2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

මේක බොරු සදාචාරෙට ආවඩන රටක්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 340

- සම්මානනීය ලේඛක අනුරසිරි හෙට්ටිගේ

2017 ෆෙයාර් වේ ජාතික සාහිත සම්මාන උළෙල පසුගියදා ගාලු සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත්වුණි. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ නවකතාවලට සම්මාන ලබා දීම එහිදී සිදුවිය. සිංහල නවකතා 87ක් අතරින් අවසන් වටයට පැමිණ තිබුණේ කීර්ති වැලිසරගේ ගරුඬ මුහුර්තය, දීප්ති මංගලා රාජපක්ෂගේ නිකිණි කළුවර, නිශ්ශංක විනජේමාන්නගේ හඳ පළුව තනි තරුව, විමල් උදය හපුගොඩආරච්චිගේ යනඩ සිල්පර සහ අනුරසිරි හෙට්ටිගේගේ පණ්ඩුක පුත්‍ර වස්තුව යන නවකතාය. ඒ අතරින් පණ්ඩුක පුත්‍ර වස්තුව (සන්ථව ප්‍රකාශන) නවකතාවට රැ. ලක්ෂ පහක මුදල් ත්‍යාගය සමඟ විශිෂ්ටතම නවකතාවට පිදෙන සම්මානය හිමි විය. අනුරසිරි හෙට්ටිගේ මෙයට පෙර විදුදය හා ගොඩගේ සාහිත්‍ය සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මාන (කෙටිකතා) දිනූ ලේඛකයෙකි.

පණ්ඩුක පුත්‍ර කතා වස්තුවට ෆෙයාර් වේ සම්මානය හිමි වුණත් ස්වර්ණ පුස්තක හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලවලදී ඇගැයීමකට ලක්වුණේ නැහැ. 

නවකතා වෙනුවෙන් සම්මාන නිර්දේශ කිහිප වතාවක්ම මගේ නිර්මාණ එල්ලයේ ප්‍රකාශයට පත් වුණත් පළමු වරට ප්‍රධාන සම්මානයකින් අගැයීම් ලබන්නේ ෆෙයාර් වේ සම්මානය සමඟින්. ඒ නිසා මට මේ සම්මානය විශේෂයි.

2017 ස්වර්ණ පුස්තකයේ සහ රාජ්‍ය සම්මානයේ අවසන් වටයේ කෘති 12 අතරටවත් පණ්ඩුක පුත්‍ර වස්තුව නිර්දේශ වෙලා තිබුණේ නැහැ. ගොඩගේ සම්මානයට නිර්දේශිත අවසන් වටයේ නිර්මාණ දහය නියෝජනයක් තිබුණා. එහිදී අවසන් කෘති පහ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ සමීක්ෂක සටහනේ කිසිවක් සටහන්ව නොතිබුණ නිසා එය සම්මාන වෙනුවෙන් තරග වැදී නොතිබුණ බවයි දැනුණේ. ඒ තත්ත්වය යටතේ තමයි ෆෙයාර් වේ 2017 සම්මානයේ අවසන් කෘති පහට නිර්දේශ වෙන්නේ.

ඔබ සමලිංගික නපුංසක චරිතයක් මෙහි ප්‍රධාන චරිතය ලෙස ගෙන එනවා. සිංහල නවකතාවල මෙවැනි චරිත අඩුයි නේද?

සෘජුව පුරුෂ සමලිංගික තේමා සිංහල නවකතාවල අතීතයේ දක්නට ලැබුණා කියා මගේ මතකයේ නැහැ. එහෙත් ලෙස්බියන් හෙවත් ගැහැනු සමලිංගිකත්වය පිළිබඳ තේමා සහිත නවකතා කිහිපයක් ලියවී තිබුණා. සයිමන් නවගත්තේගමගේ සමහර නවකතාවල මේ චරිත ක්‍රියාශීලි භූමිකා දැරූ බවත් මට මතකයි. ශ්‍යාම් සෙල්වදොරෙයිගේ ෆනී බෝයි, සුගතපාල ද සිල්වා අමුතු ඉලංදාරියා ලෙසින් පරිවර්තනය කළවිට අපට එම අත්දැකීමක් සහිත නවකතාවක් කියවන්න අවස්ථාවක් ලැබුණා.

මෑතම යුගයේ මේ තේමාව ජනප්‍රිය වෙමින් පවතින බවක් මට දැනුණේ පණ්ඩුක පුත්‍ර වස්තුව සමගම ප්‍රකාශයට පත්වුණ ශාන්ති දිසානායකගේ අංගනා නවකතාවත් කේ. කේ. සමන් කුමාරගේ අර්ධ නාරි නවකතාවත් අනුර වික්‍රමසිංහගේ භවාන්කුණ්ඩය නවකතාවත් ගැන දැන ගන්න ලැබුණාමයි. ඉන් 2016ට අදාළ අංගනා පමණයි. අනික් කෘති දෙකම පළ වෙන්නේ 2017දී.

මට අනුව නම් විරාගයේ අරවින්දත් පණ්ඩුක චරිත ස්වභාවයට අදාළව අර්ථ ගැන්විය හැකි සිංහල නවකතා චරිතයක්. මන්ද පොදුවේ අප නපුංසකයින් කියන මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන් වෙනස්, අර්ධ නාරි, අර්ධ පුරුෂ ලක්ෂණ තමාගේ ශරීරය පීඩාවට පත් කරමින් සිටියදී කුටුම්භගත පුරුෂයාගේ භූමිකාව දරන පිරිමින් ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. ඔවුන්ගෙන් සමහරකු අධිපතිවාදී සිංහල බෞද්ධ බලහත්කාරය නිසා තමන්ගේ ලිංගික පෙළඹවීම බලයෙන් යටපත් කර ගන්නවා. එහිදී සිදුවන ක්‍රියාවලියත් අරවින්දගේ හැසිරීමත් අතර සමානකම් තියෙනවා. 

මෙවැනි හැසිරීම් රටා පාදක කර ගත්විට ලේඛකයින්ට කුණුහරුපකාරයා කියන ලේබලය වදිනවා නේද?

ඔව්.... එහෙම විය හැකි බව දැන දැනම තමයි මම මේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ. මම දැනගෙන හිටියා මෙය ප්‍රකාශයෙන් පළ වූවාට පසු කිසියම් සදාචාරාත්මක කොන්දේසියක් හරස් වීමටත් ඉඩ තිබෙන්නට ඇති බව. නමුත් එවැනි බාධාවක් මේ වනවිටත් ඉදිරිපත් වී නැහැ. ව්‍යවස්ථාවෙන් ආගමික රාජ්‍යයක් යන්න පිළිගත් රටක මේ වගේ සැබෑ මානුෂික කාරණා කුණුහරප ලෙස අර්ථ දක්වා පිළිකෙව් කරන බව සත්‍යයක්. අපි කොතරම් නිදහස් ජාතියක් යැයි කීවත් වැඩවසම් ක්‍රමය තුළ පැවති නිදහස් ලිංගික ජීවනය යටත් විජිත වික්ටෝරියානු සුචරිතයට යටපත් කළ අතීතය තමා තවමත් කරපින්නා ගෙන ඉන්නේ.

ආගමික සංස්ථාව තුළ සමලිංගික චර්යාව බලවත් ලෙස පවතින බව කවුද නොදන්නේ?

උසාවිවල නඩු ලිපිගොනු ලෙස එවැනි අපචාර කොපමණ විභාග වෙනවද? මේක ව්‍යාජ සදාචාරයක් නඩත්තු කරන රටක් කියලා මම කියන්නේ ඒකයි. බුදුන්ගේ කාලයේ පවා පණ්ඩුක ඇසුර පැවති බව තමයි සංඝයාට පණ්ඩුක ඇසුර තහනම් කර ශික්ෂාවක් පැනවීමෙන් අදහස් වෙන්නේ. ඒ නිසා මේ සැබෑව පිළිගත යුතු කාලය එළැඹ ඇති බව තමා මම මේ කෘතිය ඔස්සේ සංඥා කරන්නේ. මෙය ජීව විද්‍යාත්මක ගැටලුවක් විනා ලිංගික මාත්සර්යයට අදාළ පාරාජිකා කාරණයක් නොවේ.
ශ්‍යාම් සෙල්වදොරෙයිගේ ෆනී බෝයි කෘතියට මෙවැනි චරිතයක් පාදක කරගත්තා. එය ජාත්‍යන්තර අගැයීමට ලක් වුණා.

මම එහි සුගතපාල ද සිල්වා පරිවර්තනය තමයි කියෙව්වේ. එම නවකතාවේ සමලිංගික සිද්ධි ළඟ සිංහල පාඨකයා නතර වුණත් එහි විභාග වෙන්නේ සිංහලයන්ගේ හෘදයසාක්ෂියයි කියායි මම හිතන්නෙ. ලාංකික දෙමළ ප්‍රජාව අසූ තුනේ ජාතිවාදී කලබලය නිසා මුහුණපාන්නට සිදුවූ සිද්ධි එහි ප්‍රතිනිර්මාණය වෙනවා. එහි ගරාජයක් තුළ සම වයසේ යෞවනයකු සමඟ කෙරෙන ලිංගික ක්‍රියාව පමණක් අපට ඉතිරි වුණාට ජාත්‍යන්තරයට එහි වැදගත් අනෙකුත් කාරණා තිබුණා. අනික එය ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ කෘතියක්. අපේ සිංහල කෘති ජාත්‍යන්තරයට ගෙන යන්න ඉංග්‍රීසි උගත් ලාංකිකයන් මැදිහත් වෙන්නෙ නැහැ. එහෙම වුණානම් ෆනී බෝයිට කලින් සහ පසු ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය හැකි නවකතා කිහිපයක්ම මෙහි බිහිවුණා.

සමහරු කියන්නෙ මෙවැනි තේමා පාදක කරගෙන පොත් ලියන්නෙ සම්මාන බලාගෙන බවයි. ඔබ ඒ ගැන පවසන්නෙ කුමක්ද?

සභාවේ සිනා කියා ලියාගන්න. මේක තමා ලංකාවේ ව්‍යාජ සුචරිතවාදීන් තමන්ගේ නොහැකියාව වසාගැනීමට කරන තුච්ඡ ප්‍රකාශය. එය පුවත්පත් සාහිත්‍ය අතිරේකවලටත් රසවත් අමු මස් කෑල්ලක් වන අවස්ථාත් අප දකිනවා. ඔය මතුවෙන්නෙ ගෝත්‍රික ලක්ෂණවලටත් වඩා ගෝත්‍රික සමාජ ලක්ෂණයක්. සාහිත්‍ය යනු ආගමික ග්‍රන්ථයෝය. එයින් බැහැර කිසිවක් වේ නම් ඒවා කුණුහරුපය කියා විශ්වාස කරන ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන රෝගීකාරක මිනිසුන්ගේ මෙවැනි ප්‍රකාශ පස්සෙ යාමෙන් සිදුවෙන්නේ සාහිත්‍යයේ ජීවගුණය සිඳීයාමයි. මම නම් එවැනි ප්‍රකාශ පයිසෙකට ගණන් ගන්නෙ නැහැ.

ලේඛකයන් සම්මාන බලාගෙන ලිවීම වැරදියි කියා කියන්න පුළුවන්ද?

