2018 ජනවාරි 20 වන සෙනසුරාදා

අනුන්ට සාර්ථකත්වය උගන්වන වංචනිකයෝ

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

යුග ගණනාවක් පුරා සිය මූලික අවශ්‍යතා සපුරාගෙන සරලව දිවි ගෙවූ මිනිසා සංකීර්ණ ජීවන රටාවකට යොමු වූයේ කාර්මික විප්ලවයෙන් පසුවයි. කාර්මික විප්ලවය මිනිසා වෙත බොහෝ පාරිභෝගික භාණ්ඩ රැගෙන පැමිණියා. මේ පාරිභෝගික භාණ්ඩ වෙත ලොල් වූ මිනිසා ඒවා හැකි තරමක් තමන් සතු කර ගැනීමට තරගයකට එළඹුණා. ඊටම සමගාමීව වැඩවසම් ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම තුළ මිනිසාට උදාවුණේ විශාල නිදහසක්.

මේ නිදහස් වාතාවරණය තුළ සමාජයේ ඕනෑම සාමාජිකයකුට තම වෙහෙස මගින් ඉහළට ගමන් කිරීමට අවකාශය ලැබුණා. ඉන් ඉක්බිතිව මිනිසා තුළ එකිනෙකා පරදවා ඉහළට නැගීමේ ආශාවකුත් ඇතිවුණා. වැඩි භෞතික වස්තුන් රැස් කරගන්නා පුද්ගලයා සමාජය හැඳින්වූයේ සාර්ථක පුද්ගලයකු වශයෙනුයි. මේ නිසා සෑමදෙනාම පිළිපන්නේ සාර්ථකත්වය සොයා යන තරගයකට යි. තරගය ඉතාමත් දරුණුයි. සුළු පිරිසක් තරගය ජය ගන්නා විට අති බහුතරයක් දෙනා පරාජිතයන් බවට පත්වුණා. නමුත් පරාජිතයා තුළ තරගය ජයගන්නා අරමුණ නැතිවුණේ නැහැ.

මෙයින් ඇති කළ  රික්තය තුළ පරාජිතයන් සඳහා සාර්ථකත්වයට මාවත දේශනා කරනා ශාස්තෘවරු බිහිවුණා. ඔවුන් අසාර්ථක මිනිසුන්ට සාර්ථකත්වයේ මඟ දේශනා කරන්න පටන්ගත්තා. වඩාත්ම සිත්ගන්නා සුලු කාරණය තමයි මේ ශාස්තෘවරුන්ගෙන් බොහෝමයක් දෙනා සාර්ථකත්වය දේශනා කිරීම පටන් ගන්නා අවධිය වනවිට බෙහෙවින්ම අසාර්ථක මිනිසුන් වීම. මිනිසා තුළ පවතින සාර්ථකත්වයට ඇති ලෝභය නැතහොත් කෑදරකම මේ ශාස්තෘවරුන් මහා ධනවතුන් බවට පත්කළා.

උදාහරණයක් වශයෙන් කිවහොත් Law of Success කෘතියේ සම්පාදකවරයා වන නැපෝලියන් හිල් යනු එම පොත් පෙළ ලියනා අවදිය වනවිට කිහිපවතාවක් බංකොලොත් වූ පුද්ගලයෙක්. මුල්‍ය වංචාවලට හසුවූ අයෙක්. නිසි අධ්‍යාපනය හෝ අවසරය නොමැතිව නීතිඥයකු ලෙසින් පෙනී සිටි වංචනිකයෙක්. සිය ජීවිත කාලය තුළ තෙවරක් දික්කසාද වූ අයෙක්. නමුත් ඔහු විසින් සාර්ථකත්වය ගැන ලියනා ලද විවිධ පොත් මිලියන 20ත් 50ත් අතර ප්‍රමාණයෙන් අලෙවි වාර්තා තැබුවා.
සාර්ථකත්වය ගැන දේශනා පවත්වන ඔය බොහෝ දෙනෙකුගේ චරිතාපදාන නැපෝලියන් හිල්ට වෙනස් වෙන්නේ ඉතාමත් සුළු වශයෙන්.

මේ සාර්ථකත්ව ශාස්තෘන්ගේ පොත් කියවීමෙන් හෝ දේශනාවලට සවන් දීමෙන් සාර්ථකත්වයට පත්වූ අය ගැන දැනගන්නට නම් නැහැ. නමුත් දේශකයන් මහා ධනවතුන් වූ අවස්ථා නම් කොතෙකුත් පවතිනවා. මේ පොත්වලින් මිලියන ගණනක් මිනිස්සු සුරංගනා කතා තුළ අතරමං කර දමා අවසන්. 

ඉදින් සාර්ථකත්වයට ඇති හොඳම මාර්ගය අනුන්ට සාර්ථකත්වයට මාර්ගය ඉගැන්වීමයි.

► ජීවන ප්‍රනාන්දු