2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඩෙංගු මරණ නවත්වන්න පුළුවන්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

ජීවිතයේ හොඳම කාලය ගෙවමින් සිටි කාන්තාවක්, භද්‍ර යෞවනයේ සිටි තරුණියක් ඇතුළු තවත් බොහෝ දෙනෙක් ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය දිනවල මරැවැළඳ ගත්හ. මෙසේ සිදුවූයේ වසංගත තත්ත්වයෙන් ඩෙංගු රෝගය මිදුණු පරිසරයක් තුළදීය.

මෙසේ වන්නේ ඇයි..?

මෙය ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළින් නැඟෙන ප්‍රශ්නයයි. හේතුව වූයේ ඩෙංගු රෝගය සායනිකව මර්දනය කිරීමේදී සිංගප්පූරැව, තායිලන්තය වැනි රටවල් අභිබවා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ සිටීමය.

ඩෙංගු රෝගය සමඟ කටයුතු කිරීමේ දී කාලවකවානු ඉතාමත් වැදගත්. යැයි මීගමු රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

ඩෙංගු රෝගයෙන් බරපතළ තත්ත්වයට පත් රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේදී විශාල පළපුරුද්දක් ඇති වෛද්‍යවරැන් යළිත් අවධාරණය කරනුයේ ඩෙංගු මරණ වළක්වා ගැනීම සඳහා උණ රෝගීන් සහ ඔවුන් ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරුන් සිදුකළ යුතුව ඇත්තේ ඉතා සරල පියවර කිහිපයක් අනුගමනය කිරීම බවයි. මීගමුවේ ඩෙංගු මර්දන සහ ඩෙංගු රක්තපාත උණ අංශයේ ප්‍රධානී වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ඩෙංගු මරණ බින්දුවට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු නිර්දේශ කිහිපයක් මෙසේ සඳහන් කරයි.

 උණ වැළඳී පළමු දින අවසානයේ දී ඩෙංගු Antigen NS1 පරීක්ෂණය කළ යුතු වේ. එහිදී ඩෙංගු ආසාදිත බවට තහවුරුව තිබේ නම් වහාම සම්පූර්ණ රැධිර පරීක්ෂාවක් (FBC) සිදුකිරීම අවශ්‍ය වේ.

 උණ අඩුව තිබුණද සිරුරේ වේදනාව සමඟ රෝගියා ඉතා දුර්වල බවක් පෙන්නුම් කරයි නම් ඉහත සඳහන් කළ පරීක්ෂා දෙකම එක ළඟ කිරීම අවශ්‍ය වේ. මේ සඳහා දෙවරක් රුධිරය ලබාගැනීම අවශ්‍ය නොවන අතර මුල් පරීක්ෂණයට ලබාගන්නා රුධිරයේ අතිරේක කොටස EDTA නළයකට ලබාගැනීමෙන් පරීක්ෂා දෙක ඉතා ඉක්මනින් ලබාගත හැක.

 මෙහිදී ඩෙංගු Antigen NS1 රෝග ලක්ෂණය පෙන්වයි නම්, නමුත් සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) ඉහළ නම්, රැධිර පට්ටිකා 150,000 ත් 400,000 අගයක් අතර පවතී නම් රෝගියා නිවෙසේ තබාගත හැක. නමුත් නිරන්තරයෙන්ම වෛද්‍යවරයා සමඟ සම්බන්ධ වී රෝගියාව පරීක්ෂාවන්ට යොමු කළ යුතුය.

 මෙහිදී වෛද්‍යවරුන්ට දැනගැනීමට අවශ්‍ය වන්නේ පැය 24 ඇතුළත රුධිර පට්ටිකා එකතුව පහළ බසින වේගයේ ප්‍රමාණයයි.

දෙවැනි වර පරීක්ෂාවේදී එකවර පහළ බැසීමක් පෙන්නුම් කරයි නම් එම රෝගියාව රෝහල වෙත නොපමාව ගෙන යා යුතුය.

මෙම පරීක්ෂා ඉක්මණින් සිදුකිරීම මඟින් ඩෙංගු රෝගීන්ගෙන් සිදුවන මරණ සංඛ්‍යාව පහත දැමීමට හැකි බව වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පැවසීය. මේ සම්බන්ධව උදාහරණ වශයෙන් පෙන්නුම් කරන්නේ එක් දරුවකුගේ පළමු දවසේ ඩෙංගු Antigen NS1 පරීක්ෂාවෙන් ඩෙංගු ආසාදිත බවට තහවුරු වුවද එම දරුවාගේ පට්ටිකා ප්‍රමාණය 360,000 තරම් ඉහළ අගයක තිබූ බවය.

