2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

තනි කතිරයේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලත් ඉක්මන්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය යටතේ නීතිගත කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් දැනට පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන ආයතන 341 ක් සඳහා මහජන නියෝජිතයන් 8293 ක් තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම පැවැත්වේ. මෙම ආයතන 341, මහා නගර සභා 24කින්, නගර සභා 41කින් සහ ප්‍රාදේශීය සභා 276කින් සමන්විත වේ. මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයෝ මිලියන 15.8 ක් සුදුසුකම් ලබා සිටිති. මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම මැතිවරණය වන අතර එකම දිනක සියලුම පළාත් පාලන ආයතන සඳහා පවත්වන මුල්ම මැතිවරණය ද වේ. මේ අවස්ථාවේ තවත් වැදගත්කමක් වන්නේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් යටතේ පවත්වන මුල්ම මැතිවරණය ද වීමය. 2012 අංක 21, 2016 අංක 1 හා 2017 අංක 16 යන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත්වලින් මෙම මැතිවරණයට බලය ලැබී ඇත.

මුළු සභික සංඛ්‍යාවෙන් 5092 ක් හෙවත් සියයට 60 ක් ඡන්ද කොට්ඨාස පදනම් කරගෙන තෝරාගන්නා අතර, ඉතිරි සියයට 40ට අඩංගු සභිකයන් 3264 ක් සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව නියෝජන ක්‍රමයේ ලැයිස්තු අනුව තෝරාගනී. මෙම පුංචි මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින මුළු ඡන්ද අපේක්ෂක සංඛ්‍යාව 57252 කි. මේ අය තෝරාගනු ලබන්නේ කේවල මන්ත්‍රී කොට්ඨාස සහ බහු මන්ත්‍රී කොට්ඨාස වශයෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් සීමා නිර්ණය කරනු ලැබූ මැතිවරණ බලප්‍රදේශ 4914 ක් තුළිනි. බහු මන්ත්‍රී කොට්ඨාසවලින් මන්ත්‍රීවරුන් තෝරාගන්නේ ඡන්ද කොට්ඨාසය තුළ මැතිවරණය දා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලිනි.

මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ මෙම අභිනව ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද දායකයාගේ ඡන්දය දෙආකාරයකින් ප්‍රබලව බලගැන්වී තිබෙන බවයි. මෙහිදී ඡන්ද දායකයාට ස්වකීය ඡන්දය පාවිච්චි කර ඍජුවම තමන්ගේ නියෝජිතයා තෝරා පත්කර ගැනීමට අවස්ථාව ලැබේ. දෙවනුව තමා පාවිච්චි කළ ඡන්දය අනුව එම පක්ෂයේ හෝ කණ්ඩායමේ අතිරේක නියෝජිතයන් තෝරාගැනීමටද අවස්ථාව හිමිව තිබේ. මේ අනුව එකම ඡන්දය දෙආකාරයකටම බලගැන්වෙන නිසා ඡන්දයේ අගය වැඩි වී ඇති බව කියති. නව ඡන්ද ක්‍රමය යටතේ ජනතා පරමාධිපත්‍යය වඩාත් උපරිම ලෙස ක්‍රියාවට නැඟෙන බවද පෙනෙන්නට තිබේ.

මෙම නව මැතිවරණ ක්‍රමයේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ කාන්තා නියෝජිතවරියන්ට මන්ත්‍රීවරියන් ලෙස පත්වීමට අවස්ථාව ඉහළ නංවා තිබීමය. කාන්තාවන්ට සමතැන දීමක් ගැන නිතරම කතා කරන අපේ රටේ කතුන්ට එවැනි වරප්‍රසාදයක් ලබාදී ඔවුන් ප්‍රාදේශීය පාලනයට සම්බන්ධ කරගැනීම වැඩි කිරීම සුවිශේෂ වෙයි.

