2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ගහන්න කලින් හිතන්න...

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

සාරධර්මෙ බලු බල්ලට ගියාවේ
සංස්කෘතිය මක බැවී ගියාවේ...

සංස්කෘතිය කියන්නේ පරණ මිනිස්සුන්ගේ දෙයක්. සාරධර්ම කියන්නේ අපිට කලින් ජීවත් වෙච්ච මිනිස්සු හදාගත්තු මනෝ විකාර ටිකක්. අපි සමහර වෙලාවට ඔන්න ඔහොම හිතන්න පුරුදු වෙලා ඉන්නවා. ඔතනදි ‘අපි’ කියලා අදහස් වෙන්නේ බටහිර පැත්තට නැඹුරු වෙච්ච අදහස් තියෙන තරුණ කොට්ඨාසයයි. එහෙමත් නැත්නම් නගරබද ජීවත් වෙන තරුණ පිරිසයි. 

අපේ රටේ තරුණ පරම්පරාව බටහිර පැත්තට නැඹුරු වෙන්න හේතු ගොඩක් තියෙනවා. එයින් ලොකුම හේතුව තමයි ඉංගිරීසිය. කවුරු කොහොම කිව්වත් ඉංග්‍රීසිය කියන්නේ එක්තරා පැළැන්තියක් තමන්ව වැජඹෙන්න තියාගෙන ඉන්න උපකරණයක්. ඔය කියනවා වගේ කඩුවක්ම තමා. ඉතින් කඩ්ඩත් එක්ක බැඳිච්ච බටහිර සංස්කෘතියත් ඔය පැළැන්තිය තමන්ව උසස් කරගන්න පාවිච්චි කරනවා. 

වරද්ද ගන්න එපා! මේ පැළැන්තිය කියලා අදහස් කරන්නේ සල්ලිකාරයින්, අපේ රටේ මහා ධනවතුන් ගැන නෙමෙයි. සාමාන්‍ය පවුලකින් ආවත් සල්ලි මහා ලොකුවට අතේ ගැවසුණේ නැති වුණත් බටහිර ක්‍රමයට හිතන පතන බටහිර දේවල්ම ඇසුරු කරන පිරිස තමා ඔය පැළැන්තිය. ඒ අය සමාජයේ වෙනස්ම පිරිසක් වෙන්න උත්සාහ ගන්නවා. 

ඉතින් මේ පැළැන්තියේ කඩ්ඩත්, කඩ්ඩ එක්ක බැඳිච්ච ඒරොප්පෙ සංස්කෘතියත් නිසා එයාලට සමාජයේ ලොකු තැනක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක යුරෝපෙටත් වඩා‍ අමෙරිකාවට බර වෙච්ච එකක් කිව්වොත් හරියටම හරි. 

ඇත්තටම අමෙරිකාව වගේ ගොඩක් බටහිර රටවල මිනිස්සුන්ගේ ‘නිදහස’ට ලැබෙන්නේ ලොකු වටිනාකමක්. ඒක ඇත්ත. අපේ රටේ සමාජය කොයිවෙලෙත් මිනිස්සුන්ට දම්වැල් දාලා බඳින්න බලාගෙන හිටියත් එහේ සමාජෙ වෙනස්. තනි තනි මිනිස්සුන්ට නිදහසේ හිතේ හැටියට ජීවත් වෙන්න අපිට වඩා සාපේක්ෂ නිදහසක් ඒ ගොඩක් රටවල තියෙනවා. හොඳම උදාහරණයක් තමයි සමලිංගික සම්බන්ධතා පිළිගෙන තිබීම. 

ඉතින් මේ වගේ ධනාත්මක ලක්ෂණ හින්දා කිසිම හොයා බැලීමකින් තොරව‍ අමෙරිකන් ක්‍රමය, ඉංග්‍රීසි ක්‍රමය, යුරෝපෙ ක්‍රමය පිළිගන්නත් සමහරු පෙළඹිලා ඉන්නවා. මේක අමෙරිකන් ස්ටයිල් එකක්, අමෙරිකන්කාරයෝ නම් කරන්නෙ මෙහෙමයි, ඔය විදිහට එක එක දේවල් ගැන අපේ මිනිස්සු කියනවා කොයිතරම් නම් අපි අහලා ඇද්ද? 

ඇමරිකන්කාරයින්ගෙන් බහුතරයක් ලංකාව කියලා රටක් ලෝකේ තියෙනවද කියලා දන්නෙත් නැතුව ඇති. ඒත් අපේ අය ඇමරිකන්කාරයින්ට දේවත්වයෙන් සලකන හැටි දැක්ක නම් උන් එහේ දාලා මෙහේ ඇවිත් ගොඩක් කල්...
ලෝකෙ රටින් රටට සංස්කෘතීන් වෙනස් වෙන්නෙ මහ අමුතු සාධක ගොඩක් එක්කයි. මේ වෙද්දි මුළු ලෝකෙම එකට යාවෙලා තියෙන හින්දා ඒ රටේ දේවල් මේ රටටත් මේ රටේ දේවල් ඒ රටටත් යන එන එක මහ ලොකු දෙයක් නොවුණට අතීතයේදී ලෝක සංස්කෘතිය කියන්නේ ඒ ඒ රටවලටම ආවේණික වෙච්ච සාධක ගොඩක් එක්ක නිර්මාණය වෙච්ච දෙයක්. 

එක්තරා රූපවාහිනී නාලිකාවක රියැලිටි ෂෝ එකකදි එක මනුස්සයෙක් ස්ටේජ් එකට නයෙක්ව ගේනවා. ජජ් බෝඩ් එකේ හිටිය නිළියක් පුටුවෙන් නැගිටින්නේ ‘අම්මෝ’ කියාගෙන මිසක් ‘ඕ මයි ගෝඩ්’ කියාගෙන නෙමේ. ඒ හින්දා අපේ සංස්කෘතික හුරුපුරුදු අපේ භාෂාව, ආගම, දේශගුණය විතරක් නෙමේ මිනිස්සුන්ගේ ජාන පවා සාධක වෙලා නිර්මණය වෙච්ච දෙයක්. 

මෙන්න මේකයි මට කියාගන්න ඕන වුණේ... අපි අපේ සංස්කෘතිය සාරධර්ම ප්‍රශ්න කරන්න ඕනෙ. ඇත්ත. සමහර මෝඩ සිරිත් විරිත්වලට ගරහන්නත් ඕනෙ. ඔය මංගල දවසේ රැට සුදු රෙද්දක් එලන එක වගේ මරි මෝඩ ගති සිරිත්වලට පන්න පන්න පහර දෙන්න ඕනෙ. ඇත්ත. හැබැයි ඕනම දෙයක් ගැන ප්‍රශ්න කරන්න කලින් ඒ දේ මොකක් නිසා ඇති වෙච්ච දෙයක්ද කියලා පොඩ්ඩක් හෝදිසි කරලා බලන්නත් ඕනෙ. සංස්කෘතිය කියන සංකල්පෙට අදහසට විරුද්ධව පහර ගහන්න යන්නෙ නැතිව සංස්කෘතියේ තියෙන ගොන් ආතල්වලට රිදෙන්න ගහන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. 

එහෙම කළොත් රුල්ලට නොගිහින් තමන්ගෙම රැල්ලක් හදාගෙන ජීවිතේ වගේම සමාජෙත් ඉස්සරහට ගෙනියන්න පුළුවන් වේවි. 

►  ජා 

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00