උපතින්ම දිළිඳුකම මිට මොළවාගෙන මෙලොව එළිය දුටු දිලුක් ප්‍රනාන්දු පුතණුවන් පවුලේ එකම දරුවා විය. පුත්තලම මදුරංකුලිය ප්‍රදේශයේ ජීවත් වුණු දිලුක්ගේ මව්පියෝ ප්‍රදේශයේ කොහු මෝලක තම ජීවිකාව කරගෙන ගියෝය. ආර්ථික අපහසුතා අහස උසට නැගෙද්දී පුංචි ගෙපැලේ වහළෙන් පෙනෙන අහස පුංචි දිලුක්ගේ පවුලේ ආර්ථිකය විදහා පෑවේය. මවත් පියාත් කොහු මෝලෙන් සොයා ගන්නා සොච්චම් මුදල මේ පවුලේ කුසගිනි නිව්වේය.
තුන් වේලටම හරිහැටි කන්න නැතත් ජීවත් වෙන්න හීන ඇහිඳපු පුංචි දිලුක්ගේ ජීවිතය මව්පියන්ට නැතිකර දමන්නට තරම් මාරයා ඉක්මන් වීය. මීට දින කිහිපයකට උඩදී දිලුක් අසනීප විය. පුත්තලම රජයේ රෝහලේදී අවුරුදු අටක් වයසැති දිලුක් දින කිහිපයක් ප්‍රතිකාර ලැබීය. නමුත් තත්ත්වය එන්න එන්නම උග්‍ර අතට පත්විය. ඒ නිසාම පුත්තලම් රෝහලේ වෛද්‍යවරු මේ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉක්මණින් අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යැවූහ.
නමුත් අම්මාගේත්, අප්පච්චිගේත් සෙනෙහස, උණුසුම ලබන්නට තරම් පුංචි දිලුක් තවදුරටත් වාසනාවන්ත නොවීය. තම ආදරණීය මව්පියන්ට දුක පමණක් උරැමකර දෙමින් දිලුක් දෑස් පියාගත්තේය.
තම පුතණුවන්ගේ වියෝ දුකෙන් අසරණ මව්පියෝ හඬා වැළපුණෝය. අනුරාධපුර ශීක්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු නේවාසික රෝගීන් ද මේ මව්පියන් අස්වසන්නට උත්සාහ කළද දරු දුකට වඩා දුකක් තව කොහේද? දිලුක් වෙනුවෙන් අප්පච්චිගේත් අම්මාගේත් ඇස්වලින් වැටුණු කඳුළුවලින් අනුරාධපුර රෝහල තෙත් විය.
පුංචි දරුවා නැති වුණාට පස්සේ මව්පියන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි මේ දරුවාගේ නිසල ශරීරය මිහිදන් කිරීම සඳහා මුදල් නොමැති වීම. ඇත්තටම මේක අපිට හරි ප්‍රශ්නයක් වුණා. ඒ වගේම පුංචි දරුවාගේ සිරුර රජයේ වියදමින් ආදාහනය කරන ලෙස ඒ මව්පියෝ හැඬූ කඳුළින් අපෙන් ඉල්ලා සිටියා. ඇත්තටම දරු දුක දන්නා හැමෝම මේ මව්පියන් නිසා හදවතින් හඬා වැළපුණා.
අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රධාන ලිපිකාර අංශයේ නිලධාරියෙක් දේශයට පැවසීය.
දිලුක්ගේ මව්පියන්ට තම දරුවා මිහිදන් කිරීමට තරම් වත්කමක් නොතිබුණි. කොහු මෝලක වැඩ කරමින් එදිනෙදා ලැබෙන මුදලින් ජීවත් වූ දිලුක්ගේ මව්පියන්ට උදවු උපකාර කිරීමටවත් කිසි කෙනෙක් ඉදිරිපත් නොවූහ. ඒ නිසාම තම පුතුගේ නිසල සිරැර පාමුල හඬා වැළපෙමින් දිලුක්ගේ අම්මාත්, අප්පච්චිත් විශාල ගැටලුවකට මුහුණ පෑවෝය. තම පුතණුවන්ගේ සිරුර මේ මහ පොළොවේ වළ දමන්නට තරම් ආර්ථික ශක්තියක් ඔවුන් ළඟ නොතිබුණි. මේ නිසාම ඔවුහු අනුරාධපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සේවක මඩුල්ලෙන් පිහිට පැතූහ.
මුලින්ම අපි ඇහුවා දරුවාගේ සිරුර පුත්තලමට ගෙනිහින් ආදාහන කටයුතු කරන්න තැනක් නැද්ද කියලා. මේ මව්පියෝ එහෙම තැනක් නෑ කිව්වා. අඩුමගානේ ඥාති නිවසක්වත්, හිතවත් කෙනකුගේ නිවසක්වත් තියන්න තැනක් තිබුණේ නෑ. ඒ නිසා අපි තීරණය කළා අපේ වියදමින් දරුවාගේ අවසන් කටයුතු සිදු කරන්න. ඒ වෙනුවෙන් අනුරාධපුර රෝහලේ ලිපිකරු අංශයේ සේවක සේවිකාවන් ඇතුළු සියලු දෙනාම එකතුවෙලා තමයි මේ සත් ක්‍රියාව සිදු කළේ. පුංචි දිලුක් පුංචි පෙට්ටියක තැම්පත් කරලා ඒ හැම කටයුත්තක්ම රෝහලෙන් සිදු කළා. යැයි එම නිලධාරියා වැඩිදරටත් පැවසීය.