මෙහිදී කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් කර තිබෙන ලේඛනයේ මුළු ප්‍රමාණයෙන් සියයට 10 ක් කතුන්ට හිමිවන අතර සමානුපාතික ලේඛනයෙන් මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩක් හෙවත් සියයට 50 ක් සඳහා කාන්තාවන් පත් කළ යුතු බව දැක්වේ. මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ මෙහිදී සමානුපාතික අපේක්ෂක ලේඛනයේ පිරිමි නම් කොපමණ යොදා තිබුණද මුළු සංඛ්‍යාවෙන් සියයට පනහක් තෝරාගන්නා නිසා කතුන්ට මන්ත්‍රීවරියන් වීමට ඇති අවස්ථාව වැඩි බවය. එපමණක් නොව, තේරීපත් වූ සභාවේ මන්ත්‍රී ලේඛනයෙන් අවම වශයෙන් සියයට 25 ක් කාන්තාවන් වීම පිළිබඳ මැතිවරණ කොමිසම වගබලාගත යුතු වේ.

කොට්ඨාස මට්ටමෙන් තරග කර පරාජය වූ කතුන්ට ද මෙම සියයට 25 අවම අවශ්‍යතාව නිසා පරාජය වූ අය වුවද ලැයිස්තුව යටතේ පත් කර අවශ්‍ය අවමය තබාගැනීමට කොමසාරිස්වරයාට නීතියෙන් ඉඩ ලැබේ. එසේ වුවද නව මැතිවරණ සංශෝධනවල දක්වා ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල අනුව යම් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 20ක්වත් ලැබී නොමැති නම් සහ හිමි වී ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 3කට හෝ ඊට වඩා අඩුවන්නේ නම් මෙම සියයට 25 කාන්තා නියෝජනය අදාළ නොවෙනු ඇත. මේ අනුව පෙනීයන්නේ කුඩා දේශපාලන පක්ෂවලට ස්වකීය අභිමතය පරිදි අවශ්‍ය නම් පිරිමි අය පත්කරගත හැකි බවය.

නව මැතිවරණ ක්‍රමයේ තවත් සුවිශේෂ වැදගත්කමක් වන්නේ මෙතෙක් පැවති මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමය. මේ නිසා ඡන්ද අපේක්ෂකයන්ට විශාල වියදමක් සහ වෙහෙසක් දරමින් මැතිවරණ කොට්ඨාසය පුරා දිවීමට අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට ඉතාම කුඩා වපසරියක ඡන්ද ප්‍රචාරක කටයුතු සිදුකිරීමට ලැබී ඇති අතර විශාල මැතිවරණ රැස්වීම් නොපවත්වා වුවද ගෙයින් ගෙට ගොස් ඡන්ද දායකයන් සමඟ කතාබස් කර ඡන්ද ලබාගැනීමට අවස්ථාව ලැබී තිබීම විශාල වාසියකි.

මෙහිදී ඡන්ද දායකයාට හිමිවන එකම ඡන්දය තමා කැමැති දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට ප්‍රකාශ කළ හැකිය. එම පක්ෂයෙන් කවුරුන් ඉදිරිපත් වී සිටීදැයි දැනුවත් වීමක් අවශ්‍ය නොවේ. ඡන්ද දායකයා කොට්ඨාස මට්ටමින් ප්‍රකාශ කරන ඡන්ද සංඛ්‍යාව අනුව කොට්ඨාසයේ ජයග්‍රහණය ලබන නියෝජිතයා තෝරා පත්කර ගනී. තවද සමස්ත මැතිවරණ කොට්ඨාසය තුළ දේශපාලන පක්ෂයට සහ ස්වාධීන කණ්ඩායමට ප්‍රකාශ කර ඇති මුළු ඡන්ද ප්‍රමාණය අනුව ලේඛනයෙන් පත් කරන නියෝජිතයන්ගේ සංඛ්‍යාව තීරණය කෙරේ.

මෙම ඡන්ද ක්‍රමය අනුව ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයාගේද කාර්යභාරය සරල වී ඇත. ඔහු ඡන්දපො‍ළේදී ස්වකීය ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමැති දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ ඇති කොටුවේය. මෙම කොටුව තුළ කතිරය ප්‍රකාශ කිරීමෙන් ඡන්දය ලබාදිය හැකි අතර කතිරය නොමැතිව වෙනත් සලකුණක් යොදා තිබුණද එය කතිරය ලෙස සලකා කටයුතු කෙරේ. එසේ වුවද මැතිවරණ කොමසාරිස් පවසන්නේ ඡන්ද පත්‍රිකාවේ එක කතිරයකට හෝ සලකුණකට වඩා යොදා තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වන බවය. එසේම වාක්‍ය ලිවීම, චිත්‍ර ඇඳීම ආදිය ද ඡන්ද පත්‍රිකාව අවලංගු වීමට හේතුවෙයි. බොහෝ මැතිවරණවලදී මෙම හේතු නිසා සෑහෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවන අතර ඇතැම් ඡන්ද දායකයන් තම ඡන්දය අවලංගු කරගැනීම සඳහා වුවමනාවෙන්ම එය විරෑපී කිරීමක යෙදෙන බව මැතිවරණ නිලධාරීහු පවසති. මෙහිදී ඡන්ද පත්‍රිකාව බොහෝ සේ කුඩා විය හැකි අතර එක් ඡන්දයක් සලකුණු කිරීම නිසා ඡන්ද දායකයාටද පහසුවෙන් එය කළ හැකි වේ.

කේවල ඡන්ද කොට්ඨාසයකදී එම කොට්ඨාසය සඳහා එක මන්ත්‍රීවරයකු තෝරාගන්නා අතර බහු ඡන්ද කොට්ඨාසයකදී එයට සමගාමීව මන්ත්‍රීවරුන් දෙදෙනකු හෝ තිදෙනකු තෝරාගැනේ. ඡන්ද සංඛ්‍යාව අනුව වැඩි ඡන්ද ලබා ජයග්‍රහණය කරන පක්ෂයට හෝ කණ්ඩායමට බහු ඡන්ද කොට්ඨාසයකදී නම් මන්ත්‍රීවරුන් දෙදෙනකු හෝ වැඩි සංඛ්‍යාවක් තම ලේඛනය අනුව තෝරා පත්කර ගැනීමට අවස්ථාව හිමිවේ. කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයා මෙන්ම සමානුපාතික ලේඛනයෙන් ඉදිරිපත් අපේක්ෂකයා ද මන්ත්‍රීවරයන් ලෙස පත්වෙන අතර සමානුපාතික අපේක්ෂකයා එම ලේඛනයේ අනුපිළිවෙළට පත්කිරීමක් අවශ්‍ය නොවෙයි. එය මැතිවරණ කොමිසමට ද අදාළ නොවන අතර එසේ පත් කරන තැනැත්තා නම් කිරීමේ බලය දේශපාලන පක්ෂයේ ලේකම්ට හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාට හිමිවේ. ලේඛනයේ නම් සඳහන් අයට අමතර වශයෙන් කොට්ඨාස ක්‍රමයට තරග කර පරාජය වූ අයකු වුවද නම් කිරීමට එම දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හැකි වේ. මැතිවරණ කොමිසම දැඩි සේ අවධාරණය කරන්නේ මෙම ලේඛන දෙකේ නම් නම් සඳහන් පුද්ගලයන් හැර පිටතින් වෙනත් කිසිවකු පත්කිරීමට හැකියාවක් නොමැති බවය. මෙයට පෙර පැවැති මැතිවරණවලදී සියල්ලන්ටම පිටින් බාහිර පුද්ගලයන් පත් කළ බව අපට මතකය.

නව මැතිවරණ නීති අනුව තවත් සුවිශේෂ අවස්ථාවක් වන්නේ තේරීපත් වූ මන්ත්‍රීවරයකු මියගිය හෝ ඉල්ලා අස්වූ විට යළිත් අතුරු මැතිවරණයක් නොපවත්වා ලේඛනවලින් කෙනකු පත් කිරීමට බලය ලැබී තිබීමයි. මෙයට පෙර පැවැති කොට්ඨාස මැතිවරණ ක්‍රමයේ දී මන්ත්‍රීවරයකුගේ පුරප්පාඩුවක් ඇතිවුවහොත් යළිත් මැතිවරණයක් පැවැත්විය යුතුය. එහෙත් මෙවර එලෙස නොමැති වීම නිසා අතුරු මැතිවරණවලට මහජන මුදල් අපතේ යාම සහ යළිත් ඡන්ද කෝලාහලයක් ඇතිවීම වළක්වා තිබීම වැදගත් වේ. එසේ නම් කරන පුද්ගලයා පත් කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබී ඇත.

