2018 ජනවාරි 20 වන සෙනසුරාදා

මගේ හීනේ නැතිවුණා..... මට ගොඩක් දුකයි

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 452

තිස්සමහාරාම මාගම ප්‍රදේශය මහානුභාව සම්පන්න කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේ පිහිටි ප්‍රදේශයකි. මෙහි යන එන සියලු දෙනා තුළ ඇත්තේ කතරගම දෙවිහාමුදුරුවන් කෙරෙහි වූ අපරිමිත භක්තියකි. එහෙත් කතරගම දෙවිහාමුදුරුවන්ටත් නොපෙනුණු මහා අපරාධයක් පිළිබඳව පසුගියදා අපට අසන්නට ලැබුණේ ඉකුත් 09 වන දිනය. සුපුරුදු පරිදි පසුගිය 09 වන දින ද තිස්සමාහාරම මාගම ප්‍රදේශයෙන් මළ හිරු බැස ගියේ තවත් එක් දවසක නිමාව සටහන් කරමිණි. රටටම එය තවත් එක් දවසක නිමාවක් වුවද මාගම ප්‍රදේශයට නම් ඒ උදාවූයේ මූසල රාත්‍රියක් බව කිසිවකුත් දැන නොසිටින්නට ඇත.

දිනය 2018.01.10ය. තිස්සමහාරාම මාගම ඇතුළු අවට ප්‍රදේශ රුසකටම ඇසුරු සැණින් පුවතක් පැතිර ගියේ එය ඇසූ ඇසූ සියලු දෙනා කම්පාවට පත්කරමිණි. අනේ හපොයි මේ මොන අපරාධයක් ද යන්න කියමිණි. 10 වැනි දින මුළු තිස්සමහාරාමය පුරා පැතිර ගියේ මාගම පදිංචි 14 හැවිරිදි හිරුණි තක්ෂිලා දැරිය සියදිවි හානි කරගැනීමට උත්සාහ කර ඇති බවයි. මේ පුවත ඇසූ කිසිවකුත් එකවර එය නොපිළිගත්තේ තක්ෂිලා පිළිබඳව ගම්මුන් හොඳට දැනසිටි නිසාවෙනි.

මෙය ඇසූ සියලුදෙනා පැවසුවේ ඒ කෙල්ලට බෙල්ලේ වැළලාගැනීමට නම් හේතුවක් නෑ. මොකක් හරි වෙන සිදුවීමක් වෙලා ඇති කියාය. කිව්වත් හරි. සිදුව තිබුණේ පාපතරයන් තිදෙනෙකු හිරුණිව සමූහ දුෂණයට ලක් කර තිබිමයි. සමූහ දුෂණයට ලක්විමත් සමඟ දැඩි කම්පාවට හා සිත් පීඩාවට පත් දැරිය ජීවිතයෙන් සමුගැනීමට තීරණය කර තිබුණි. ඇය මෙවැනි තීරණයක් ගැනීමට හේතුව සියදිවි නසා ගැනීමට මත්තෙන් අකුරක් නෑර ලියා තබා තිබේ.

ඇය ලියා තිබූ ලිපියේ මෙසේ සටහන් කර තිබුණි.

