එදවස පටන් රජරට තැන තැන දහසින් බැඳි වැව් අමුණු කෘෂිකර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තය උදෙසාද මනා තෝතැන්නක්ව පැවත ඇත. වැව ඇසුරෙහි දිවි සරි කොටගත් දස දහසක් දෙනා අතර ධීවරයෝ ද නිරන්තර රැඳුණහ. එහෙත් අළු දූලි අවුළුවමින් කන්න කිහිපයක් තිස්සේ රජරට වසා පැතිර ඇති නියං සායෙන් ගොවීන් මෙන්ම ධීවරයෝ ද අසරණ වූහ. පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුරයේ ප‍්‍රධාන වාරි ජලාශවල මෙන්ම ග‍්‍රාමීයව ඇති මධ්‍යම හා කුඩා ප‍්‍රමාණයේ වැව් අමුණුවල ජල ධාරිතාවය සීඝ්‍ර ලෙස පහත වැටීමෙන් වැව් මාළු මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.
රාජාංගණය ජලාශය ආශ‍්‍රිතව ඇල්ගී විශේෂයක් බෝවීම හේතුවෙන් දැල් එලීම අසීරු වීමෙන් මත්ස්‍ය අස්වැන්න දැඩි ලෙස පහත බැස ඇත. මහවිලච්චිය, නුවර වැව, නාච්චාදූව වැව, පදවිය වැව, මහ කනදරා වැව, හුරුළුවැව ආදි ප‍්‍රධාන ජලාශ ආශ‍්‍රිතව ලැබෙන මත්ස්‍ය අස්වැන්න ද සීමාසහිත වී ඇති බව ධීවරයෝ පවසති. මහවැලි දියවර ගලා එන කලාවැව ආශ‍්‍රිතව පමණක් යම් මාළු අස්වැන්නක් ලැබෙන බව සඳහන්ය.
දෛනිකව ලැබෙන මාළු අස්වැන්න දැඩි ලෙස පහත වැටීමෙන් වැව් මාළු තොග මිල ද ඉහළ නැග තිබේ. මාළු ලෑලි පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් සහ යතුරු පැදි සහ පාපැදි මගින් ගොස් මාළු අලෙවියේ යෙදෙන ව්‍යාපාරිකයන් හෙළිකරනුයේ තොග මිලට සාපේක්ෂව මාළු සිල්ලර මිල ද ඉහළ දැමීමට සිදුව ඇති බවය. අනුරාධපුරයේ ප‍්‍රධානතම ජලාශයක් වන රාජාංගණය වැව ආශ‍්‍රිතව ධීවර කර්මාන්තයේ නියුතු සිරිමාපුර, සෙවණ පියස ධීවර ගම්මානයේ “ඩබ්ලිව්. නිලන්ත රොෂාන්” මහතා සිදුකළේ මෙවැනි හෙළිදරව්වකි.
මගේ අද දවසේ ආදායම මාළු කිලෝ දෙකයි. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ. වැවේ වතුර අඩු හින්දා මාළු ටිකක් අල්ලා ගත්තා නම් ආදායමක් හොයා ගන්න තිබුණා. ඒත් දැන් මාළු නෑ. එහෙන් වැව පුරාම දියසෙවල බෝවෙලා. දැන් ගොඩක් අය මේ රස්සාව අතෑරලා වෙන වෙන රස්සා හොයාගෙන ගමෙන් පිට ගිහිල්ලා ඉන්නේ. අපිට කුඹුරු ඉඩකඩම් නෑ. ජීවත් වෙන්ඩ තියෙන එකම මාර්ගේ මේ වැව. මේ රස්සාව කරගන්ඩ බැරිවුණොත් දරුවෝ බඩගින්නේ. දැන් මොනවා කරන්ඩද කියලා හිතාගන්න බැරිව ඉන්නේ.
