2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ජර්මානුවන් අවුරුද්දටම කන්නේ එක පොල් ගෙඩියයි

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 279

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනෙකු සමඟ කළ සංවාදයක සටහන් පෙළේ සත්වැන්නයි. මෙවර ද අපේ කථානායකයා වන්නේ එච්.ඩී. වික්ටර් මහතා ය. ඔහු ජර්මානු බසින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන පළපුරුදු ගයිඩ් මහතෙකි. 

මාසෙකට පොල් ගෙඩි තිහක්?

ජර්මානුවෝ කවදත් ලංකාවේ කෑමබීමවලට කැමතිය. අපේ කෑමබීම රස විඳින්නට පමණක් නොව ඒවා උයන පිහන ආකාරය දැකගැනීමට ද ඔවුහු උනන්දු ය. 

“ස්පයිස් ගාඩ්න්ස්වලට ගියාම අපි කෑම හදන විදිහ පෙන්නනවා. දර ළිපේ කෑම හදලා ඒවා එයාලටම කන්නත් දෙනවා. ඉතින් එයාලා හුඟක් ආසාවෙන් ඒවා කනවා.” 

ලංකාවේ මොන වගේ කෑමවලටද එයාලා වැඩියෙන් කැමති? 

“එහෙම විශේෂයක් නැහැ. හැමදේම ආසාවෙන් කනවා. බත් මාළු පිනිත් එක්ක රස කරකර කනවා. කිරිබත් වගේ දේවල් නම් එහෙත් තියෙනවා.” 

එයාලට මිරිස් රස දරාගන්න අමාරු නැද්ද? 

“සමහර අය ගාණක් නැතුව අපි කනවා වගේම කනවා. හැබැයි කිරිබතක් දුන්නත් අපි ලුණු මිරිස් වගේම හකුරුත් තියලා තියනවා. මොකද මිරිස් කන්න බැරි අය තමයි වැඩි දෙනෙක් ඉන්නෙ.”

ජර්මානුවෝ ලාංකිකයන්ගේ ආහාර පුරුදු ගැන විමතියට පත්වන අවස්ථා ද බහුල ය. මිරිස් රසය මෙන්ම අපේ ඇත්තන්ගේ බත් කෑමේ පුරුද්ද ගැනත් පොල් අත්‍යවශ්‍ය දෙයක් වීම ගැනත් ජර්මානුවෝ අසා සිටින්නේ ඇස් උඩ දමාගෙන ය. 

“අපේ සාමාන්‍ය පවුලකට දවසට හාල් සේරුවක්, පොල් ගෙඩියක් ඕනෙමනෙ. හැබැයි ඒක ඇහුවම කාරයින්ට පුදුමයි. දවසට පොල් ගෙඩියයි කියන්නේ මාසෙට පොල් ගෙඩි තිහක්. අවුරුද්දට 365ක්. අපි නම් අවුරුද්දකටවත් පොල් ගෙඩියක් කන්නෙ නෑ කියලා එයාලා හිනාවෙවී කියනවා.” 

ජර්මනියේ එහෙම වුණත්, ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ... 

වික්ටර් මහතා හොඳ කිතුණුවෙකි. එහෙත් අනුරාධපුරයේ පොළොන්නරුවේ නටබුන් අතර සැරිසරමින් ඔහු අතීත බෞද්ධ උරුමයන් තුළ සැඟවුණු ශ්‍රී ලාංකිකත්වය සංචාරකයින්ට පෙන්වීම ඔහුට ආගන්තුක දෙයක් නොවේ. 

“රුවන්මැලි සෑය වගේ තැනකට ගියාට පස්සේ එයාලට ඒක හදපු වර්ෂය දැනගන්න ඕනෙ වෙනවා. ඉතින් අපි කියනවා අවුරුදු දෙදාහකට කලින් හදපු දෙයක් කියලා. හැබැයි එයාලාට ඒක තවත් හොඳට දැනෙන්නෙ, ඊජිප්තුවේ පිරමීඩ තරම් ඉතිහාසයක් මේ බෞද්ධ නටබුන්වලටත් තියෙනවා කියලා කිව්වමයි.” 

“බෞද්ධාගම ගැනත් ජර්මන් කට්ටිය ගොඩක් උනන්දුයි. ඉතින් අපි බුද්ධාගම ගැනත් ගොඩක් කියලා දෙනවා.”

ජර්මානුවෝ අන්‍ය සංස්කෘතින්ට ගරු කිරීමට කිසිවිටෙක නොපැකිළෙන ජාතියක් බව වික්ටර් මහතාගේ හැඟීම ය. තමන් එපා යැයි කියන කිසිවක් කිසිදු ජර්මන් ජාතිකයෙකු මෙතෙක් කරන්නට ගොස් නැතැයි ඔහු කියන්නේ එනිසා ය. 