“බුදු සරණයි. මම මැරුණේ හිච්චා, චමිත්, ළහිරු නිසා. මේ 03දෙනා මගේ ජීවිතය නැති කරා. මම හිච්චත් එක්ක යාළුවෙලා හිටියා. ඌ මට බොරු කරා. ඌ මගේ ජීවිතය විනාශ කරලා චමිත්ටයි, ළහිරුටයි කියලත් මගේ ජීවිතය විනාශ කරා. මම ජීවත් වෙලා හිටියොත් මගේ පවුලේ අයට ලජ්ජා වෙනවා. යනුවෙන් සටහන් කර තිබූ අතර එම ලිපියේ මෙසේද සටහන් කර තිබුණි. “මගේ පවුලේ ඔක්කොටොම නෑදෑයන්ට යාළුවන්ට ගොඩක් ආදරෙයි. මම හොඳට ඉගෙන ගෙන පොලීසියට යන්න හිතාගෙන හිටියේ. ඉස්කෝලේ ශිෂ්‍යනායිකාවක් වෙලා ජීවිතේ ලස්සන කරගන්න හිටියේ. මගේ හීනේ නැති වුණා. කමක් නෑ. හැබැයි මට ගොඩක් දුකයි. යනුවෙන් ඇය ලියා තිබුණේ ලිපිය කියවා සියලු දෙනාගේ නෙතට කඳුළක් එක් කරමිණි.
ගමේ ගොඩේ මෙන්ම පාසලේ ගුරුමහත්ම මහත්මින්ගේ ද ආදරය දිනාගෙන සිටි 14 වියැති මහවෙල ගමගේ හිරුණි තක්ෂිලා ප්‍රදේශයේ පාසලක 09 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබීය. කිසිවිටකත් අනෙකෙකුට කරදරයක් නොවූ ඇය නිරතුරුවම හීන දැක්කේ පාසලේ ශිෂ්‍යනායිකාවක වීමටය. සිය අධ්‍යාපන කටයුතුද එකක් නෑර සිදුකළේ කවදා හෝ දවසක පොලිස් නිලධාරිනියක වීමේ සිහිනය ද ඇතිවය. එහෙත් හිරුණි තක්ෂිලාගේ මේ සියලු බලාපොරොත්තු එක රැයක දී සුණුවිසුණු වී ගියේ තවත් පාපතරයන් තිදෙනෙකුගේ උකුසු ඇසට හසුවීම නිසාවෙනි.

ඉකුත් 09වැනි දින රාත්‍රි සියල්ලෝ නින්දට යන වෙලේ හිරුණිගේ ප්‍රේමවන්තයා බව කියන තරුණයෙක් හා තවත් දෙදෙනෙක් එක්ව හිරුණිගේ නි‍ෙවසට යාබඳ ස්ථානයක මධුවිත තොල ගාන්නට වූහ. මොවුන් හිරුණිගේ නිවස අසල ඇය ඩැහැගැනීමට මානබලන මාරයා බව කිසිවකුත් දැන සිටියේ නැත. 

කෙසේ වෙතත් ටිකෙන් ටික රෑ බෝවීමත් සමඟ සියල්ලෝ නින්දට ගියේ පසුදින අලුයමින් නැගිටීමේ බලාපොරොත්තුව ඇතිවය. ගමේ සියලුදෙනා නිදාගත්ත ද හිරුණිගේ නිවස අසල මධුවිත තොල ගෑ හිරුණිගේ ප්‍රේමවන්තයා ඇතුළු තිදෙනා තව තවත් කළුවර ගලා එනතෙක් නොඉවසිල්ලෙන් සිටියේ හිරුණි සිය ග්‍රහණයට ගැනීමටය. රෑ බෝවීමත් සමඟ අහල පහළ සතා සිව්පාවුන්ගේ හඬ ඇරෙන්නට වෙනත් හඬක් නොවීය. ඇති පදමට මධුවිත තොලගා සිටි මෙම තරුණයන් තිදෙනාගෙන් හිරුණිගේ පෙම්වතා බව කියන පුද්ගලයා හිරුණිගේ නිවස අසලට පැමිණ ඉඟිබිගි පා කෙසේ හෝ හිරුණි නිවසින් එළියට ගෙන නිවසින් මඳක් එපිටට රැගෙන ගොස් තිබේ. සිය පෙම්වතා පිළිබඳව කිසිඳු බියක් නොදැක්වූ ඇය ද ඔහු සමඟ නිවසින් මඳක් එපිටට ගොස් තිබේ. එසේ රැගෙන ගිය හිරුණි කිසිඳු හිතක් පපුවක් නැති මෙම කාමාතුරයින් තිදෙනාගේම ග්‍රහණයට හසු වී තිබේ. හොඳ හැටි මධුවිත සප්පායම් වී සිටි මේ තිදෙනා හිතූ හිතූ පරිදි මෙම දැරිය කෙ‍ෙළ‍ස අලුයම වනවිට නැවත නිවසට ඇරලවා තිබේ. මම උන්ගෙන් බේරිලා එන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා. කියා ඇය ලිපියේ ලියා තිබුණි.