වැව් තොටේදී මාළු කිලෝවක තොග මිල රුපියල් 220 ත් 250 ත් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ කියති. මත්ස්‍ය අස්වනු පරිභෝජනය දක්වා එන ගමනේදී එය රුපියල් 360 ක් දක්වා ඉහළ ගොස් ඇත. සමහර තැනක එය රුපියල් 380 ක්, 400 ක් දක්වා ඉහළ නැග ඇති බව ද පාරිභෝගික ජනතාව පවසති. වැව් අමුණු නියං සායට මැදිවන්නට මත්තෙන් වැව් මාළු කිලෝවක සිල්ලර මිල රුපියල් 280 ත් 300 ත් අතර මිලක පැවැති අතර, තොග මිල රුපියල් 160 - 180 ත් සීමාවේ පැවති බව තඹුත්තේගම, තෙල්හිරියාව ගම් මායිමේ කුඩා මාළු මැස්සක් පවත්වගෙන යන එස්. සැම්සන් මහතා පැවසීය. සිය යතුරැ පැදියේ ගොස් වැව් මාළු අලෙවියේ යෙදෙන කේ.ඩී. ජානක මේ වෙළෙඳාමෙන් හොද හැටි පදම් වූ තරුණයෙකි. ඔහු පැවසූයේ මෙවැනි අදහසකි.
කිසිම වෙළෙන්දෙකුට හරිහමන් විදිහට මාළු ගන්ඩ තැනක් නෑ මේ දවස්වල. සමහර දවස්වලට උදේට වැවට ගිහිල්ලා නිකම්ම ආපහු එන්ඩ වෙලා තියෙන්නේ. අපිට තියෙන ප‍්‍රශ්න ගැන ඇත්තටම කාගෙවත් අවධානයක් නෑ. මාළු අල්ලන වෙළෙන්ඳන් කරන මිනිස්සු කී දාහක් නම් ඉන්නවද? ඇත්තට බැලුවොත් ඒ හැම කෙනෙක්ම මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. ඒකට එක අතකින් කාටවත් දොසක් කියන්න බෑ. ඒත් වැව් හිඳෙනකොට ගොවිතැන් කරන මිනිස්සු ගැන කතා කරනවා වගේම වැවෙන් ජීවත්වෙන අනිත් මිනිස්සු ගැනත් හොයන්න කවුරුවත් නැති එක තමයි අවාසනාව.
මත්ස්‍ය අස්වැන්න පහත වැටීමෙන් වැව් කරවල අලෙවියේ යෙදෙන වෙළෙඳුන්ගේ ජීවනෝපායද අවදානමට වැටී ඇත. කරවල නිෂ්පාදනය සඳහා මාළු කිලෝ දෙක තුනක්වත් සොයාගැනීම අපහසු වී ඇති බව ඩබ්ලිව්.කේ. සුමනා ලක්ෂ්මි මහත්මිය පැවසුවාය. ඇය මහකනදරාව වැව් බැම්ම පසෙක හිඳ කලෙක සිට මාළු සහ කරවල අලෙවියේ යෙදෙන්නීය. ඉකුත් වකවානුවේ මාළු සහ කරවල වෙළෙඳාමේ යෙදුණු වෙළෙඳ කුටි බොහෝමයක් ද පාළුවට ගොස් තිබේ. වෙළෙඳුන් විශාල පිරිසක් මේ අන්දමින් මහකනදරාවල අංගමුව ආදි වැව් ආශ‍්‍රිතව වැව් කරවල වෙළෙඳාමේ යෙදී ඇත. තලාවල මොරගොඩ ප‍්‍රදේශයේ මහ මඟ පසෙකට වී මාළු අලෙවියේ යෙදෙන එස්.ඩී. පියසේන මහතා පැවසූයේ මෙවැනි කතාවකි.