“අපි පන්සල්වලට යද්දි ටුවරිස්ලාට කියන්නේ කොටට අඳින්න එපා පුළුවන් තරම් දිගට ඇඟ වැහෙන ඇඳුමක් අඳින්න කියලයි. අපේ සංස්කෘතිය ඒ විදිහයි කියලා තමයි අපි එයාලට කියන්නෙ. ඉතින් එයාලා බොහොම සතුටින් ඒ විදිහට ඇඳ පැළඳගෙන යනවා. ඒත් පන්සලට ගියාට පස්සෙ අපේ කාන්තාවෝ ඉන්නවා කොටට කොටේ පාට පාට ඇඳගෙන. ඉතින් මේ මොනවද මෙයාලා ඇඳගෙන ඉන්නෙ කියලා එහෙම වෙලාවට ගෙස්ට්ලා අපෙන් අහනවා.” 

ලාංකිකයෝ පෝලිම්වල රැඳෙන්නට බැරි ජාතියක් බව අපි හොඳින් දන්නා කරුණකි. මහමඟ රථවාහන පෝලිමේ සිට බැංකු කවුන්ටරයේ පෝළිම දක්වා අපේ ඈයෝ බලන්නේ, කෙසේ හෝ පෝළිමේ ඉස්සරහට පැනගන්නට ය. අනෙකාට ඉස්සර වී තමන්ගේ වැඩේ කරගන්නට ය. 

“දළදා මාළිගාව වගේ තැනකට අපි ගියාට පස්සෙ අපි මූණදෙන තවත් ප්‍රශ්නයක් තමයි අපේ මිනිස්සුන්ගේ අසංවරකම. ටුවරිස්ට්ලා පූජාව වෙනුවෙන් පෝලිමේ බලා ඉද්දි අපේ මිනිස්සු ඇවිල්ලා කිසි ගාණක් නැතිව පෝලිමේ ඉස්සර වෙනවා. ඒ වෙලාවට ටුවරිස්ට්ලා අපේ මූණ දිහා බලනවා. අපිටත් කරකියා ගන්න දෙයක් නෑ. ඉතින් මම කියනවා, අපි මෙතැනට ඇවිල්ලා ඉන්න එකත් එයාලගේ පූජා කටයුතුවලට බාධාවක්නෙ කියලා. අපේ පැත්තට වැරුද්ද දාලා මම ඒක ෂේප් කරනවා.” 

ලංකාවේ එහෙම වුණත් ජර්මනියේ එහෙම නැත. ජර්මානු ජාතිය අතිශය සංවරය. විනීතය. තමාගේ ක්‍රියාවෙන් අනෙකාගේ නිදහසට බාධාවෙන්නට ජර්මානුවෝ ඉඩ නොතබති. 

“දවසක් ටුවර් එකක් ගිහිල්ලා ටිකක් විවේකයෙන් ඉන්න වෙලාවක මම සිගරට් එකක් බිබී හිටියා. බීලා ඉවරවෙලා සිගරට් කොටේ ඒ හිටපු තැනම බිම දාලා මම යන්න හැදුවා. ඒ ළඟ හිටපු ජර්මන් ටුවරිස්ට් කෙනෙක් ඇවිල්ලා මට දොස් කිව්වා. ‘සිගරට් බීලා කොට තැන තැන දාලා යන එක හරිම නරක පුරුද්දක්’ එයා කිව්වා. එහෙම කිව්වම මටත් වස ලජ්ජාවක් ඇතිවුණේ. අපේ රටේදි නම් ඕක හරිම සාමාන්‍ය දෙයක්නෙ. ඒත් ජර්මන්කාරයෝ අපි හිතන්නෙත් නැති තරම් විනීතයි.” 
සීට් එක යට හැංඟුණු සුද්දා

යාල වනයේදී වික්ටර් මහතාට මුණගැසුණු කොටියා ගැන අපි පසුගිය සතියේ දැනගතිමු. යාලේ දඟයා හෙවත් ගැමුණු සම්බන්ධයෙන් ද ඔහුට ඇත්තේ අපූරු මතකයකි. 

“දවසක් යාලට ගිහින් ඉද්දි ගැමුණුට කොටුවුණා. ඇත්තටම ළඟට එනකල්ම ඒ ගැමුණු කියලා මම අඳුන ගත්තෙත් නෑ. කොහොම හරි ගැමුණු අපේ ජීප් එකට ඇවිත් හොඬේ ඇතුළට දාලා කෑම හොයන්න ගත්තා. කොච්චර කිව්වත් කෑ ගහන්න එපා කියලා ගෙස්ට්ලා මහ හඬින් හූ තිබ්බා. ඒ කලබලේට ගැමුණු කළේ කෑම හොයන එක නවත්තලා හොඬේ ඉක්මනට එළියට ගන්න හදපු එකයි. ඒත් එක දළක් ජීප් එකේ පැටලුණා. ඉතින් ඌ දළේ ගන්න හදද්දි ජීප් එක ඒ පැත්තටයි මේ පැත්තටයි හෙළවෙනවා. අපේ කට්ටිය තවත් බයවෙලා. අන්තිමට ගැමුණු ජීප් එකෙන් අයින් වුණාට පස්සෙ මම අපේ කට්ටිය දිහා බලනකොට එක් කෙනෙක් අඩුයි. මාව රත් වුණා. පස්සෙ බලද්දි එක මනුස්සයෙක් බයවෙච්ච පාර සීට් එකක් අස්සට රිංගලා. ඒක අස්සෙ මනුස්සයෙක්ට ඉන්න පුළුවන් කියලා හිතන්නත් බෑ. අන්තිමට බය පැත්තකින් තියලා අපි සේරම බඩ අල්ලන් හිනා වුණා.” 