මුළු රැය පුරාම නිදි වර්ජිතව කාමාතුරයන් තිදෙනෙකු පිනවීමට සිදුවූ හිරුණිට පසුදා උදෑසන ද තමන්ට සිදුවූයේ කුමක්ද මින් ඉදිරියට කුමක් කරන්න ද යන්න වටහා ගැනීමට අපහසු විය. ඇයට මුහුණ දෙන්නට සිදු වූ මේ නුහුරු නුපුරුදු අත්දැකීමත් සමඟ ඇය මහත් කම්පාවට හා සිත් තැවුලට පත්විය. කිසිවක් සිතාගත නොහැකි වූ ඇය මින් ඉදිරියට ජීවත් වෙනවාට වඩා මියයාම හොඳයැයි තීරණය කර තිබිණි. ඒ අනුව පොතකින් කොළයක් කඩාගත් හිරුණි බාගෙට ඉදිකර තිබූ ඇයගේ නිවසේ කාමරයට වී තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම හා මීට සම්බන්ධ අය පිළිබඳව ද අකුරක් නෑර ලියා තැබුවේ මවුපියන්ගෙන් සමාව ද අයදිමිණි. ලිපිය ලියා තැබූ හිරුණි නිවසින් එළියට ගියේ නිවසේ තිබූ සාරියක් ද රැගෙනය. නිවසට මඳක් දුරින් පිහිට කොහොඹ ගස උඩට නැගගත් හිරුණි සාරිපොට අධාරයෙන් ගෙළ වැළලාගෙන තිබුණි.

කෙසේවෙතත් මේ අවස්ථාවේ හිරුණිගේ බාලසොහොයුරා ගවයන් බැලීමට නිවස පහළට යන විට සිය සොහොයුරිය ගෙළවැළලාගෙන සිටිනු දැක ඔහු වහා දිවගොස් ඒ පිළිබඳව මවුපියන් දැනුම්වත් කර තිබේ. ඒ අනුව මාපියෝ අසල්වැසියන් හා එක්ව වහා කොහොඹ ගසට නැග සාරිපොට පිහියකින් කපා ඇයව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළහ. රෝහලට ඇතුළත් කෙරුණු ඇය දින පහක් තිස්සේ හම්බන්තොට මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු පසුගිය 14 වන දින සවස මියගියේය.

අපරාධකරුවන්ට අත තියන්න පොලීසිය පසුබහී?

මෙම අපරාධය සිදු කළ අයද තිස්සමහාරාම ප්‍රදේශයේම පදිංචි 19 හා 23 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනෙකි. මේ අපරාධයත් සමඟ ගම්මුද කෝපයට පත්වූහ. ඒ අනුව මේ සාහසික අපරාධයට සම්බන්ධ පිරිස් සොයා ගම්මුන් ද මුළු අවට ගම්මාන ද පීරන්නට වූහ. මේ සියලු සිද්ධීන් අතරේ පොලීසිය කෙරෙහි ද ගම්මුන් තුළ තිබූ  විශ්වාසය ද ගිලිහී ගොස් තිබුණි. ඒ මේ සිදුවීමත් සමඟින් පොලීසිය කටයුතු කළ බව කියන ආකාරය සම්න්ධයෙනි. ගම්මුන් චෝදනා කළේ පොලීසිය මේ සිදුවීමේ දී පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි. ඒ කෙසේ වෙතත් මේ සිදුවීමට අදාළ තරුණයන් තිදෙනා ද යාල කැලයේ සැඟවී සිටියදී ගම්මුන්ගේ මැදිහත් වීමෙන් සොයා ගැනු ලැබූහ. ගම්මුන් අතට පත්වූ මේ තරුණයන් තිදෙනාට හොඳට සළකන්නට ද ගම්මුන් අමතක කර නොතිබුණි. ගම්මුන්ගෙන් පහරකෑමට ලක්වූ මෙම තරුණයන් තිදෙනා වීරවිල පොලීසියට බාර දී තිබුණේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. ඒ අනුව වීරවිල පොලීසිය මගින් මෙම තරුණයන් තිදෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ. තරුණයන් තිදෙනා ද බන්ධනාගාර රැකවරණය යටතේ හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.
මියගිය හිරුණිගේ මව හඬා වැටෙමින් පැවසුවේ මෙවන් දෙයකි.