මේ දවස්වල කිසිම ලොකු වැවකින් මාළු එන්නේ නෑ. මහවිලච්චිය, පදවිය, රාජාංගනය වගේ වැව් වලින් මාළු එන්නෙම නෑ. නුවර වැවෙන් එන්නෙත් නෑ. මේ අහල පහල තියෙන වතුර ටිකක් එකතුවෙච්ච ගම්මැදි කොටු වැව් වලින් තමයි මෙහෙමවත් මාළු ටිකක් එන්නේ. එන මාළු ටික පැයක් හමාරක් යනකොට ඉවරයි. මාළු හිඟ නිසා ගාණ ටිකක් වැඩියි. කොයිදේත් එහෙමනේ. ඉතුරු වෙන මාළු වලින් තමයි දුම් කරවල, ලුණු කරවල හදන්නේ. ඒත් දැන් කරවල කරන්ඩ මාළු ඉතුරු වෙන්නේ නෑ.”
ධීවරයින්ගේ දෛනික මත්ස්‍ය අස්වැන්න කිලෝ කිහිපයකට සීමාවීමට අනවසර මසුන් මරන්නන් සිඳුනු වැව්, අමුණු වල ලොකු කුඩා සියලු මසුන් නෙලා ගැනීම ද හේතුවී ඇති බව ධීවරයෝ පවසති. මත්ස්‍ය අහේනිය හේතුවෙන් ධීවරයන් සමහරකු ප‍්‍රදේශයෙන් බැහැරව වෙනත් රැකියාවන් සොයා ගොස් ඇති බවත්, වෙළෙඳුන් මෙන්ම දෛනිකව මාළු මිලදී ගත් පාරිභෝගිකයන්ද අපහසුතාවයට පත්ව ඇති බවත් ප‍්‍රදේශවාසීහු හෙළිකරති. වසර හතළිහක් තිස්සේ සිය පාපැදියේ නැගී වැව් මාළු අලෙවියේ නිරතව ඇති තලාව ප‍්‍රදේශයේ පදිංචි හැටහය වියැති ඩී.බී. බේලින් මහතා පැවසූයේ මෙවැනි අදහසකි.
මට මතක ඇති කාලෙක මෙහෙම මාළු හිඟයක් ඇවිල්ලා නෑ. දැන් විකුණන්ඩ මාළු කිලෝ පහ හයක් හොයාගන්නෙත් පුදුම අමාරුවකින්. වෙච්ච දේ තමයි පහුගිය ටිකේ ලොකු පොඩි හැම වැවකම වතුර අඩුවුණා. සමහර වැව් අඩියටම හිඳුණා. ඉතිං හිටිය මාළු ටික ඔක්කොම අල්ලා ගත්තා. දැන් ආයේ හරිහමන් විදිහට මාළු අහුවෙන්ඩ තව මාස හතරක් පහක්වත් යයි. මේකෙන් මාළු අල්ලන මිනිස්සුත් අමාරැවේ වැටිලා ඉන්නේ. විකුණන අපිත් අසරණයි. අහුවෙන මාළු ටික වැඩි ගාණට වික්කේ නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ. මගේ වයසේ හැටියට මං වෙන මොනවා කියලා කරන්ඩද.
ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ සී.කේ. සපුමොහොට්ටි මහතා පැවසූයේ නියඟය හෙතුවෙන් වැව් කළමනාකරණ වැඩපිළිවෙළ යම් පමණකට ඇණහිටි බවය. එහෙත් ඉකුත් මාසයක පමණ කාලය තුළ අනුරාධපුරයේ විශාල සහ මධ්‍ය ප‍්‍රමාණයේ ජලාශ කිහිපයක් ආශ්‍රිතව මත්ස්‍ය ඇඟිල්ලන් සහ ඇසිත්තන් මුදාහැරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කළ බව හෙතෙම කීය. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මට්ටමින් ධීවරයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් පැමිණියහොත් හැරෙන්නට ධීවර අමාත්‍යාංශය හරහා එවැනි වැඩපිළිවෙළක් සැලසුම් වී නොමැති බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය. එවැනි සහන සැලසීමේ වැඩපිළිවෙළක් සැකසුවහොත් තම ආයතනය හරහා සහන ලැබීමට සුදුසු ධීවරයින් නිර්දේශ කළ හැකි බවද ඒ මහතා කීය.
තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග