2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

කොකෑස්ටික් නිදහස

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

බොහොම සැරට ඉර පායලා ගිනියම් වුණු දවසක බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ගාලුමුවදොර පැත්තට ඇවිද ගෙන එමින් හිටියා. දැඩි හිරු රැසින් හෙම්බත් වුණු මේ සුදු ජාතිකයාගෙ ඉහින් කනින් දාඩිය වැගිරෙනවා. අතරමඟදී ඔහුට මුණගැහෙන්නෙ ස්වදේශිකයෙක්. සුදු ජාතිකයට හරිම තෙහෙට්ටුයි පිපාසයි. වෙරළ අද්දර පුංචි කඩයක් දකින ඔහු බීම බෝතලයක් මිලදී ගන්නවා. ස්වදේශිකයත් බීම බෝතලයක් මිලදී ගන්නවා. දැඩි පිපාසයෙන් සිටි සුදු ජාතිකයා මුහුදු රළේ පහස විඳින ගමන් බීම බෝතලය රස විඳින්න පටන් ගන්නවා. “fantastic” ඉන් සතුටට පත් ඔහු මුහුද දිහා බලාගෙනම සතුට ප්‍රකාශ කරනවා. එය අහගෙන හිටිය ස්වදේශිකයා හිතනවා ඇයි මම සුද්දට දෙවෙනි වෙන්නෙ. “කොකෑස්ටික්”බීම බෝතලයෙන් උගුරක් පානය කරපු ඔහුත් හඬ නගනවා.

මේක විහිලු කතාවක්. සමහර විට ඔබත් මේ කතාව මීට වඩා ටිකක් වෙනස් විදියකට හරි අහලා ඇති. විහිලු කතාවක් වුණත් මේ කතාව ඇතුළෙ අපිට හිතන්න ලොකු දෙයක් ඉතිරි කරලා තියෙනවා. 

අතීතය දිහාවට ටිකක් විපරම් කරලා බැලුවොත් විවිධ යුගවලදි අපේ රට විවිධ ජාතීන් ආක්‍රමණය කරලා යටත් කරගෙන තියෙනවා. එ්ත් ඒ හැම ආක්‍රමණිකයෙක්ම භෞතිකව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළත් අපේ රටේ ජනතාව මානසිකව ආක්‍රමණය කරන්න බැරි වුණ නිසා ඒ ආක්‍රමණයන්ට සාර්ථකව මුහුණ දීලා යළි නැගී සිටින්න අපේ රටේ අය සමත් වෙනවා. නමුත් අවසානයට අපේ රට ආක්‍රමණය කරපු යුරෝපීය  ජාතිකයො මේ කාරණය හොඳින් තේරුම් ගත්ත නිසා භෞතිකව භූමිය අල්ල ගත්තා වගේම මිනිසුන්ගෙ මනසත් ආක්‍රමණය කරන්න පටන් ගත්තා.
 
එහි අවසාන ප්‍රතිඵලය වුණේ මෙරට පය ගහලා හිටියත් හදවතින් බටහිර ගැති පිරිසක් බිහිවීමයි. මේ නිසා යුරෝපීයන් ඉතා පහසුවෙන් අපිව තමන්ගෙ වහලෙක් කරගන්න සමත් වුණා. මේ මානසික ආක්‍රමණයට නතු නොවුණු පිරිසකගෙ කැපවීම මත ආක්‍රමණිකයන්ට එරෙහිව සිදුකළ සටන් නිසා අදින් අවුරුදු 70 කට කලින් සුදුජාතිකයන් මෙරටින් පිටවෙලා ගියත් ඔවුන් යන්නෙ අපි මානසිකව ඔවුන්ගෙ වහල්ලු බවට පත්කරලා. “නිදහස” කියන සුන්දර සිර කූඩුව ඇතුළෙ මානසිකව බටහිර ගැති සිරකරුවකු බවට පත් කරලා.
 
මේ නිසා සිතිවිලිවලින් වහල්ලු වුණු අපිට අපේ රටට වඩා වටින්නෙ යුරෝපය. අපි අගය කරන්නෙ යුරෝපය. අපිට බටහිර දොරටු පහසුවෙන් විවෘත නොවන නිසා භෞතික ශරීරය මෙහේ තියාගෙන මනසින් යුරෝපයෙ ජීවත් වෙනවා.  ඒ නිසාම “අරෙහෙ නම් මෙහෙමයි මේක ලංකාවනෙ” කියලා අපිටම අපහාස කරගන්නවා. අපේ සුළු අඩුපාඩුවක් දැක්කත් ඒකට අපහාස කරලා සුද්දො නම් මෙහෙමයි කියලා අගය කරනවා. සුද්දා කරපුවා අගය කරන අපිට අපේ සංස්කෘතිය සදාචාරය පෙන්නන්න බැරිව යනවා. ලංකාවට අපහාස කරමින් සුද්දා වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. දේශියත්වය ලජ්ජාවට කාරණයක් වෙලා බටහිර අනුකරණය ආඩම්බරයට හේතුවක් වෙනවා. අවසානයේ කලිසම ඇන්දට සරම් මූණ තියෙන අපේ අයට ඉතිරි වෙන්නෙ “කොකෑස්ටික්” කියන්න විතරයි.
 
නිදහස දැනෙන්නේ තමන් කොටුවෙලා තියෙන රාමුවේ තරම අනුව. මේ රාමුව අපිම අපේ මනසින් නිර්මාණය කරගන්ත එකක්. බටහිර ජාතිකයන් අපිට පුරුදු කළේ ඒ අය කියා දුන්න ආකාරයට ඒ රාමුව හදාගන්න. මේ රාමුවෙන් පිට පනින තුරු අපට නිදහසක් දැනෙන එකක් නෑ. අපිට නිදහස කියලා සමරන්න ඉතිරි අපිට නිදහසේ ගිහින් බලන්නවත් අවස්ථාවක් නොලැබෙන “නිදහස් උළෙලක්” විතරයි. එතකම් ශ්‍රී ලංකාව “තුන්වන ලෝකයේ දුප්පත් රටක්” කියලා අපි ඉගෙන ගත්තා වගේම අපේ දරුවන්ටත් පාසලේ පාඩමේදී  උගන්වන්න පුළුවන්. දුප්පත්කමෙන් මිදෙන්න කියලා ආධාර ඉල්ලගෙන බටහිරට යන්න පුළුවන්. බටහිරයන් අපෙන් අපේක්ෂා කළෙත් ඒක. “උඹලා අපෙන් නිදහස් වුණේ නෑ, අපි උඹලගෙන් නිදහස් වුණා” කියලා ඔවුන් කියන තරමට ඒක අද සාර්ථක වෙලා තියෙනවා.
 
මේ රාමුව බිඳගෙන අපේ සම්ප්‍රදාය මත අඩි තියලා සම්ප්‍රදායික නොවුණු ගමනක් යන්න උත්සාහ කරන තුරු අපිට උරුම එපමණයි. ඒ නිසා මානසික වහල් බවින් මිදිලා නිවහල් නිමැවුම් නිමවන්න පුළුවන් නම් එදාට අපි සැබෑවටම නිදහස්. ඒ නිසා අද ඉඳන්වත් නිදහස් වෙන්න උත්සාහ කරමු. හෙට ඒ නිදහසේ මිහිර විඳින්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි.
 
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි 
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
 
►අසිරු කරුණාරත්න