“අම්මේ මට ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක වෙන්න ඕනේ. මම කොහොමහරි ශිෂ්‍ය නායිකාවක වෙනවා. ලොකු වෙලා කවදා හරි දවසක මම අම්මේ පොලීසියට බැඳෙනවා. කියා මගේ දරුවා මට නිතරම කිව්වා. අනේ මගේ කෙල්ලගේ මේ හීන ඔක්කොම නැතිවෙලා ගියා. මගේ දරුවට මේ අපරාධය කළවුන්ට නම් හොඳක් වෙන්නේ නෑ. මගේ දරුවට මේ අපරාධයවෙලා දවස් ගාණක් ගිහිල්ලත් පොලිසියෙන් මගේ දරුවට සාධාරණයක් ඉෂ්ඨ කළේ නෑ. හරියට පොලිස් පරීක්ෂණයක්වත් කළේ නෑ. අපි අපේ පාඩුවේ ජීවත් වෙච්ච අය. අපි කාටවත් කරදරයක කළේ නෑ. එහෙව් එකේ මගේ දරුවට මේ අපරාධය කරේ ඇයි. අනේ දෙවියනේ මගෙ දරුවට මේ දේ කළ අයට වහා දඬුවම් දෙන්න ඕනේ. තවත් අම්මෙකුට මේ වගේ ගින්දරක් නම් දෙන්න නම් ඉඩ තියන්න එපා. යැයි කියමින් ඇය හඬා වැටෙන්නට වූවාය.

මේ සිද්ධීන් අතරේ මියගිය හිරුණිගේ දේහය නිවසට රැගෙන ආවේ පසුගිය 15 වැනි දින සවසයි. එම අවස්ථාවේදී මියගිය හිරුණි ගෙලවැළලාගත් බව කියන කොහොඹ ගස පිළිබඳව පරීක්ෂණයක් සඳහා පැමිණි බව කියූ පොලිස් බුද්ධි අංශයේ බව කියන නිලධාරීන් කිහිප දෙනෙකු ගම්මුන්ගේ ග්‍රහණයට ගැනීමද සිදුවිය. කෙසේ වෙතත් ඉහළ පොලිස් නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් එම පැටලැවිල්ල නිරාකරණය වුවද මේ සිදුවීමට විරෝධය පළකරමින් ගම්මුන් ගම පුරා කළු කොඩි හා විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණි. ගම්මුන් හැමවිටම ඉල්ලා සිටින්නේ හිරුණිගේ දේහය මිහිදන් වීමත් සමඟ මේ සිදුවීමද යටයාමට ඉඩනොදී මේ සාහසික අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. 

මේ මහා අපරාධයත් සමඟ තිස්සමහාරාම මාගම ප්‍රදේශයේ තවමත් අළු යට ගිනි මෙන් විටෙන් විට මේ පුවත උඩ එයි. ඒ තරමටම ගම්මුන් හා හිරුණිගේ ඥාතීන් කෝපයෙන් පසුවන බව නම් එහි ගිය අපට පැහැදිලි විය. සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසිය ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අප ගම්මුන් හා කළ කතාබහට අනුව අවබෝධ වී ගියේ හිරුණිට මේ සිදුවූ අපරාධය සිදුකළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා නොදෙනතාක් මේ අපරාධ තුරන්කළ නොහැකි බවයි. පොලීසිය පාර්ශවයෙන් සාධාරණයක් ඉටුවන තෙක් ගම්මුන් නොඉවසිල්ලෙන් සිටින බවත් පැහැදිලිය.

එමෙන්ම බලයට මුදලට හෝ අන්කවරකට හෝ යට නොවී හිරුණි වෙනුවෙන් නිතීයේ සාධාරණය ඉටුවිය යුතු වගද අපි අවධාරණය කරමු.

 සටහන හා සේයා රූ - 
    සූරියවැව නුවන් ජයසේකර