2018 ජනවාරි 20 වන සෙනසුරාදා

පැය 24කින් කැන්සල් කෙරුණු අලුත් බාර් නීතිය

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාව වැඩි කිරීමට සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම හා ඔවුන් යොදාගනිමින් මත්පැන් අලෙවි කිරීම, නිෂ්පාදනය මෙන්ම එවැනි ස්ථානයක සේවය කිරීමට අවසර ලැබෙන පරිදි නීතියෙන් තිබූ තහනම ඉවත්කර අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ක්‍රියා කළේය. රටපුරා මැතිවරණයක් පවත්වන පසුබිමක මේ ක්‍රියාවට එරෙහිව චෝදනා රාශියක් එල්ල විය. මෙය දේශපාලනික වශයෙන් අර්ථ ගැන්වෙමින් තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී තිබුණේ ගැසට් පත්‍රය වහා අවලංගු කරන ලෙසය.

නව ගැසට් නිවේදනය ප්‍රකාරව මත්පැන් සිල්ලරට අලෙවි කරන නැතිනම් බෝතල් ගණනින් වෙළෙඳාම් කරන මත්පැන්හල් පෙරවරැ 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට නියම කෙරිණ. එමෙන්ම විදේශීය මත්පැන් අලෙවිසල් පෙරවරු 11 සිට රාත්‍රී 11 දක්වා විවෘතව තැබීමට නියම විය.

මේ අනුව මඟතොටදී දකින්නට ලැබෙන තැබෑරුම් විවෘතව තබන වේලාව පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැවති කාලය සංශෝධනය කර දිනකට තවත් පැය දෙක බැගින් වැඩිකර තිබිණ. ඒ අනුව දිනකට පැය 14ක් විවෘතව තැබීමට නියමිත විය. විදේශීය මත්පැන් අලෙවි කරන ස්ථාන වශයෙන් හඳුන්වන අලෙවිසල් හෝටල් වැනි සංචාරකයන් ගැවසෙන රෙස්ටුරන්ට්වල එම මත්පැන් අලෙවි කිරීමට නීතියෙන් අවසර ලැබී තිබුණේ පෙරවරැ 11 සිට පස්වරු 2 දක්වා සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වාය. නමුත් නව සංශෝධිත ගැසට් පත්‍රය අනුව එය පෙරවරු 11 සිට රාත්‍රී 11 දක්වා ක්‍රියාත්මක කිරීමට නියම කෙරිණ. ඒ අනුව පැවති කාලයට වඩා දිවා කාලයේ පැය 3කින් සහ රාත්‍රී කාලයේ පැය 1කින් වශයෙන් දිනකට පැය 4ක් වැඩිපුර විවෘතව තැබීමට නියම විය.
සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශය යටතේ පවතින අධික වශයෙන් මුදල් ලාභ උපයන ආයතනයකි. එබැවින් අලුත් ගැසට් නිවේදනය හරහා මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාව හා කාන්තාවන් වෙත ලබාදෙන අවසරය සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාගේ අරමුණ කෙසේ වෙතත් එය සමාජීය වශයෙන් මෙරට සංස්කෘතියට නොගැලපෙන බව බහුතර අදහස වී තිබිණි. කොළඹ මහනුවර වැනි සංචාරක ආකර්ෂණය දිනා ඇති ප්‍රධාන නගරවල දැනටමත් දෙස් විදෙස් මත්පැන් අලෙවිසල් වලින් අඩුවක් නැත. එහෙත් ඉහත අරමුණ සංචාරක ප්‍රවර්ධනයේ අරමුණ උදෙසා ක්‍රියාත්මක කෙරුණද එය පවතින සංස්කෘතිය සමඟ ඇත්තේ නොගැලපීමකි. මෙහිදී ව්‍යාපාරික වශයෙන් වැඩි ලාභයක් උපයන්නට අවස්ථා හිමි වුවද එවැනි ස්ථානවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ පවුලේ සාමාජිකයන්ට පැන නගින ගැටලු රාශියකි. 

මත්පැන් සම්බන්ධයෙන් ස්ත්‍රී පාර්ශ්වයට මෙසේ නීති පනවා ඇතත් 2005 සංශෝධිත දුම්කොළ හා මධ්‍යසාර පනතේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන කාන්තාවට මිලට ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් තහනමක් පනවා නැත. 

