- ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විචාරකයෙක් වශයෙන්ද ප්‍රකට සාහිත්‍යවේදියෙකි. ශාස්ත්‍රීය ලිපි රාශියක කතුවරයා වන ඔහු නාට්‍ය රචකයෙක් වශයෙන් ද පරිවර්තකයෙක් වශයෙන් ද කෘති කිහිපයක්ම එළිදක්වා තිබේ. සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩල කිහිපයක්ම ඔහු නියෝජනය කර ඇත. ගිරිමුදුන මගේ නිවහන ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. එය විදර්ශන ප්‍රකාශනයකි.
ගිරිමුදුන මගේ නිවහන අතට ගත් ගමන් අපට බරක් දැනෙනවා. එහි නිමාවට හිත යනවා. මේ පොත ගැන කිව්වොත්?
මම හිතන්නේ කවි පොතේ අමුතු හැඩයක් එකවර පෙනෙන්නේ එය පරිච්ඡේද 8ක් තුළ ගොනුකිරීමේ ආකෘතිය නිසා. නමුත් ඒක බලෙන් ඔබ්බපු විච්චූරණයක් නොවන බව ඔබට පෙනෙනවා ඇති. ඒක අන්තර්ගතයේ විවිධ මාන මතුකිරීමේ වෑයමක්. ඒ වගේම සෑම පරිච්ඡේදයක්ම ආරම්භ වන්නේ සිත්තමකින් සහ කාව්‍ය උද්ධෘතයකින්. සිත්තම් ප්‍රගීත් රත්නායකගේ. අර කියූ කාව්‍ය උපුටාගැනීම් අදාළ පරිච්ඡේදයට පියගැට පෙළක් වගේ දෙයක්. ඉන් සමහරක් උද්ධෘත වෙනත් කවියන්ගෙන් මා ඉල්ලාගත් ඒවා. නමුත් ඉතින් කවි පොතේ එන කාව්‍ය නිර්මාණ පොතේ නිමාවට සාධාරණයක් ඉෂ්ට කරනවාද කියා රසිකයන් විසින් කියවා සලකා බැලිය යුතු දෙයක්.
මෙහි කවිවල වචන ගැන ඔබ දැඩි ලෙස උනන්දු වී ඇති බව පේනවා. යටිපෙළක් මතු කළ බවක් පේනවා.
මම හිතන්නේ ප්‍රබල කාව්‍ය ආඛ්‍යානයක් සංරචනය කිරීමේ මූලික අභියෝගයක් වන්නේ වදන්ම තමයි. අපේ භාෂා කෝෂ්ටාගාරයෙන් උචිත වදන් තෝරාගැනීම, නැතහොත් අවශ්‍යනම් වදන් අලුතින් සකස් කරගැනීම, ඒවා අභිමත අරුත් ගොඩනැගීම සඳහා සුදුසුම පිළිවෙළකට එකතු කිරීම යනාදිය කවියා මුහුණදෙන මූලික ශිල්පීය අභියෝග. මම තවදුරටත් උනන්දු වුණා කවිය කියවන විට වදන් එකිනෙක ගැටීමෙන් ඇසෙන, මතුකෙරෙන අරුත් මෙන්ම එහි සෞන්දර්යාත්මක මාන ගැනත්.
යටි පෙළ..? ඔව්. මා හිතන්නේ කාගෙ වුණත් හොඳ කවියක් සරල වාච්‍යාර්ථයන්ට වඩා දුර ගමන් කරන්න ඕන. නමුත් ඒක වෙන්නේ එකම ආඛ්‍යාන ලක්ෂණයක් නිසා නෙවෙයි. කවියෙන් කවියට ඒ හේතු වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඇතැම් කවියක් ඔබේ පරිකල්පනය අවුළුවා ජීවනාර්ථ විශ්වයේ දුරට, ගැඹුරට ඔබව රැගෙන යන්න පුළුවන්. හොඳ කවියෙක් සිහින මවන්නේ එවැනි කවි ලියන්න. නමුත් මම ඇත්තටම දන්නේ නැහැ, මගේ කවි ඇසුරේ එවැනි ලකුණු රසිකයන් දකීද කියා.
ඔබ විජ්ජුල්ලතා නමින් කෙටිකවි ඉදිරිපත් කරනවා. අද තරුණ කවීන් ද කෙටිකවි ඉදිරිපත් කරනවා. ඒවා ගැන ඔබේ අදහස කුමක්ද?
කෙටි කවි වුණත් දිග කවි වුණත් සිල්ලර අනුභූතීන් සිල්ලර විදිහට ප්‍රකාශ කිරීමක් නම් වෙන්නේ සියුම් රසික මනසකට ඒවා කවි වශයෙන් විඳින්නට බැරිවීමයි. නමුත් ‘සිල්ලර’ දෛනික සංසිද්ධීන් දෙස වුණත් අපූරු, සියුම්, නැත්නම් තියුණු ඇසකින් බලන මොහොතෙයි කවියක් උපත ලබන්නේ. ඇතැම් චූල කවියක් ලොකු හා සංකීර්ණ ජීවනාර්ථයකට දොර විවර කරන්න පුළුවන්. ආරියවංශ රණවීර වැනි ජ්‍යෙෂ්ඨ කවියෙක්ගේ චූල කාව්‍ය නිර්මාණ මෙන්ම එයින් විවර කෙරුණු සංවාදය විසින් මේ කරුණු ගැන හොඳ කතිකාවක් ගොඩ නැගුණා. තරුණ කිවියන් අතරින් කිහිපදෙනෙක් මේ ගැන සංවේදී බව පෙනීම සතුටට කරුණක්.