10 වැනිදා පවත්වන මැතිවරණයේ දී ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදුකිරීමට ප්‍රතිපාදන සලසා තිබීම වැදගත් වේ. බොහෝ විට ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් පසු එම ස්ථානය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වේ. මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ එක එක මධ්‍යස්ථානවල ඡන්ද ගණන් නොකර ඡන්දපොළවල් දෙක තුනක ඡන්ද එක් පහසුකම් සහිත මධ්‍යස්ථානයකට රැගෙන ගොස් එතැන ඡන්ද ගණන් කිරීමට කටයුතු යොදා ඇති බවය. සෑම ඡන්දපොළකම රාත්‍රියේ ඡන්ද ගණන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම මෙයට එක හේතුවකි. අනෙක් හේතුව වන්නේ ආරක්ෂක නිලධාරීන් සහ ගණන් කිරීමේ නිලධාරීන් ආදිය තැනින් තැනට නොවිසුරුවා එක ස්ථානයක තබාගැනීමට හැකිවීමය. එයද එක්තරා ආකාරයකට ආරක්ෂක හා ගණන් කරන නිලධාරීන් සීමාසහිතව සේවයේ යොදවාගැනීමට හැකි වේ.

මෙයට පෙර මැතිවරණවලදී ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්නේ සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණියාට පසුවය. යම් හේතුවක් නිසා එක් ඡන්ද පෙට්ටියක් ළඟාවීම ප්‍රමාද වුවහොත් මුළු මධ්‍යස්ථානයේම ගණන් කිරීම ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට හේතු වේ. එහෙත් නව ක්‍රමය අනුව දුර සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය නොකරන නිසා එලෙස අනවශ්‍ය ප්‍රමාද සිදුනොවේ.

ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් කර පැයකින් පමණ පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ හැකිවීම නිසා ඡන්ද කොට්ඨාසවලට ලැබුණු ඡන්ද ප්‍රමාණය සහ ඒ අනුව පත්වන අපේක්ෂකයා කවුද යන්න ජනතාවට වැඩි කාලයක් නොගොස් දැනගැනීමට හැකි වේ. පක්ෂ හා කණ්ඩායම්වලට ලැබුණු ඡන්ද ප්‍රමාණය ගණන් කරන නිසාද එක් ඡන්ද කොට්ඨාසයක ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව ස්වල්ප නිසාද ඉක්මනින් ගණන් කිරීමට නිලධාරීන්ට හැකි වේ. වෙනදා ඡන්දවල මෙන් මනාප ගණන් කිරීමක් සිදුනොවන නිසා ගණන් කිරීම් කටයුතු සරල වෙන බව පෙනේ. ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දපොළවල් අසල සිටින ජනතාවට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර අනියම් අන්දමින් ජයගත් පක්ෂය හා අපේක්ෂකයා පිළිබඳ දැනුවත් වීමට හැකිවීමද විශේෂ වාසියකි.

තවද මෙහිදී මනාප තිබූ කාලයේ මෙන් නොව, නැවත ගණන් කිරීම් සඳහා කරන ඉල්ලීම් අවම වීම සිදුවේ. එවැන්නක් සිදුවුවද ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව අවම වීම නිසා යළි ගණන් කිරීමද දුෂ්කර නොවේ. මේ නිසා මෙවර මැතිවරණයේ දී ඡන්ද අපේක්ෂකයාට මෙන්ම ඡන්ද දායකයාටද ඉතාම පහසුවෙන් තම වගකීම ඉටුකිරීමට හැකිව තිබීම අගය කළ යුතුය.

► යසවර්ධන රුද්රිගු