කලාඔයේ මහා පරිමාණ වැලි ජාවාරමක් සිදුවන බවට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට වාර්තා වීමත් සමඟ පසුගිය 19 වැනි දින ඒ පිළිබඳ පරික්ෂා කිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නිලධාරින් සහ පුත්තලම කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කළහ. කලාඔයේ වැලි ඉවත් කිරීමට සැලසුම් කරමින් සිටි එක් අයකු අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව වනජීවීයේ විල්පත්තුව කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වන ඉතාමත් අලංකාර කඩොලාන සහිත පරිසර පද්ධතියකට උරුමකම් කියන ගඟේවාඩිය කලපු තීරය ධීවරයන්ට කදිම උරුමයකි. පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය ප්‍රධාන පාලමට වම්පසින් මීටර පන්සියයක් පමණ ගිය පසු කලාඔය හරස්කර ඉදිකර ඇති නීලබැම්ම අමුණේ සිට ගඟේවාඩියෙන් කලාඔය කලපුව හා එක්වනතුරු කිලෝමීටර විස්සක පමණ දුර පූර්ණ අයිතිය විල්පත්තුව ජාතික වනෝද්‍යානය සතුව පවතී.
කලාඔය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන අතර මෙහි මසුන් මැරීම, වැලි ගොඩදැමීම, ගස් කැපීම වැනි ක්‍රියාවක් සිදුකිරීම වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. ගඟේවාඩිය පරම්පරා ගණනාවක සිට ධීවර රැකියාවේ නිරතවන ධීවර පවුල් 100කට ආසන්න පිරිසක් ජීවත්වන ගම්මානයකි.
මේ ජනතාවගේ යටිතල පහසුකම් සපයා දීමට පැවති රජයන් කටයුතු කර ඇත. යුද්ධය නිමවීමත් සමඟ මෙම ප්‍රදේශය ඉඩම් මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුවද ගම්මානයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ගඟේවාඩිය ප්‍රදේශය තරමක් හෝ ආරක්ෂාවී ඇත. ගම්මානයේ අතීතයේ පටන් වර්තමානය දක්වා තොරතුරු එක් රුස්කර ගත් අප ගඟේවාඩිය සාන්ත සෙබස්තියන් සමිතිය මඟින් කළ ඉල්ලීමක් අනුව මෝය කට සකස් කිරීම සඳහා වැලි ඉවත් කිරීමට ධීවර අමාත්‍යංශය ටෙන්ඩර් කැඳවීමකින් ව්‍යාපාරිකයකුට ලබාදී ඇති ස්ථානයට ළඟා වූයෙමු.
එහි පැමිණි අපට එකවර නෙත ගැටුණේ කලාඔයේ ස්ථානගතකර ඇති රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා වැලි පොම්ප කිරීමට යොදා ගන්නා ජලයේ පාවෙන යාත්‍රාවකි. යාත්‍රාවේ සිට ගොඩබිම ස්ථානගතකර තිබූ වැලි පෙරණය දක්වා විශාල ප්‍රමාණයේ බට සවිකර තිබෙන අයුරු දර්ශනය විය. රුපියල් ලක්ෂ තුන්සියයක් පමණ වැය කර ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ දර්ශන කැමරා කාචයේ සටහන් කර ගත් අපට ප්‍රශ්නාර්ථයක් මතුවිය. එය නම් මෙතරම් විශාල මුදලක් වැයකර ඇති මෙම ව්‍යාපෘතිය නිති විරෝධී ලෙස සිදුකරන්නක් විය හැකි ද යන්නයි.
මතු වූ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නා අරමුණින් එම ස්ථානයෙන් පිටත් වීමට පෙර පැමිණි ව්‍යාපෘතිය භාර නිලධාරියකු ව්‍යාපෘතිය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය විසින් කරන ලද ටෙන්ඩර් කැඳවීමකින් ලබා ගත් බවත් මෙම ලිපිගොනු ඒ හරහා ලැබුණු ඒවා බවත් කියමින් වැලි ඉවත් කිරීමට අවසර ලබා දුන් ලිපිගොනු කිහිපයක් අප සතු කළේය.
ව්‍යාපාරිකයා ජාවාරමක් නොකරන බව පැහැදිලි වුවද රාජ්‍ය මට්ටමින් සිදු කරන්නේ ජාවාරමක් ද යන්න සැක සිතිය හැකි ආකාරයෙන් අවසර පත්‍ර නිකුත් කර ඇත. වගකිව යුතු රාජ්‍ය ආයතන තම වගකීම නිසි ලෙස ඉටුකර නොමැති බවක් ඒ ඒ ආයතන විසින් ලබාදී ඇති අවසර පත් මගින් පැහැදිලි විය. 2016 වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා කලාඔයේ වැලි ගංඟාව හරහා පැමිණ මෝය කට තුනක් වැසී පවතින බවත් ගඟේ කට වැලි ගසාගෙනවිත් මඩ තට්ටුව උඩින් තැන්පත් වී කිලෝමීටර එකහමාරක් පමණ දුරට වැලි කඳු නිර්මාණය වී ඇති බවත් දළ වශයෙන් වැලි කියුබ් 5000ක් ඉවත් කළ යුතු බව ප්‍රදේශවාසීන්ගේ මතය බවත් වැලි ඉවත් කිරීමට සුදුසු බවත් නිර්දේශ කර ඇත. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ එම නිර්දේශය අනුව සෑම වර්ෂාවක් අවසානයේදීම වැලි ඉවත් කිරීමට සිදුවන බවත් මෙම නිර්දේශය ජනතා ඉල්ලීම මත පැහැදිලි අවබෝධයකින් තොරව ලබාදී ඇති එකක් බවත් අපට පැහැදිලි විය.
