2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සද්ද නැතුව හැදෙන සිරෝසිස්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7794

දිගුකාලීනව අක්මාවට හානි සිදුවීමෙන් අක්මාව නිසියාකාරව ක්‍රියාත්මක වීම අඩාල වේ. එනම් අක්මාවේ පිටත විනාශයට පත් වී තුවාල සහිත පටක හටගනී. මෙය සිරෝසිස් රෝග තත්ත්වයක් වේ. සිරෝසිස් රෝගය එක දිනකින් හෝ කෙටි කලකින් ඇතිවන රෝග තත්ත්වයක් නොවන බව දැනසිටිය යුතුය.

සිරෝසිස් රෝගය හටගත් මුල් කාලයේදී ඒ සඳහා කිසිදු රෝග ලක්ෂණයක් ඇතිනොවේ. මෙහි මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන්නේ රෝගය හටගෙන මාස ගණනාවක් ගිය විටයි. නිසියාකාරව ප්‍රතිකාර නොකළොත් සිරෝසිස් රෝගය උත්සන්න වී රෝගියා මරණයට පත්වීමටද පුළුවනි.

රෝග ලක්ෂණ පිටතට පෙන්නුම් කරනුයේ සිරෝසිස් රෝගය දරුණු තත්ත්වයට පත් වූ විටය.

රෝග ලක්ෂණ

ඉතා ඉක්මනින් අධික ලෙස මහන්සියට පත්වීම.

ශරීරයේ තැනින් තැන ඇතිවන කැසීම.

පාද ඉදිමීම.

ශරීරයේ සම කහපැහැ ගැන්වීම.

උදරයේ වතුර පිරීම.

සම යටින් දිවෙන ලේ නහර මකුළු අඬු සේ පිටතට පෙනීම.

නිතරම ව්‍යාකූල තත්ත්වයෙන් සිටීම.

නිතරම සිහි නැතිවීම.

සිරෝසිස් රෝගය ඇතිවීමට හේතු

සිරෝසිස් රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ අධික ලෙස මත්පැන් පානය කිරීම.

පුරැද්දක් ලෙසින් දීර්ඝකාලීනව අරිෂ්ඨ පානය කිරීම.

අරිෂ්ඨවලද එය තුළ හටගන්නා මද්‍යසාර මෙන්ම පිටතින් එකතු වන මද්‍යසාර ද ඇත. දීර්ඝකාලීනව මේවා අක්මාව තුළ ගැටීමෙන් සිරෝසිස් හටගැනීමටද පුළුවන. මද්‍යසාර මගින් අක්මාවේ තිබෙන ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්‍රේට් යනාදිය ශරීරයට උරාගැනීමේ ක්‍රියාවලියට බාධා කරමින් අක්මාවට තුවාල කරයි.

මද්‍යසාර නිසා හටගන්නා හෙපටයිටීස් රෝගී උණත්, කහ උණත් හේතුවෙන් ශරීරය කෘෂ වීමක් සිදුවේ. අමෙරිකාව වැනි රටවල 40%කට සිරෝසිස් වැළඳෙන්නේ මද්‍යසාර හේතුවෙනි.

මද්‍යසාර හේතුවක් නොවන Non - alcholic steatohepatitis සිරෝසිස් රෝගය අක්මාව තුළ මේදය වර්ධනය වී අක්මාවේ පටකවලට හානි කිරීමට පටන් ගනී.

අධික ස්ථූලතාවය, දියවැඩියාව, ප්‍රෝටීන ඌණතාවය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන් හටගත් රෝගීන්ටද සිරෝසිස් රෝගය ඇතිවීමට ඉඩ ඇත.

නිදන්ගත හෙපටයිටීස් “සී” වැළඳුණු රෝගීන්ටත් මේ රෝගය වැළඳේ. හෙපටයිටීස් “සී” මගින් ඇති කරන ආසාදනයක් හේතුවෙන් අක්මාව තුළ ප්‍රදාහ තත්ත්වයක් ඇතිවේ. මේ තත්ත්වය වසර කිහිපයක් ගතවූ විට සිරෝසිස් ඇතිවිය හැක.

පිත්තාශයට හානි සිදුවීම සිරෝසිස් රෝගය ඇතිවීමේ ප්‍රවණතාව වැඩි කරයි.

පවුලේ වෙනත් කෙනකුට සිරෝසිස් රෝගය තිබීම ද මෙම රෝගය කෙනකුට ඇතිවීමට හේතුවකි. මේ නිසා මෙයට ජානමය බලපෑම් ද බොහෝවිට බලපාන බව කිව හැකිය.