2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

නිදහසින් පස්සේ රටේ අාර්ථිකය වළපල්ලට ගිය හැටි

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1112

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම් උළෙල පසුගිය සතියේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අපේ රට යටත් විජිතවාදීන්ගෙන් බේරාගෙන දේශපාලන නිදහස ලබා වසර 70ක කාලයක් ගතවුවද ලබාගත් නිදහස උපයෝගී කරගෙන සෑහෙන තරම් ආර්ථික නිදහසක් ලබාගෙන ඇතිදැයි සැක පහළ වන බව මැදහත් ආර්ථික විද්වතුන්ගේ අදහසයි.

මේ වන විට අපටය කියා ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගී නොමැති අතර රට තුළ යම් ආර්ථික ප්‍රශ්නයක් ඇතිවුවද අපේ අවධානය කෙළින්ම විදේශ රටවල් කරා යොමුවීම නිසා අපට නිතරම විදේශවලට නතුවන්නට සිදුවේ. අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වැඩිපුර පාරිභෝජනයට නැඹුරු වී ඇති පාරිභෝගික ද්‍රව්‍ය මේ වන විටම විදේශ රටවලින් ආනයනය කිරීමට නැඹුරුතාවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ.

මෙම පැලැස්තර විසඳුම්වලට යොමුවීමට එකම හේතුව අපේ රටේ අපටම අනන්‍ය වූ ආර්ථිකයක් ගොඩනගා ගැනීමට මෙතෙක් අපොහොසත් වීම බව වැඩි දෙනාගේ මතය වේ. ආණ්ඩු මාරුවන විට ආර්ථිකය මාරැවීම නිසා නිදහස ලැබී වසර 70 ක් දක්වා පැමිණියද අපට මේ දක්වා එකතැන පල්වීමට සිදුව තිබීම සැබෑ අවාසනාවකි. අප නිදහස ලැබූ මුල් අවධියේ අපේ ආර්ථිකයෙන් පාඩම් ඉගෙන ගැනීමට උත්සාහ කළ ඇතැම් බටහිර රටවල් පවා දැන් අපව අභිබවා ගොස් ගව් ගණන් ඉදිරියට පැමිණ ඇත. කොතරම් උත්සාහ කළ ද අපට මේ වන විට එම රටවල ආර්ථික තත්ත්වයට ළඟාවීම සිහිනයක් බවට පත්ව ඇති බව පෙනේ. නිදහස ලැබුණා යැයි උදම් ඇනීමට වඩා ලැබූ නිදහසෙන් ප්‍රයෝජන ගෙන අපටම ආවේණික වූ ආර්ථිකයක් ගොඩනගා ගත හැකි නම් අපේ රටේ පෙර තිබූ සමෘද්ධිය හා සෞභාග්‍ය යළි ලබාගැනීමට අපහසු නොවේ. එහෙත් මේ තාක් කල් අප ක්‍රියාකර ඇත්තේ පටු දේශපාලන සහ ආර්ථික වාසි ලබාගැනීමට නිසා අවශ්‍ය ආර්ථික ඉලක්කවලට ළඟාවීමට නුපුළුවන් වී ඇත.

නිදහස දිනාගැනීමෙන් පසු අපට බලාපොරොත්තු වූ ආර්ථික සංවර්ධනය ලබාගත නොහැකි වූයේ මන්ද යන්න සහ අනාගතයේ දී හෝ දේශපාලන නිදහස ප්‍රයෝජනයට ගනිමින් ආර්ථිකය නඟාසිටුවන්නේ කෙසේද යන්න පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පළ කළ අදහස් මෙසේය.

නිදහස ලබා දැනට දශක හතක් ඉකුත් වී ඇත. මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 75 ක් ලෙස සැලකුවහොත් 1948 නිදහස ලැබෙන විට උපන් අයට තව ජීවත් වීමට ඉතිරිව ඇත්තේ ආසන්න වශයෙන් අවුරුදු පහක් පමණි. මෙම කාල පරාසය තුළ අප ළඟාකරගත් දේවලට වඩා ළඟ නොකර ගත් දේවල් අධිකය.

කෙනකුගේ ජීවිතයේ සෞභාග්‍ය ප්‍රධාන වශයෙන් මනින්නේ ආදායම පාදක කරගෙනය. අප නිදහස ලබන විට ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 100 ක් පමණ විය. අද වන විට ඒකපුද්ගල ආදායම ඩොලර් 4000ට ආසන්න වී ඇත. නිදහස ලැබූ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ වැදගත් බලාපොරොත්තු කිහිපයක් විය. ඉන් ප්‍රධානතම අපේක්ෂාව වූයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීමය. එදා සිට අප මේ ගැන නිරතුරුව සාකච්ඡා කර ඇති අතර, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදීද අයවැය ලේඛන සැකසීමේදීද මේ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. කෘෂිකර්ම දියුණුව සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් කළ අතර, රට සහලින් ස්වයංපෝෂිත කිරීම තුළින් අප බලාපොරොත්තු වන ආර්ථික දියුණුව සලසාගත හැකිය යන්න අපේක්ෂා කෙරුණි.