කවුද සම්මාන බලාගෙන ලියනවා කියන්නෙ? ලේඛකයන්ද? නැතිනම් පුවත්පත් සාහිත්‍ය පිටු සංස්කාරකයන්ද? නැතිනම් සිංහල භාෂාවේ න්‍යායයන් පමණක් දැන භාවිත සිංහලයට ඔරවන සිංහල භාෂාව අපේ කියා සිතන ඇකඩමිකයන්ද? කවුරු කිව්වත් මේක මුග්ධ ඊර්ෂ්‍යාකාර ප්‍රකාශයක්. ලේඛකයන් කරන්නේ නිර්මාණයක්. ඒ පිළිබඳව සමාජයේ පවතින යහපත් කතිකාව තමයි සම්මානයෙන් නිරූපණය වෙන්නෙ. සම්මාන ලැබුණත් නොලැබුණත් ලියන පිරිසක් ඉන්න නිසා තමයි මේ තරමටවත් සිංහල සාහිත්‍යයක් කියා දෙයක් ඉතිරිවෙලා තියෙන්නෙ. මේක පැහැදිලිවම ඊර්ෂ්‍යා පරවශ ප්‍රකාශයක්. ප්‍රවීණයෙක් වුණත් ආධුනිකයෙක් වුණත් සම්මානයකට නිර්දේශ වුණාම පෝලිමේ ගිහින් ඉන්නවා. මෑත කාලයේ දී කැත්ලින් ජයවර්ධන ලේඛිකාව තමන්ගේ කෘතිය සම්මානයට පාදක කරගන්න එපා කියා පොත්වල සටහන් කළා. නමුත් දැන් ඇය පවා ඒ ආස්ථානය වෙනස් කරගෙන ඉන්නෙ. නමුත් අර පැරැණි ප්‍රකාශය නිසා තවමත් ඇගේ කෘති සමීක්ෂණයට ගන්නෙ නැහැ කියලා ඇය අප සමඟ පැවසුවා. කල්පනා ඇම්බ්‍රොස් සහ චූලානන්ද සමරනායක සම්මානයට නිර්දේශ වුණාට පසුව ඒවා ප්‍රතික්ෂේප කළා. අනික් ඔය කියන සේරම අපේ කට්ටිය සම්මාන පෝලිමේ ඉන්නවා. ඒක ලේඛකයාගේ අයිතිය. වසරේ සම්මානයට පාත්‍රවෙන්නෙ ලේඛක නිර්මාණ මිස නයි නටවන්නන්ගේ හරි අත බලා ශාස්ත්‍ර කියන අයගේ කියමන් නෙමෙයිනෙ. කලින් වගේ නෙමෙයි දැන් නිර්මාණාත්මක ලේඛනය ජනසතු වෙලා තියෙන්නෙ. ඒකත් මෙවැනි ව්‍යාජ මතවාදයන් කරළියට ඒමට හේතුවක්. ඔබ සම්මානිත ලේඛකයෙක්. 

අපේ සම්මාන උළෙලවලට ප්‍රශංසාවලට වඩා ලැබෙන්නෙ බැණුම්. ඒකට හේතුව කුමක්ද?

මං පිළිතුරු දෙන්න අකමැතිම ප්‍රශ්නය ඔබත් ඇහුවා. මට කියන්න තියෙන්නෙ මගේ ඉහත පිළිතුරුවල සාරය ගත්තාම ඒකට හේතු පැහැදිලි වෙයි කියලයි. සම්මාන උත්සවයකින් පස්සෙ සම්මානිත කෘතියටත් වඩා ලේඛකයාට බැණුම් අහන්න සිදුවන එක අපේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා. ඒකනෙ සැප්තැම්බර් මාසයට කෙළින් වෙන සාහිත්‍ය ප්‍රේමීන් කියා ජාතියක් අපට ඉන්නෙ.

 කුසුම්සිරි
සේයාරෑ / ඉසුරු පෙරේරා