2018 ජනවාරි 27 වන සෙනසුරාදා

වෙලාවට නොකෑමෙන් තෙල් - මිරිස් කෑමෙන් හැදෙන බඩේ ලෙඩේ

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 359

අද වනවිට අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් (Gastritis) ලොකු කුඩා කා අතරත් වැඩිවෙමින් පවතී. අතීතයට වඩා වර්තමානය වනවිට මෙම රෝගය බාල මහලු වයස් භේදයකින් තොරව වැඩිවෙමින් පවතී.

ආයුර්වේදයට අනුව මෙම රෝගය හඳුන්වනු ලබන්නේ අම්ල පිත්ත ලෙසයි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙය හඳුන්වනු ලබන්නේ ගැස්ට්‍රයිටිස් ලෙසය. මෙය ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයකි. 

බොහෝවිට මෙම රෝගය හේතුවෙන් ගලනාළය, ග්‍රහණිය, ආමාශය වැනි ඉන්ද්‍රියයන් දැඩි සේ පීඩා විඳී. මෙලෙස පීඩාවට පත්වන්නට හේතු කාරණා වන්නේ ආහාර ජීර්ණයට අදාළ හයිඩ්‍රොක්ලොරික් (HCL) අම්ලය ශ්‍රාවයේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි. එවිට ආමාශය ඇතුළත බිත්තිවල (Mucous membrane) හානි සිදුවීම හේතුවෙන් ආසාදනයන් හට ගනී. මෙය අම්ල පිත්ත රෝගයේ එක් අවස්ථාවක් ලෙසින් හැඳින්විය හැක.

අප විසින් ගනු ලබන ආහාර ගලනාළයෙන් ආමාශයට ඇතුලුවන තැන කපාටයක් පවතියි. එමඟින් ආමාශය තුළ තිබෙන ආහාර ගලනාළයට පැමිණීම වළක්වයි.

මෙම කපාටය ක්‍රියාකාරීත්වය ඇතිවන යම් යම් අසාමාන්‍යතා නිසා ආමාශය තුළ තිබෙන අම්ලය ගලනාළයට අසාමාන්‍ය ලෙස ගලායාමක් ද සිදුවේ. මෙහිදී ගලනාළය ඇතුළත බිත්තිවලට හානි සිදුවීමෙන් ගලනාළය ආසාදනය වීම, උගුර දැවිල්ල, ඔක්කාරය, වමනය ආදිය ඇති වේ. මෙලෙස අසාමාන්‍ය ලෙස සිදුවන අම්ල ශ්‍රාවය නිසා ග්‍රහණියේ ඇතුළත බිත්ති හානි වීම හා ආසාදනයට ලක්වීම ද සිදුවේ. මෙයද අම්ල පිත්ත රෝගයේ එක් අවස්ථාවකි. 

මෙම රෝගය ඇතිවීමට බලපාන හේතු

අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපානු ලබන ප්‍රධානතම හේතුව වන්නේ නියමිත වෙලාවට ආහාර නොගැනීමයි. මෙය දීර්ඝ කාලීනව ඇති වීමෙන් පෙර සඳහන් කළ ආසාදනයක් ඇති විය හැක. 

කුසගින්න ඇතිවෙන්නේ ආමාශයේ අම්ල ශ්‍රාවී සෛල මගින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCL) ශ්‍රාවය වනවිටදීය. එවිට අප ආහාර ලබාගත යුතු බව මොළය මගින් දැනුම් දෙයි. එය අපට දැනෙන්නේ කුසගින්න ඇතිවීමෙනි. එම අවස්ථාවේ අප ආහාර නොගත්ත ද ආමාශය තුළට දිගින් දිගටම අම්ල ශ්‍රාවය ඇති වේ. මෙසේ ආහාර නොමැති හිස් ආමාශය තුළට දිගින් දිගටම අම්ල ශ්‍රාවය වීම මගින් ආමාශයේ ඇතුළත ශ්ලේෂ්මල පටලය තුවාල වේ. 

මීට අමතරව ස්ටෙරොයිඩ් වැනි ඖෂධ වර්ග දිගු කාලයක් ගැනීම (ස්වසන රෝගය සඳහා ගනු ලබන ඖෂධ) නිසාද අම්ල ශ්‍රාවය උත්තේජනය වීමෙන් පිත්තය හට ගැනීමට බලපායි.

ඊට අමතරව නිතර තෙල් මිරිස් අධික ආහාර ගැනීම නිසාද අම්ල ශ්‍රාවී සෛල උත්තේජනයට ලක් වේ.

බැක්ටීරියා ආසාදනය (Helicobacter Pylori) මානසික ආතතිය, මද්‍යසාර භාවිතය ද අම්ල පිත්තය ඇතිවීමට බලපාන තවත් හේතූන් ලෙස දැක්විය හැක.

රෝග ලක්ෂණ

බඩ පුරවා දැමීම, කටට තිත්ත හෝ ඇඹුල් රසය දැනීම, වමනය, ඔක්කාරය, ආහාර ගැනීමෙන් පසු බඩ පුරවා දැමීම, ආහාර දිරවීමේ අපහසුතා, මළබද්ධය, ආමාශ බිත්තියේ ලේ ගැලීම් ඇති වීම, ආමාශ බිත්ති තුවාළ වීම, රුධිරය වහනය වීමෙන්රක්තහීනතාවය (Anemia) ඇති වීම.

ප්‍රතිකාර

අම්ල පිත්ත රෝගයට ගොදුරැ වූවිට වහාම ඉන් මිදීමට අවශ්‍ය පියවර ඉක්මනින් ගත යුතුය. නිසි වෙලාවට ආහාර පාන ගැනීම, අධික තෙල් මිරිස් සහිත ආහාර ගැනීම සීමා කිරීම, මද්‍යසාර භාවිතය වැළැක්වීම සහ මානසික ආතතිය පාලනය කර ගැනීමට පියවර ගත යුතුය. 

අම්ල පිත්ත රෝගය ඇති වීමේදී මතුවන මුල්ම රෝග ලක්ෂණ හඳුනාගත් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. අම්ල පිත්ත රෝගය ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර මඟින් සාර්ථකව පාලනය කරගත හැකිය.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල