2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ආයෙත් ඉවසනවද?

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

ඉවසීම කියන්නේ අපි හැම කෙනෙක්ම පුරුදු පුහුණු කරන්න ඕනේ ගුණාංගයක්. තේරැණා ද ළමයි?

මොන්ටිසෝරියේ ඉඳන් ඒලෙවල් පන්තියට යනකල් හැම ටීචර් කෙනෙක්ම ඔය කතාව දේශනා කරනවා. ගෙදරදි අම්මලා තාත්තලත් එහෙම්මමයි. ඉවසීම නැත්නම් කිසිදෙයක් කරන්න බැහැ කියලයි මේ සමාජෙ හැම විනාඩියකදිම හැම තත්ත්පරේකදිම අපිට උගන්නන්නෙ. 

හැබැයි, පාරට බැස්සම පේන්නෙ කඩි කුලප්පුකාරයෝ රැළක්. ත්‍රීවීල් එකේ මෝටර් සයිකලේ විතරක් නෙමේ, අඩි දහයක් යන්නත් මීටරේ අසූව පන්නන ලෑන්ඩ් ක_සර්කාරයොන්ටත් හැමෝටම තියෙන්නෙ එකම කඩි කුලප්පුව. සමහරැ පාරෙ යන්නෙ හරියට ටොයිලට් එකට යන්න දුවනවා වාගේ. ඉතින් මේ වගේ සමාජෙකට තමා අපේ කට්ටිය ඉවසීම ගැන කියන්න හදන්නෙ.

අර කිව්වත් වගේ ඉවසීම කියන එක අපි පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගත්තේ පුරුදු පුහුණු කරගත යුතු ගුණධර්මයක් කියලයි. ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය කියලත් කවුදෝ කියලා තියෙනවනෙ. හැබැයි ඉවසීම එහෙමත් නැත්නම් ඉවසන එක අපි හිතන තරම්ම හොඳ දෙයක්ද කියලත් වෙලාවකට හිතෙනවා. අපි ඉවසනවා කියන්නේ අපි අකමැති දෙයක් දරාගෙන නිහඬව ඉන්නවා කියන එකනේ. 

මෙහෙම ගම්මු. තමන්ගේ කෙල්ලගෙ හොඳම යාළුවා කොල්ලෙක්. ඉතින් කෙල්ල ඌ එක්ක එහේ මෙහේ යනවා. කෙල්ලත් උගේ කරේ නැගලා ඉන්නවා. උගේ නහය ළඟින් අල්ලලා හොලෝනවා. එක විකාරයයි. හැබැයි ඌ කෙල්ලගේ හොඳම යාළුවා. තමුන්ව හම්බවෙන්න අවුරුදු ගාණකට කලින් හම්බ වෙච්ච අතිජාත මිත්‍ර පරාණය. ඉතින් ඌට මුකුත් කියන්නත් බෑ. කෙල්ලට මුකුත් කියන්නත් බෑ. ඔහොම තැනක් ආවොත් ප්‍රේමවන්ත කොල්ලා කරන්නෙ වෙන මුකුත් නෙමේ ඉවසන එකයි. මොකද පොඩි කාලෙ ඉඳන් හොඳයි හොඳයි කියලා අපිට කියලා දීලා තියෙන දේනෙ. 

හැබැයි ඔහොම ඉවසන්න ඉවසන්න කොල්ලගේ හිතේ ගොඩ ගැහෙන්නේ අනිත් කොල්ලා ගැන වගේම තමන්ගේ කෙල්ල ගැනත් වෛරයක්. පෘථග්ජන මිනිස්සු හැටියට ගත්තම බොහොම සාධාරණ වෛරයක්. 

හැබැයි අන්තිමේට වෙන්නෙ අපි හීනෙකින්වත් හිතන දෙයක් නෙමේ. මොකද අපි ඉවසනවා කියන්නේ අනිත් පැත්තෙන් අපි වෛරය එකතු කරනවා කියන එකනම් ඒක ඉවසන්නේ නැති එකට වඩා දරුණුයි. කාගෙන ඉවසගෙන හිටියත් අපිටත් නොදැනිම අපි බලන්නෙ කොහොම හරි ඒ වාඩුව අල්ලන්න නම් වැඩක් නෑ ඉතින්. 

එහෙම වුණොත් වැඩි කාලයක් යන්න කලින් අර ප්‍රේමවන්ත කොල්ලට සිද්ධ වෙන්නෙ එක්කෝ කෙල්ලව අත්හැර ගන්න, එහෙමත් නැත්නම් කෙල්ලගෙ යාළුවා එක්ක කඩු කිණිසි යුද්ධෙකට පැටලෙන්න. 

ඉවසන එක නරක දෙයක් නෙමේ. ඇත්ත. හැබැයි ඉවසිය යුත්තේ කොයි වෙලාවට ද ඉවසිය නොයුත්තේ කොයිවෙලාවට ද කියලා තීරණය කරන්න අපි මොළේ කල්පනා කරන්න ඕනෙ. ඒ විතරක් නෙමේ. අපිට ඉවසන්න පුළුවන් පරිමාණෙ කොච්චරක් ද කියලා අපි තේරුම් ගන්නත් ඕනෙ. ඒ ප්‍රමාණෙ ඉක්මවලා ඉවසන්න ගියාම වෙන්නෙ අනිත් උන් ඇවිත් අපේ ඔළුවට අත හෝදලා යන එක. නිවටකම කියලත් සමහරු ඒ ඉවසීම දකින්න පුළුවන්. 

අපි ජීවත් වෙන්නේ සෑහෙන්න සංකීර්ණ ලෝකෙක. ලෝකෙ දුවන විදිහ, සිස්ටම් එක සංකීර්ණයි වගේම මිනිස්සුන්ගේ හිත් වැඩ කරන විදිහ, මිනිස්සු එකිනෙකා එක්ක ගනුදෙනු කරන විදිහ ඊටත් වඩා සංකීර්ණයි. ඉතින් එහෙම වුණාම ඉවසන එක හැම වෙලාවකදිම හොඳ වැඩක් වෙන්නෙ නෑ. අපි ඉවසිය යුත්තේ ඉවසිය යුතු මොහොතේයි. නොඉවසිය යුතු මොහොතක ඉවසා වදාරා හිටියොත් අන්තිමට ඉතුරු වෙන්නෙ මහ භයානක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. 
සියදිවි නසාගන්න පවා සමහරු පෙළෙඹෙන්නෙ ඒකයි.

► ජා

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00