විලසට බැලුවා. සමහරදාට ගොවි බිරිය එළිපහළියේ උන්නා. එවිට ගම් නායකයා රැල් බුරුල් කරනවා. ඇයත් ඔහු දෙස බලනවා. ඔහු සිනාසෙනවා. ඉඟි කරනවා. ඇයද සිනාසී ගෙට යනවා.

කාලය එසේ ගෙවී යනවිට ගම පුරා ආහාර හිඟයක් ඇතිවුණා. ගැමි ගෙවල අටුකොටු හිස් වුණා. සතා සිව්පාවාට පවා ඒ අහේනිය දැනුණා. එහෙත් ගම් නායකයාගේ නම් අටුකොටු පිරී තිබුණා.

එගම වැසියෝ වී ණයට ඉල්ලා ගම් නායකයාගේ ගෙදරට ගියා. ඔහු නොයෙක් ආඩපාලි කියා ඔවුනට වී ණයට දුන්නා. ඒ ඉල්ලූ ප්‍රමාණයට අඩුවෙන්. ඒ අහිංසකයෝ කරන්න දෙයක් නැති නිසා ඔහුගේ දොස් අසාගෙන දුන්න වී ටික ගෙන ගියා.

යහපත් ගොවියාද වී ණයට ඉල්ලා ඔහු වෙත ගියා. පුදුමයෙකි. මේ මිනිහා කිසිවක් කීවේ නෑ. සිනාසුණා. වී මලු දෙකක් ඔහුට දුන්නා.

ගම්නායකතුමනි! මම ඉල්ලුවේ එක වී මල්ලක් පමණයි. ඊට වඩා මට එපා.

කමක් නෑ අරන් යන්න. තියෙන වෙලාවක ආපසු දෙන්න.

ඒක හරි නෑ.

කමක් නෑ. අරන් යන්න.

ඒ වුණාට ගම්නායකතුමනි! යමෙක් ණයවිය යුත්තේ තමාට දෙන්න පිළිවන් තරමට පමණයි. නැත්නම් සදාකාලිකවම ණයකාරයෙක් වෙනවා. එහෙම වෙන්න මම කැමැති නෑ.

ගම්නායකයා නිහඬ වුණා. ගොවියා වී එක මල්ලක් පමණක් අරගෙන ගියා.

කාලය ගෙවී ගියා. ගම් නායකයාගේ සහ ගොවි බිරියගේ ඉඟිබිඟි ද දුරදිග ගියා. එය අනියම් ඇසුරකට පෙරළුණා. ගම් නායකයා ගොවියා නැති විට ගොවි ගෙදරට ගියා. වැඩි දිනක් ගියේ නෑ. අසල්වැසියෝ ඇසුර දැනගත්තා. ගම්නායකයාට බිය නිසා ඔවුන් නිහඬ වුණා. කෙසේ වෙතත් ගොවියාද ඒ ඇසුර කනින් කොනින් දැනගත්තා. බිරියගෙන් ඒ ගැන විමසුවා. ඇය පරසක්වළ ගසා එය බොරැවක් බවට දිව්රන්න වුණා. අඬන්න වුණා. ගොවියා ඇය නිහඬකර ගත්තා. වෙනදා වගේ ආදරයෙන් සැලකුවා.

ටික දිනක් ගිය පසු ගොවියා දුර ගමනක් යෑමට සැරසුණා. බිරිය තනියම ඉන්න බෑ කියා අඬාවැටුණා. ගොවියා ඇගේ හිස අත ගා සැනසුවා. ගමන පිටත් වුණා.

ගොවියා පිටත් වී වැඩි වේලාවක් ගියේ නෑ. ඇය ගම්නායකයාට පණිවිඩයක් යැව්වා. ඔහු එසැණින් ආවා. ගොවිගෙදර දොරගුළු වැසුණා.

ගොවියා කළේ කපටිකමක්. හෝරා දෙක තුනක් මඟ සැඟවී සිටියා. ගම්නායකයා එන හැටිද දුටුවා. ගෙදර ආවා. දොරට තට්ටු කළා. ඇතුළේ උන් අය බියවුණා. ගම්නායකයා වෙව්ලන්න වුණා. බිරියට ගණදෙවි නුවණ පහළ වුණා. ගම් නායකයාට හිස් මල්ලක් දුන්නා. පෑළ දොර ඇරියා. ඈ අටුවට නැග්ගා.

අනේ ගම්නායකතුමනි! මේ අටුවේ වී ඇටයක්වත් නෑ. ඉතින් කොහොමද ණය ගෙවන්නේ.

මට ඔය නැති බණෙන් වැඩක් නෑ. ගෙනා වී කොහොම හරි දීපල්ලා.

මේ හඬ ගොවියාට ඇසුණා. පෑළ දොර පැත්තට ගියා. එය ඇර ඇත. ඔහු ගෙට ඇතුළු වුණා. ඔහු දකිනවිට බිරිය අනේ බලන්නකෝ ගම්නායකතුමා ණය ඉල්ලාගෙන ඇවිත් මට කරදර කරනවා.

ඈ ගම්නායක ඔබෙන් මා වී ගත්තේ ගොයම් කපා වී දෙන පොරොන්දුවට නේද? අද ආවේ මොකටද? අනේ අනේ ඔබලා දෙන්නා හිතුවද මම මෝඩයෙක් කියලා. ඒක වැරදියි. ගම්නායක ඔබ ආ කාරිය මම දන්නවා. ඔබ මේ ගමේ වැදගතෙක් නේද? ලජ්ජා නැද්ද අනුන්ගේ ගෑනු පස්සෙ යන්න. තවත් මෙතැන නොඉඳ මගේ ඇහැට නොපෙනී යනවා යන්න.
නෑ... නෑ... ගොවිරාළ.

මේ ගම්නායක මා කෝප නොගන්වා යනවා. මට ඔබේ මුසා ඕනෑ නෑ. හිරිකිතයි. ගම්නායකයා පෑළදොරින් පිට වී ගියා. මේ කලබලය ඇසී අසල්වැසියෝ වට වී බලා උන්නා. ගම්නායක ලජ්ජාවෙන් බිම බලාගෙනම ගියා. අසල්වැසියෝ සිනහ වුණා.

ගොවියා බිරියගේ කෙස්වැටියෙන් අල්ලා ගත්තා. ඔබේ මායම්වලින් මා රවටන්න බෑ කිව්වා. හොඳහැටි පහර දුන්නා.
ඈ මරලතෝනිය දුන්නා. අසල්වැසියෝ ඇවිත් ඇය බේරාගත්තා.

එදායින් පසු ගම්නායකයා සල්ලාලකමේ ගියේ නෑ. යහපත් කෙනෙක් වුණා.

(ගෘහපති ජාතකය ඇසුරින්)

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00