මෙවැනි අවස්ථාවකදී ඊළඟ සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) ගැනීම සඳහා තව දින තුනක් නොසිටිය යුතුයි. ඒ වනවිට පට්ටිකා සංඛ්‍යාව වේගවත්ව පහළ බැසීම සිදුවී රෝගියා බරපතළ තත්ත්වයට පත්ව සිටිය හැකියි. යැයි වෛද්‍ය ප්‍රනාන්දු පවසයි.
දෙවැනි දවසේදී දරුවාගේ සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC)ට අනුව පට්ටිකා සංඛ්‍යාව වූයේ 220,000 ලෙසින් පෙන්නුම් කෙරුණි. මේ අනුව වේගවත් පහළ බැසීමක් සිදුව ඇති බැවින් එම දරැවා ඉතා ඉක්මනින් ඊළඟ භයානක අඩියට පා තැබීමේ අවදානම තිබීම හේතුවෙන් දරුවාගේ මව්පියන්ට දරුවාව ඉතා ඉක්මනින් රෝහල්ගත කළයුතු බවට වෛද්‍ය ප්‍රනාන්දු අවධාරණය කළේය.

එම මව්පියන් ඉතා ඉක්මනින් එම පියවර ගනු ලැබූ අතර නැවතත් රෝහලේදී දරුවාට කරනු ලැබූ පරීක්ෂාවට අනුව පට්ටිකා සංඛ්‍යාව 65,000 දක්වා පහත වැටී දරුණු අවදානමකට ගොදුරු වී සිටියේය. එම දරුවා නිවසේ රඳවා තිබුණේ නම් දරුවාගේ ජීවිතයද ඉතා අවදානම් තත්ත්වයකට පත්වීමට බොහෝ ඉඩකඩ තිබුණි.

විශේෂඥ වෛද්‍යවරයා තවත් නිදර්ශනයක් ඉදිරිපත් කළේය. උණ ගැනී පළමු දිනයේදීම එක් රෝගියකු ඩෙංගු Antigen NS1 පරීක්ෂාවෙන් ඩෙංගු ආසාදිත බවට තහවුරු විය. එහිදී පට්ටිකා සංඛ්‍යාව 160,000 ලෙසින් සටහන් විය. එම රෝගියාට දෙවැනි දින කරනු ලබන පරීක්ෂණයේදී පට්ටිකා සංඛ්‍යාව 11,000 තරම් පහත වැටී තිබිණි. එමෙන්ම එම රෝගියා රක්තපාත අවස්ථාවට දින එකහමාරක් තුළ පත්ව සිටියේය. සාමාන්‍යයෙන් ඩෙංගු රෝගියෙක් මෙම ජලස්මාව ගැලීමේ අවස්ථාවට පත්වන්නේ තුන්වන දින හෝ ඊට පසු දිනයයි.

වෛද්‍ය ප්‍රනාන්දු මහතාට අනුව මෑත කාලයේදී වැඩිදුර ඩෙංගු මරණ සිදුවීමට හේතුව වන්නේ උණ ගැනුණු වහාම අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිසියාකාරව ලබා නොගැනීමය.

වෛද්‍ය උපදෙස් ඔවුන් ලබාගත්තද ඇතැම් රෝගීහු නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට උත්සාහ ගනිති. නමුත් ඔවුන් අවබෝධ කර නොගන්නේ රැධිර නාළිකාවලින් ජලස්මාව ඉවතට යාමේ අවස්ථාවට ඉතා ඉක්මනින් ගොදුරු විය හැකි බවය. එවැනි රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද වීම අවදානමට හේතුවේ.

ඩෙංගු රෝගය පාලනය මේ වනවිට යහපත් තත්ත්වයක පත්ව තිබීමට හේතුව හොඳ සායනික පාලනයක් රෝහල් මගින් සිදුකිරීමයි. ඩෙංගු මදුරුවා පලවා හැරීමට උනන්දුව දැක්වීම මෙන්ම ඒ සඳහා ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කිරීම මගින් ඩෙංගු රෝගයෙන් මිදීමට හැකියාව ඇත. 2009 වසරේදී ඩෙංගු රෝග මරණ අනුපාතය 1%ක් වූ අතර වර්තමානයේදී එය 0.2% දක්වා විශාල පහළ වැටීමක් සිදුව ඇත. 

තුන්වැනි දිනය තෙක් නොසිට පළමු දිනයේදීම ඩෙංගු පරීක්ෂාව සිදුකොට ජීවිතයත් මරණයත් අතර ඇති අවදානමෙන් අත්මිදිය යුතු යැයි වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු අවසාන වශයෙන් පැවසීය.

The Sunday times පුවත්පතේ ලිපියක් ඇසුරෙනි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00