ෆුට්බෝල් වලි

සංචාරක මඟපෙන්වීම්වලදී ලැබෙන තවත් අපූරු අත්දැකීමක් වන්නේ, එක් එක් ජාතීන් අතර තිබෙන නුරුස්නා ගතියයි. ජර්මානුවන්ට ද ඇතැම් ජාතීන් නුරුස්සයි. ඉතාලි ජාතිකයා ඒ අතරින්  ඉදිරියෙන්ම සිටි. 

 “මොන හේතුවක් නිසා ද මම දන්නෙ නෑ ඒ ගොල්ලෝ ඉතාලි අයට කැමති නෑ. මම අනුමාන කරන විදිහට නම් ඒක ෆුට්බෝල් නිසා තියෙන අවුලක්. ඉතාලිය ෆුට්බෝල් මැච් එකක් දිනපුදාට ජර්මන්කාරයින්ට මාර අප්සට්. මුළු දවසම අවුලෙන් ඉන්නවා. ස්පාඤ්ඤෙ ගැනත් එච්චර කැමැත්තක් නෑ. චීන අයගේ කෑම පුරැදු හින්දා චීන අයටත් ඒ ගොල්ලෝ කැමති නෑ. චීන්නු හරියට කෑම අපතේ දානවනෙ. පිඟාන පිරෙන්න බෙදාගත්තත් ඒගොල්ලෝ කන්නෙ ඒකෙන් බාගයයි. ඒ වගේ දේවල් දැක්කම ජර්මන්කාරයොන්ට අප්සෙට්.” 

රහසින් බැඳි පෙම 

ජර්මානුවා ගැන කතාකරද්දී දෙවැනි ලෝක යුද්ධයත් හිට්ලරුත් අමතක කරන්නට බැරිය. මුළුමහත් ලෝකයටම දෙවැනි ලෝක යුද සමය යනු අප්‍රසන්න මතකයක් වුවද ඇතැම් ජර්මානුවන්ට තවමත් එය තම ජාතියේ සමෘද්ධිමත්ම යුගයකි. ගෞරවයෙන් යළි යළිත් සිහිකරන කාලපරිච්ඡේදයකි. 

“ඒ ගොල්ලෝ හිට්ලර්ට කැමතිද නැද්ද කියන එක අපිට හිතන්න අමාරුයි. මොකද එයාලා ඒක පිටට පෙන්නන්නෙ නෑ. හැබැයි නිකමට හරි දෙවැනි ලෝක යුද්දෙ, හිට්ලර් ගැන කතාකරද්දි ජර්මන්කාරයා තුළ හිට්ලර් ගැන හැංඟිච්ච ගරුත්වයක් තියෙන බව අපිට දැනෙනවා. හිට්ලර් උත්සාහ කළේ ජර්මන් ලේ ලෝක පුරා පතුරුවන්නනෙ. ඒකට එයාලා කැමති ඇති. ඒත් අර යුදෙව්වෝ ලක්ෂ ගාණක් මරපු හින්දා එයාලා හිට්ලර් ගැන කතාකරන්නෙ නෑ.” 

සංචාරයේ අගභාගය වනවිට ඇතැම් සංචාරකයෝ තම ගයිඩ් මහතා සමඟ අතිශය ළෙන්ගතු සම්බන්ධයකට මුල පුරති. ඒ ළෙන්ගතුකම නිසාම ඔවුන් ආපහු යාමට ගුවන්තොටුපොළට යන අවස්ථාව අතිශය සංවේදී මොහොතකි. 

“සමහර ටුවර්ස් ඉවර වෙලා එයාර්පෝට් යද්දි මාත් අඬලා තියෙනවා. ගෙස්ට්සුත් අඬලා තියෙනවා. ඉතින් ඒ වගේ බැඳීමක් ඇති වෙච්ච අය එක්ක පස්සෙ කාලෙකත් ලියුම් හුවමාරැවීම් සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. ක්‍රිස්මස්වලට කාඩ් යවන එකත් ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා.*

(තවත් රසවත් අත්දැකීම් සමුච්චයක් සමඟින් ලබන සතියේ නැවත හමුවෙමු.)

► රජිත ජාගොඩ ආරච්චි