2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

කොණ්ඩෙ ඉදෙන එක නවත්තන්න පුළුවන්!

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1774

සම මෙන්ම හිසකෙස්වලද විශේෂ වර්ණක සෛල මඟින් නිපදවන මෙලනින් හේතුවෙන් වර්ණයක් ලබා දෙයි. මෙය විවිධ ජාතීන්ට අයත් විශේෂත්වයන් මෙන්ම පාරම්පරික ආවේණික තත්ත්වයන් මත විවිධ විය හැක. දුඹුරැවන් කෙස් ඇති වීම, වර්ණ කීපයක් වීම ආදිය ඒ අනුව වෙනස් වෙයි. වර්ණක සෛල ක්‍රියා විරහිත වීම හිසකෙස් සුදු පැහැ වීමට හේතු වෙයි. මෙය වයසත් සමඟ ඇතිවන ස්වභාවික ක්‍රියාවලියකි. නමුත් මෙයින් පරිභාහිරව බාල හා තරුණ වියේදී හිසකෙස් සුදුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙයි.

රූසපුව ගැන උනන්දු වන සෑම කෙනෙක්ම විශේෂයෙන් කාන්තා පාර්ශවය තම හිසකෙස් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි. හිසකෙස් හා සමෙහි නිරෝගී බව, තරැණ පෙනුම රැක ගැනීමට වැදගත් වන හෙයිනි. 

හිසකෙස්වල වර්ණය වෙනස් වීමට අපගේ ජාන ක්‍රියාකාරීත්වය ද බලපෑම් ඇති කරයි. මව්පියන්ගේ හිසකෙස් වයසට යාමට පෙර සුදු වී ඇත්නම් දරුවන්ගේ ද තරුණ අවදියේදීම හිසකෙස් සුදු වීමට පටන් ගනී. නමුත් මෙය අනිවාර්යයෙන්ම මෙසේ සිදු නොවන අතර එසේ වීමට ඇති හැකියාව වැඩිය. 

මීට අමතරව අකලට හිසකෙස් සුදු වීමට බලපාන හේතු අතර පහත කරුණද ප්‍රබලව බලපායි.

මන්දපෝෂණය

රක්ත හීනතාවය

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වීම

දුම්පානය

ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ද හිසකෙස් සුදු වෙයි. බහුලවම පිළිකා හා ඒඩ්ස්වලට ප්‍රතිකාර කිරීමේදී මේ තත්ත්වය ඇතිවන බව සොයාගෙන ඇත.

මීට අමතරව පීනස වැනි රෝග තත්ත්ව, වායු සමීකරණය කරන ලද කාමරවල දිගු කාලයක් සිටීම, අධික සීතල වතුර සහ රාත්‍රී කාලයේදී නෑම, නිදි මැරීම, පිනි බෑම, විෂ සහිත ආහාර පාන භාවිතය, සමබර ආහාර වේලක් නොගැනීම, මානසික ආතතිය, අවිවේකී බව යන කාරණා එයට හේතුවෙයි.

හිසකෙස් වර්ණ ගැන්වීම, අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ භාවිතය ආදියද මේ සඳහා හේතුවිය හැක.

ජානමය හේතු මත අකලට හිසකෙස් සුදු වීම පාලනය අසීරැ වුවද ආරම්භයේ සිටම හිසකෙස්වලට සත්කාර සිදු කිරීම, නිවැරදි ඇවතුම් පැවතුම් පවත්වා ගැනීම මඟින් යම් දුරකට පාලනය කරගත හැක. 

හිස සහ හිසකෙස්වලට ඖෂධීය තෙල් සත්කාර සිදු කිරීම අනිවාර්ය අංගයක් ලෙස ආයුර්වේදයේදී දක්වා ඇත. හිස තෙල් ගෑම අලුත් අවුරුදු චාරිත්‍රයක් ලෙසින් ද විශේෂත්වයක් දක්වා ඇත. 

මෙය හිස සහ හිසකෙස් ආශ්‍රිතව බොහෝ රෝගයන්ට පිළියමක් ලෙස දක්වා ඇත. දිනපතා හිසට තෙලක් එක් කිරීම සුදුසු බව ආයුර්වේදයේ සඳහන් කර ඇත.

වර්තමානයේදී අපගේ කලබලකාරී ජීවන රටාව නිසා නිතරම මානසික හා ශාරීරික අවිවේකී බව, රෝගයන් බොහෝමයක් මෙන්ම කෙස් සුදුවීමටද නිසැකයෙන්ම බලපෑම් ඇති කරයි.

එබැවින් මේ සඳහා විය හැකි හේතු සොයා බලා හේතුවට අනුව ජීවන රටාව වෙනස්කර ගැනීම ඉතා වැදගත් වෙයි. එක් එක් පුද්ගලයන්ට විවිධ හේතු නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවෙයි.

ආහාර පානවල පෝෂණීය වැදගත්කම, නින්ද, ස්නානය කරන වෙලාව හා පීනස වැනි රෝග තත්ත්ව තිබේනම් ඒවාට නිසි පිළියම් ලබා ගැනීම ආදිය පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙයි.

එක් එක් පුද්ගලයාගේ ශරීරයේ ප්‍රකෘතිය අනුව මෙහිදී ආයුර්වේදයට අනුව ඖෂධ නියම කරයි. ඖෂධීය තෙල් වර්ග ද රෝගියා අනුව වෙනස් වේ.  මීට අමතරව,

දෙහිගැට, උළුහාල් තම්බා හිස සේදීම

වෙරළු කොළ යුෂ මඟින් හිස සේදීම

පොකරැ වදමල් ජලය සමඟ අඹරා ආලේප කිරීම

ආදිය නිවසේදී කළ හැකි ඉතා සාර්ථක ප්‍රතිකාර වේ. ඔබත් අකලට හිසකෙස් සුදු වීමෙන් පීඩා විඳිනවානම් වහාම ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබා ගන්න.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00