අද අපේ කවිය තිබෙන තැන ගැන ඔබට සතුටුද?
ඔව්. එක්තරා ප්‍රමාණයකට. පැති කිහිපයකින් ඉහළට නැගුණු කවියන් කිවිඳියන් අප අතර ඉන්නවා. නමුත් ගවේෂණය නොකළ මංපෙත් උසස් කවිය සම්බන්ධයෙන් අප ඉදිරියේ තිබෙන බවයි මා හිතන්නේ. දියුණු කාව්‍ය සංස්කෘතියකට අයිතියි දියුණු රසිකයන් මෙන්ම රසිකාගාරයේ පුළුල් ව්‍යාප්තිය. එහෙම බැලුවාම කවියේ අනාගතය ගැන හරි සහතිකයක් අපට තවම නැහැ කියලයි මම හිතන්නේ. ඒක කවියට විතරක් නෙමේ අදාළ. කලාව සම්බන්ධයෙන් අපි මුහුණදෙන පොදු ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ.
තරුණ කවීන් රාශියක් බිහිවෙලා හිටියත් ඔවුන් වැඩිදෙනෙක් සාහිත්‍ය අධ්‍යයනයක් නැති බවයි පේන්නේ?
අනිත් වැදගත් වෘත්තික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වගේම කවියේත් ‘වෘත්තීක’ බව ගැන අපි උනන්දු වෙන්න ඕන. අනික් නිර්මාණ සාහිත්‍යය වගේම කවියත් බැරෑරුම් වැඩක් ලෙස අපි තවම සිතන බවක් පෙනෙන්නේ නැහැ. නමුත්, අනිත් අතට, නවකතාව හා කෙටිකතාව දිහා බැලුවත් කොයිතරම් නිසරු බාල දේවල් වසරකට ප්‍රකාශ වෙනවද? දැන් තියෙන තත්ත්වය දෙස බලද්දි, කවි ලියන බහුතරයක් අතරින් ඉතාම සුළු පිරිසක් පමණක් කවිය නොකඩවා අධ්‍යයනය කරන අතරේ ජීවිතයත් ගවේෂණය කරමින් ඉදිරියට යන්නට ඉඩ ඇති බවයි පෙනෙන්නේ. අපට පාසලේ හා විශ්වවිද්‍යාලවලින් ලැබෙන සාහිත්යික අධ්‍යාපනය මීට වඩා දියුණු මට්ටමකට ආවොත්, රසික සමාජය මීට වඩා දියුණු වුණොත් සාහිත්‍ය පොතපත පළකිරීමේදී ලේඛකයන් අතර මීට වඩා වගකීමක් දකින්නට ලැබේවි කියලා මට හිතෙනවා.
ඔබ අප දන්නේ විචාරකයෙක් වශයෙන්. අද කාව්‍ය විචාරය යාළුකමට කරන වර්ණනාවලට සීමාවෙලා බව පේනවා නේද?
අපි කල්ලි හැදීමට බර සමාජයක්. උසස් සාමූහික ලක්ෂණ අපේ අඩුයි. මේ නිසා පෞද්ගලික යාළු මිත්‍රකම් තිබෙද්දිම ඒවා අගතියක් වීමට හේතුවක් නොවී ස්වාධීන විචාරයක් කිරීමට අවශ්‍ය සංස්කෘතික පුහුණුව අප අතර අඩුයි. සාහිත්‍ය හා නාට්‍ය විචාරය නිසා සමහර විට මගේ මිතුරන් මා සමඟ තරහවෙලා තියෙනවා. නමුත් මගේ මිත්‍රකමේ අඩුවක් නැති බව වැටහුණාට පස්සේ නැවත හිත හොඳ වෙලාත් තියෙනවා. අපේ රටේ විචාරකයන් හැමදාම දෙවර්ගයක් හිටියා. බහුතරයක් පෙන්නුවේ, පෙන්නන්නේ කල්ලිගත ස්වභාවයක්. නමුත් දෙතුන් දෙනෙක් හිටියා සහ අදත් ඉන්නවා තමන්ගේ ස්වාධීන සහ සමබර මතය ප්‍රකාශ කිරීමට මැලිනොවන.
විනිශ්චය මණ්ඩලවල ඉන්න සමහරැ ඊළඟට පොත් ලියන බවට ලේඛකයෙක් පුවත්පතකට පවසා තිබුණා. ඒ ගැන ඔබ පවසන්නේ කුමක්ද?
සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයක කරන සේවය ඉතා තාවකාලික දෙයක්. නිර්මාණකරණය කියන්නේ දීර්ඝකාලීන කැපවීමක් ඉල්ලා සිටින දෙයක්. මම දන්නේ නැහැ, ඔබ කියන ලේඛකයා මොන සන්දර්භයක සිට කියූ අදහසක් ද ඔබ ඉදිරිපත් කරන්නෙ කියලා. ඕනෑම මනුෂ්‍යයෙකුට නිර්මාණ ජීවිතයකට අයිතියක් තියෙනවා. නමුත් යමෙක් සාහිත්‍ය අගැයුම් මණ්ඩලයක සේවය කරන මොහොතේ තමාගේද නිර්මාණ කෘතියක් එහි විමසීමට භාජනය වන්නට නියමිත නම් එතැන සිටීම වැරදියි.
කුසුම්සිරි