මේ සම්බන්ධ විශේෂඥයන් පවසන්නේ මත්පැන්වලට වඩා සෞඛ්‍ය වශයෙන් හානි කරන්නේ සිගරට් වැනි දුම්කොළ නිෂ්පාදන බවය. මෙවැනි දුර්වලතාවයන්ට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ තවමත් මෙරට පවතින්නේ යටත් විජිත සමයේ සිට පැවති සුද්දන්ගේ නීතිය ක්‍රියාත්මක වීමය.

යටත් විජිත සමයේ මෙරට සුරාබදු ආඥා පනත ආරම්භ කර ඇත්තේ 1912 වසරේය. මේ සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවා තිබුණේ ලාංකික පුරවැසියන් මත්පැන් පානය කර විදේශික පාලනයට එරෙහිව කැරලි ගසනු ඇතැයි ඔවුන් කල්පනා කළ නිසාය. වසර 48ක් පුරා පැවති මේ තත්ත්වය 1960 දී වෙනස් වූයේ රාජ්‍ය ස්කාගාර සංස්ථාව ආරම්භ කිරීමත් සමඟය. 1980 අගභාගයේ මෙය පෞද්ගලික අංශයට ව්‍යාප්ත වීමත් සමඟ දැඩි පෙරළියක් සිදුවිය. මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව හරහා විවිධ බලපත්‍ර නිකුත් කිරීම සිදුවිය. මත්පැන් නිෂ්පාදන බලපත්‍ර, ආනයන බලපත්‍ර, බෙදාහැරීමේ බලපත්‍ර, තොග වෙළෙඳාම් බලපත්‍ර සහ ස්ථානීය පරිභෝජනය සඳහා බලපත්‍ර වශයෙන් ඒවා නම් කෙරුණි.

සුරාබදු ආඥා පනත යටතේ පහත සඳහන් අය විසින් හෝ මධ්‍ය ඖෂධ වර්ග සෑදීම හෝ එකතු කිරීම බෝතල්ගත කිරීම හෝ විකිණීම හෝ ගෙනයාම තහනම්ය. එසේ ඔවුන් ඒවා සෑදීම, එකතු කිරීම, බෝතල්ගත කිරීම, විකිණීම හෝ ගෙනයාම සඳහා සේවයට ගැනීම තහනම්ය වශයෙන් දක්වා ඇත. මෙසේ තහනම් කළ පිරිස කණ්ඩායම් හයකි. ඒ අතර වයස අවුරුදු දහ අටට අඩු පිරිමි හා කොයි වයස වුවත් ගැහැනු එසේ වුවද සුරාබදු කොමසාරිස් විසින් ඒ කාර්යය සඳහා විශේෂයෙන්ම අනුමත කරන ලද බලපත්‍ර ලත් ස්ථානවල වයසින් අවුරුදු දහඅටකට වැඩි ගැහැනු, හෝටල් සේවිකාවන් වශයෙන් පමණක් සේවයේ යෙදවීමට සුරාබදු කොමසාරිස් විසින් අභිමතය පරිදි ඉඩදිය හැකිය යනුවෙන් සඳහන්ව ඇත.

මේ යටතේ දක්වා තිබූ තැබෑරුම් විවෘත කර තැබීමේ කාලසීමාව දීර්ඝ කිරීම හා සේවයේ නොයෙදවිය යුතු කාන්තාවන්ට එම අවස්ථාව දීමට පියවර ගැනීම හේතුවෙන් ඉකුත්දා විශාල කතිකාවක් ගොඩනැගී තිබුණි. මෙය කාලයක් පුරා නීතිමය වශයෙන් කතිකාවට ලක්ව තිබූ එකක් වන අතර කාලානුරූපීව කාන්තාවට අනවශ්‍ය තහංචි පැනවීම නුසුදුසුය. එහෙත් කල්පැන ගිය නීති සංශෝධනය රටට සමාජයට ගැලපෙන ආකාරයට සිදුකිරීම වගකිවයුත්තන්ගේ යුතුකමය.


 සමන්ත ප්‍රදීප් විල්තෙර