නිදහසින් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම ඒ ගැන ක්‍රියා කළ අතර, ගල්ඔය ව්‍යාපාරය, ජනපද යෝජනා ක්‍රම, මහවැලි ව්‍යාපාරය, කඩිනම් මහවැලි ව්‍යාපාරය ආදීකොට ක්‍රියා කිරීම හේතුවෙන් 2005 දී රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි විය. එසේ වුවද එම තත්ත්වය අපට දිගටම රඳවා තබාගැනීමට හැකිවූයේ නැත. අද වන විට අපේ රටේ ජනතාවට රට සහල් ද ආනයනය කෙරේ.

නිදහස ලැබූ ආසන්න කාලයේ රටේ පාලන තන්ත්‍රයේ ඉහළම තනතුරුවල සේවය ක‍ළේ රදළ පන්තියේ අයයි. පත් වූ මැති ඇමැතිවරුන් ද සමාජයේ ධනවත්, වංශවත් රදළ පන්තියට සම්බන්ධ කණ්ඩායමක් විය. අපේ තානාපති සේවය ද එසේම විය. සාමාන්‍ය ජනතාව අදහස් කළේ මේ අයට තමන්ගේ දුක, දහදිය සුවඳ නොතේරෙන බවයි. නිදහස් අධ්‍යාපන ක්‍රමය ලැබීමෙන් පසු සිදුවූ විවිධ ප්‍රතිසංස්කරණ නිසා මේ සෑම අංශයකටම සමාන්‍ය අයට පත්වීමට හැකි විය. එහෙත් පරිපාලනය හා දේශපාලනය සාමාන්‍ය ජනතාව අතට පත් වූ පසු බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණද යන්න ගැටලුවකි. නිදහස් අධ්‍යාපන ක්‍රමය යහපත් නමුත් එයින් අප බලාපොරොත්තු වන සුබසිද්ධිය අත්කර ගැනීමට හැකිවූවාද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.
නිදහස ලබන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව ආර්ථිකය සහ සෑම අංශයකින්ම යහපත් ස්ථානයක තිබුණි. කර්මාන්ත, අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිපාලන ආදී අංශවලින් ඉහළම ප්‍රගතියක් පෙන්නුම් කළ බව සත්‍යයකි. බොහෝ රටවල් ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම දියුණු වන රටක් ලෙස සලකා තිබුණි. සිංගප්පූරුව පවා දියුණු වූයේ අපේ අභිලාෂය ලබාගෙන නමුත් දැන් එරට අපට වඩා විශාල ලෙස ඉදිරියට පැමිණ ඇත. එහෙත් අප මුලින් තිබූ ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන නොගත් නිසා වර්තමානයේ ඇති අහිතකර තත්ත්වයට පත්ව තිබේ. දක්ෂ වුවද ප්‍රතිඵල දුර්වල වී තිබේ. දියුණු වීමට තිබූ වැදගත් ඉඩ ප්‍රස්ථා අපගෙන් ගිලිහී ගිය බවක් පෙනෙන්නට ඇත. 1977 වසර දක්වාම මෙම තත්ත්වය දක්නට හැකි විය.

නිදහස ලබන විට මිලියන 7ක ජනගහණයක් සිටි අපේ රටේ අද ජනගහණය මිලියන 21 කි. ජනගහණය වර්ධනය වීම නිසා ආර්ථික හා සමාජ ගැටලුවල සංකීර්ණතාව වැඩි විය. 1977 වසරේ සිට ආරම්භ වූ විවෘත ආර්ථිකය නිසා වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇතිවූ බව සත්‍යයකි. 1978 දී සියයට 8ක වර්ධන වේගයක් ප්‍රථම වතාවට ඇතිකර ගැනීමට හැකිවුවද 1983 දී ඇතිවූ කැරලි කෝලාහල සිවිල් යුද්ධ නිසා තත්ත්වය අයහපත් අතට හැරුණි. මේ හේතුවෙන් මෙරට ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටි කීර්තිමත් ආයතනවලට එම අවස්ථාව මඟහැරී ගියේය. රටේ පැවැති දේශපාලන හා සමාජ වාතාවරණය මැද මෙරටට පැමිණීමට ඔවුන් කැමැති වූයේ නැත. 2004 වසරේ ඇතිවූ සුනාමි ඛේදවාචකය නිසා අපේ ආර්ථිකය බලවත් පීඩනයකට ලක් විය.

2009 වසරේ වාර්ගික යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ආයෝජකයන් මෙරටට විදේශවලින් පැමිණියද ඒ අයගෙන් නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි විය. විවිධ වංචා දූෂණ හේතුවෙන් මෙම ස්වර්ණමය අවස්ථාව ද අපෙන් ගිලිහී ගිය බව පෙනෙන්නට තිබිණි. රටේ පාලකයන් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රට නිසි මඟට ගැනීමට උනන්දු වූවා නම් අද රටේ තත්ත්වය මෙයට වඩා සෑහෙන්නට වෙනස් විය යුතුව තිබිණි. දේශපාලනඥයන් පාලන බලය ලබාගැනීමට දැක්වූ උනන්දුව රටේ ආර්ථික සංවර්ධනය ඇතිකරගැනීම පිළිබඳ නොදැක්වීම මෙම ශෝචනීය තත්ත්වයට හේතු විය.

2015 දී රට ගොඩනගා ගැනීමට යැයි කියා බලයට පත්වූ යහපාලන රජය විවිධ සැලසුම් ක්‍රියාත්මක කළ අතර දින 100 වැඩසටහන තුළින් යම් ආකාරයක ජනතා බලාපොරොත්තුවක සේයාවක් මතුවිය. එහෙත් කල්යාමේදී යහපාලන රජය නිර්මාණය කිරීමේ අපේක්ෂාවලින් බැහැරව කටයුතු කිරීම, වංචාව, දූෂණය, ආකාර්යක්ෂමතාව හා දේශපාලන පළිගැනීම් ආදිය නිසා ජනතා බලාපොරොත්තු ඉටුවීමක් සිදුව නැත. කිසිදු ආර්ථික සැලසුමක් නොමැති වීම නිසා විදේශ ආයෝජනයන් ළඟාකර ගැනීමට අවස්ථාව නොලැබී ගිය අතර දේශපාලන අරාජිකභාවය නිසා සංවර්ධනය එකතැන පල්වෙන තත්ත්වයක පවතී. ඒ නිසා නිදහසින් පසු රටේ දියුණුවට තිබූ අවසාන ස්වර්ණමය අවස්ථාවද ගිලිහී ගොස්ය.

අපේ රටේ ආර්ථික පසුබැස්මට හේතු වූයේ යල්පැනගිය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමය. 1956 සිට 1965 දක්වා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අතර එහිදී පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම නිසා ආණ්ඩුව ආර්ථිකයේ සෑම අංශයක්ම වෙලාගැනීම සිදුවිය. බස්, ඛනිජ තෙල්, වරාය ආදී ප්‍රධාන අංශ ජනසතු කළ අතර එයින් සිදුවූයේ ආණ්ඩුවට ඒවා නඩත්තු කිරීමට මහජන මුදල් වැය කිරීමට සිදුවීමය. එම ව්‍යාපාරවලින් ආදායම උපද්දවනවා වෙනුවට ඒවා සඳහා ජනතාවට බර කරගැසීමට සිදුවීම නිසා දෙආකාරයකින් හානි සිදුවිය.

වතු ජනසතු කිරීම ද සිදුකළ අමනෝඥ ක්‍රියාවක් වන අතර 1972 – 1975 අතර කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණය මුවාවෙන් පෞද්ගලික වතු ආණ්ඩුවට පවරා ගැනිණි. ඒ තාක් කල් වතුවලින් ලැබුණු බදු ආදායම ආණ්ඩුවට නොලැබුණු අතර වතුවල නිෂ්පාදනය ද පහළ වැටුණි. ක්‍රමයෙන් මෙම වතු සියල්ල නැත්තටම නැතිවුණු අතර, ඒවා දැන්වීම් පුවරුවලට පමණක් සීමා විය. එම වතුවල සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ද ආණ්ඩුවට මහජන මුදල් වැය කරන්නට සිදුවිය. එසේම වතු නඩත්තු කටයුතු සඳහා ද ලැබුණු ආදායම ප්‍රමාණවත් නොවූ නිසා ආණ්ඩුවේ මුදල් වැය කරන්නට සිදුවිය.

ලොව අංක 1 තේ අපනයනකරු බවට පත්ව සිටි ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයට පහළ වැටීමට මෙම වතු ජනසතුව හේතු විය. වතු පාලනයට කිසිදු සුදුසුකම් නැති දේශපාලන හිතවාදීන් පත්කිරීම නිසා සියල්ල විනාශයට පත්විය. මේ අතරතුර විවෘත ආර්ථිකය හේතුවෙන් නිර්මාණය වූ කර්මාන්ත කිහිපයක් පමණක් මේ වන විට ඉතිරිව ඇත. බොහෝ අයගේ විරෝධතා මැද ආරම්භ වූ ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික, විදුලිය, මෘදුකාංග ආදියෙන් රට අද වන විට යම් පමණක ආර්ථික දියුණුවක් අත්පත් කරගෙන ඇත. අපේ ශ්‍රමිකයන් විදේශවලට යැවීම, සංචාරක ව්‍යාපාරය ආදියෙන් අද වන විට අප යම් පමණකට ආදායම් ලබන නමුත් අපේ රටේ වතු ජනසතු නොකර ඒවා පෞද්ගලික පරිපාලනයේ තිබියදී මෙම අංශ දියුණු කළා නම් අප මේ වන විට ආර්ථික වශයෙන් අදට වඩා විශාල වර්ධනයක් අත්පත් කරගන්නට ඉඩ තිබුණි.

නිදහසින් පසු රටේ ආර්ථිකය වාර්ෂිකව සියයට 4ක ප්‍රමාණයෙන් වර්ධනය වෙමින් පවතී. අපේ ජනගහණය වාර්ෂිකව සියයට 1.7කින් ඉහළ යන අතර, ඒකපුද්ගල ආදායම ද වාර්ෂිකව සියයට 2.3 බැගින් වැඩිවෙමින් තිබේ. එසේ වුවද මුලින් පැවසුවා මෙන් ලොව බොහෝ රටවල ආර්ථිකය වාර්ෂිකව සියයට 7, 8, 10 ආදී වශයෙන් ඉහළ යමින් පවතී. නිදහසින් පසු අපේ ආර්ථික සංවර්ධනය පහළ වැටුණේ ඉහත දැක්වූ වැරදි නිසාය. යල්පැනගිය මතිමතාන්තර, දෘෂ්ටිමය මායාවල සිරවී සිටීම, වංචා දූෂණ අකාර්යක්ෂමතාව, දේශපාලන බලපෑම්, උද්ඝෝෂණ, වැඩවර්ජන හා කඩාකප්පල්කාරී ක්‍රියා ද මෙයට හේතු වූ බව කිව යුතුය.

අද පවතින ආර්ථිකයේ ගැටලුවලට විසඳුම් සොයාගෙන රටේ සංවර්ධනයක් ඇතිකර ගැනීමට නම් ලොව දියුණු රාජ්‍යයන් අනුගමනය කරමින් විවෘත ආර්ථිකය සමඟ ඉදිරියට යා යුතු වෙයි. යල්පැනගිය දෘෂ්ටිමය මතවාදවලින් බැහැරව ගොස් නූතන දියුණු ආර්ථික ලෝකය තුළ කටයුතු කිරීමේදී නව තාක්ෂණය උපයෝගී කරගෙන සංවර්ධිත රටවල් සමඟ තරගකාරී පසුබිමක් නිර්මාණය කරලීම වැදගත් වේ.

මගේ අදහස නම් ආණ්ඩුව ආර්ථික ව්‍යාපාර සහ වාණිජ ව්‍යවසායන් කරගෙන යාම දැන්වත් නවත්වා දැමිය යුතු බවය. පෞද්ගලික අංශයට ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබාදී මඟපෙන්වීම පමණක් ආණ්ඩුව සිදුකළ යුතු බව මගේ මතයයි. අපට මෙතෙක් වැරදී ඇත්තේ අනවශ්‍ය සමාජවාදයකට නතුවී සියල්ල ආණ්ඩුව මගින් කරගෙන යාමට කටයුතු කිරීම නිසාය. පෞද්ගලික අංශය ආර්ථික සංවර්ධනයට යොදාගැනීම මෙතෙක් නිසියාකාරව සිදුව නොමැත. දැනට මහජන මුදලින් නඩත්තු කරන සියලුම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශය සතු කිරීම හෝ වසාදැමීම කළ යුතුය. පෞද්ගලික ව්‍යවසායකයන් පවරා ගැනීම ප්‍රතිපත්තියක් වශයෙන් නොකළ යුතුය. ආර්ථික කටයුතු පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව කළහොත් මෙයට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය යන්න මගේ විශ්වාසය වේ. 

එසේම වෛරී දේශපාලනයෙන් ඉවත් වී රටට ආදරය කරන උගත් දේශපාලන නායකත්වයක් තෝරාගැනීම මෙහිදී වැදගත් වේ. 70 වසරක නිදහසක් පිළිබඳ උදම් අනනවාට වඩා ලැබූ නිදහස රටේ සංවර්ධනයට යොදාගැනීමට දැන්වත් අවධානය යොමුකිරීම කාලෝචිත වේ.

► යසවර්ධන රුද්රිගු