මධ්‍යම පරිසර අධිකාරියේ කාන්ති ද සිල්වා වැ. බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලබාදී ඇති අවසර පත්‍රයේ සඳහන් වන්නේ ගඟේවාඩිය මෝය වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් පරිපාලනය වන ප්‍රදේශයක් බැවින් මෝය කැණීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ අවශ්‍ය නොවන බවයි. එම ලිපියෙන් පැහැදිලිවම වැටහෙන්නේ තම අධිකාරියේ වගකීම කුමක්ද යන්න හරිහැටි නොදැන හෝ හිතාමතා වගකීම් පැහැර හැර නිකුත් කළ ලිපියක් ලෙසයි.
ගඟේවාඩිය මෝය ප්‍රතිසංස්කරණය කිරීමට වැලි ඉවත් කිරීම ධීවර හා ජලජ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය 2017. 10. 25 වන දින වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද වහාම වැලි ඉවත් කිරිම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන කටයුතු කෙරෙමින් පවතින බව 2017 නොවැම්බර් මස10 වැනි දින පාර්ලිමේන්තු විවාදයේදී ද කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේද සටහන්වී ඇති අතර එහිදීද වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය පිළිබඳ සඳහන් නොකළේ ඇයි දැයි ගැටලුවකි.
වැලි ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් සමාගම මෙම කටයුත්ත සඳහා යොමු වූයේ නිත්‍යනුකූලව ධීවර අමාත්‍යංශය කළ ටෙන්ඩර් පටිපාටියකින් ලබාගත් ටෙන්ඩරයක් අනුව බව පැවසූ සමාගමේ නිලධාරියකු වූ නොයෙල් පීරිස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මේ වැලි ඉවත් කිරීම අපි පටන් ගත්තෙ අපිට ඕනෑ විදිහට නෙවෙයි. ගමේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලුම් කරලා තිබෙනවා මෝය හාරලා දෙන්න කියලා. ඒ අනුව තමයි ධීවර අමාත්‍යංශය හරහා මේක අපට ලැබුණේ. මෝය කට සකස් කිරීම තමයි මූලික අරමුණ. එහි අතුරු පලයක් ලෙස ලැබෙන වැලිවලට ධීවර අමාත්‍යංශය හරහා තමයි යම්කිසි දෙයක් වෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා පතල් කැණිම් කාර්යාංශය, ජල සම්පත් පරික්ෂණ ආයාතනය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දුන්න අවසරත් එක්ක තමයි අපි මේ වැඩේට යොමු වුණේ. ටෙන්ඩරයෙන් පස්සේ ධීවර අමාත්‍යංශයෙන් අපට දුන්න ඒවා. වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසර ගන්න ඕනෑ කියලා අපි දන්නෙ නැහැ. රජයේ ටෙන්ඩරයකින් ගත්ත නිසා අපි මේ ගැන බැලුවෙත් නැහැ. මේ ව්‍යාපෘතියට අපි රුපියල් කෝටි ගණනක් වියදම් කරලා තිබෙනවා. අපි කරන්න ගියේ හොඳ දෙයක්. අන්තිමට ගැටලුවක් බවට පත්වුණා. සාධාරණව හිතලා ව්‍යාපාරිකයන්ව අසරණ නොවෙන තීරණයක් ගන්න කියලා තමයි රජයට කියන්න තියෙන්නේ.
කලාඔය කලපුවට බසින ගඟේ වාඩිය මෝයේ වැලි ඉවත් කිරීමට නම් පුමුඛව අවසර ලබාගත යුත්තේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනුයි. ජාතික උද්‍යානයක මායිමක, ප්‍රේරක කලාපයක පිහිටා ඇති ස්ථානයක යම් ක්‍රියාවලියක් සඳහා වෙනත් කුමන ආයතනයකින් අවසර ලබා ගත්තද එහි සැබෑ නිත්‍යනුකූල භාවයක් නොලැබේ.
ගඟේ වාඩිය යනු කලපුවත් මුහුදත් යා කරන ස්ථානයක් නොව ගඟක් කලපුවට එක්වන ස්ථානයක් බව වගකිව යුතු ආයතන දැනගත යුතුය. මෙම වැලි ඉවත් කිරීමේ ක්‍රියාවලියට මුලපිරූ පසු දේශපාලනඥයන්ගේ ඉල්ලීම මත අවසර ලබාදී ඇති දෙපාර්තමේන්තු වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බව සඳහන් නොකර වැලි ඉවත් කිරීමට නිර්දේශ ලබාදී ඇත්තේ ගඟේ වාඩිය විල්පත්තුව ජාතික උද්‍යානයේ පිහිටි ගම්මානයක් බව නොදන්නාකම නිසා බව ඉතාමත් පැහැදිලිය. ජන ව්‍යවහාරයේ අසන්නට ලැබෙන බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට ගොස් සිදුවන දෙය හා සමාන දෙයක් කලාඔයේ වැලි ඉවත් කිරීමේ ක්‍රියාවලියට සිදුවී ඇත. වැලි කඳු බවට පත්වී ඇති කලාඔය මෝය කටේ වැලි ඉවත් කිරීම තුළින් පුත්තලම ඇතුළු ප්‍රදේශ ගණනාවක වැලි ගැටලුවට විසඳුම් ලබා ගැනීමට හැකි නම් වඩාත් වැදගත් වේ.
►රෝවන් පෙරේරා - පුත්තලම