අවසානයේදී අනුරාධපුර ශීක්ෂණ රෝහලේ සේවක සේවිකාවන්ගේ උදව් උපකාරයෙන් දිලුක් දරුවාගේ සිරුර මිහිදන් කරනු ලැබීය. පුංචි පෙට්ටියක තබා සුදු ජාතික ඇඳුම ඇන්දූ දිලුක්ගේ නිසල සිරුර මිහිදන් කිරීමට පළමුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිමිනමක් අවසන් කටයුතු සිදු කළ ස්ථානයට වඩම්මවා ආගමික වතාවත් සිදු කරනු ලැබීය.
ඒ සියලු කටයුතු තම පවුලේ කටයුත්තක් සේ සොයා බලා සිදු කළේ අනුරාධපුර ශීක්ෂණ රෝහලේ සේවක සේවිකාවන්ය. ඒ සඳහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. සමරවීර මහතාගෙන් ද විශාල සහයෝගයක් ලැබුණි. එපමණක්ම නොව දිලුක්ගේ මව්පියන් අනුරාධපුර රෝහලෙන් පිටව යද්දී දිලුක් වෙනුවෙන් හත්දින දානය වෙනුවෙන් අවශ්‍ය කළමනා සහ ගමන් වියදම් සඳහා ද සියලුම මුදල් රෝහල් සේවක සේවිකාවන්ගෙන් ඔවුන්ට ලැබුණි.
අවසානයේදී පුංචි මල් කැකුළ තනිකර අම්මාත්, අප්පච්චීත් හැඬූ කඳුළින් පිටව ගියෝය.
දිලුක්ගේ සුසුම් වා තලයෙන් මැකී යන්නටත් පළමුව තවත් මල් කැකුළක් ආදරණීය මව්පියන්ට අහිමි විය. ඒ කුරුණෑගල හෙට්ටිපොළ, මණ්ඩිපොළ පදිංචිව සිටි කසුන් සඳරුවන්ය. හත් හැවිරිදි කසුන් දරුවන් සිව් දෙනකුගේ පවුලේ තුන්වැනියා විය. අයියලා දෙන්නෙක්ටත් පුංචි නංගීටත් අතර මැද ඉපදී කෙළි දෙළින් ගත කරපු කසුන් ද දිළිඳුකම උපතින්ම දෝතට ගත් පුංචි පුතෙකි. එදිනෙදා කුලී වැඩ කරමින් තම දරුවන් සිව්දෙනා රැකබලා ගන්නා කසුන්ගේ මව්පියන් උදෑසනින්ම නිවසින් යන්නේ දවසේ කුසගිනි නිවාලන්නට කුලී වැඩක් හොයාගන්නා අදිටනිනි.
එදත් වෙනදා මෙන්ම ඔවුහු නිවසින් නික්ම ගියෝය. නිවසේ පුංචි පැටව් තනි වූහ. පැයෙන් පැය ගත වුණි. පුංචි කසුන්ට කුසගින්නක් දැනුණේය. ඉවසා දරාගන්නට බැරි කුසගින්න පුංචි කසුන්ගේ මාරයා කැන්දන් එන්නට දරුණු වී තිබිණි. වත්තේ වැවෙන කෝවක්කා ගෙඩි ආහාරයට ගන්නට මේ දරුවා සිතන්නට ඇත්තේ තම කුසගින්න එයින් නිවා ගන්නට වන්නට ඇති. නමුත්... පුංචි කසුන්ගේ ජීවිතය කෝවක්කා ගෙඩිය උදුරා ගත්තේය. රස කරමින් කෑ කෝවක්කා ගෙඩිය අවසානයේදී කසුන්ගේ රුධිරයේ සිනී මට්ටම පහළ දමා තිබිණි.
නංගි ඇවිත් කිව්වා අයියා සාලේ වැටිලා කියලා. ඊට පස්සේ අපි දුවලා ගිහින් බැලුවා. එතකොට තමයි අපි දැනගත්තේ මල්ලිට මොකද්ද වෙලා සාලේ වැටිලා ඉන්නවා කියලා. ඊට පස්සේ අපි දුවලා ගිහින් එහා ගෙදර මාමාට කිව්වා. ඊට පස්සේ මාමලා ඇවිත් මල්ලිව ඉස්පිරිතාලේ අරගෙන ගියා. යැයි කසුන්ගේ වැඩිමහල් සහෝදරයා මාධ්‍යයට පැවසීය. රෝහලට රැගෙන යනවිටද පුංචි සඳරුවන් ජීවිතයෙන් සමුගෙන සිටියේය. මණ්ඩිපොළ කනිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සඳරුවන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කළද ඔහු ඒ වනවිටත් මිය ගොසිනි. අවසානයේදී සිදු වූයේද නොසිතූ දෙයකි. ඒ වනවිටත් කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය අලුත්වැඩියා වැඩ කටයුතු හේතුවෙන් තාවකාලික මෘත ශරීරාගාරය ලෙසින් රෝහලේ ගබඩා කාමරයක් වෙන් කර තිබුණි. එම ගබඩා කාමරයේදී කසුන්ගේ නාසයේ ඉහළ කොටසක්, කම්මුලක් මීයෙකු සපා කෑමෙන් තුවාල වී තිබුණි.
නිසල සිරුර රැගත් පුංචි පෙට්ටිය කසුන්ගේ නිවසට රැගෙන යද්දී තම පුතණුවන්ට සිදු වූ අවාසනාවන්ත සිදුවීම නිසා කසුන්ගේ මාපියෝ තව තවත් හඬා වැළපුණෝය. දුප්පත්කමත්, කුසගින්නත් හේතුවෙන් එලෙස තවත් පුංචි මල් කැකුළකගේ අවසන් හුස්ම එසේ වා තලයට එකතු විය.
► දිශානි ජයමාලි කරුණාරත්න