ඔබ මෙය කියවන දිනය වනවිට පුංචි ඡන්දය අවසන්ය. එහෙයින්, මැතිවරණ කොමිසම පැනවූ නීති රීති උල්ලංඝනය වීම පිළිබඳ බියකින් තොරව (කොළමක්) ලිවීමට මට නිදහස ලැබී ඇත.
මුලින්ම රසවත් කතාවක් කීමට ඉඩදෙනු මැන. මීට වසර කීපයකට ඉහත, නුවර පළාතේ සුප්‍රසිද්ධ, කැඩුම් බිඳුම් පිළිබඳ වෙද මහත්මයෙකු වෙත යාමට සිදුවූයේ මගේ අතපයේ ප්‍රශ්නයන් නිසා නොව, නිතර වළලුකර පනින මිත්‍රයෙකුට ප්‍රතිකාර පිණිසය. ලංකාව තුළ අතපය &වලංගු* නැති මිනිසුන් මෙතරම් සිටිනවාදැයි සිතුණේ එහි ගිය පසු දුටු සෙනඟ කන්දරාව නිසාය. ඒ කාලේ මහ මැතිවරණයක්ද පෙනෙන තෙක් මානයක නොතිබූ හෙයින් ඊට සාධාරණ හේතුවක්ද සිතාගත නොහැකි විය.
වෙද නිවස ඉදිරිපස මහ පාරේ, බී.එම්.ඩබ්ලිව්, ඉන්ටර්කූලර්, ෆැජරෝ, වෑන්, බස්, ත්‍රීවීලර් සහ මෝටර් බයිසිකල්ද එකදිගට නවතා තිබුණේ පැමිණි පිරිසේ තරාතිරම් දක්වන හරස්කඩක් මෙනි. මගේ මිත්‍රයාට ලැබුණු අංකය 460 ය. ඉතින් මොනවා කරන්නද, ඔහුව රෝගීන්ගේ ශාලාවේ හිඳුවා මම පිටත වූ අඹගස් සෙවණකට ගොස් පුවත්පතක් පෙරළා ගතිමි.
මොහොතකට පසු ශාලාව අසල සිටි තරුණ පුද්ගලයෙක් අඹ ගස දෙසට පිය මැන්නේය. කළු, හැඩිදැඩි පෙනුමැති ඔහු හිසකෙස් කපා තිබුණේද අමුතුම ඉස්ටැයිල් එකකටය. හිස දෙපස (නම්බර් නෝට්) එකට බූ ගාලාය. හිස මැද කොටසේ ඉතිරි කෙස් සුළං අතට ආපිට නැමුණු මානා ගොන්නක් බඳුය. ඔහුගේ දකුණතේ වැලමිට සිට පහතට වෙළුම් පටියක් ඔතා තිබුණු අතර, එහි තැන තැන මතු වූ තද කොළ පැහැති තෙල් පැල්ලම්ය.
ජංගම දුරකතනයෙන් කාටදෝ ඇමතුමක් ගත් ඔහු කතා කරන්නට වූයේ තරමක උස් හඬිනි.
“ආ හලෝ... කවුද ඔය... මම පාළුහේන මන්ත්‍රීතුමා කතා කරන්නෙ. ඇහෙනවද?”
මම තිගැස්සුණෙමි. මේ මැර පෙනුමැති තරුණයා එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. මන්ත්‍රී උත්තමයෙකි. එහෙත්, පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවක නොව ප්‍රාදේශීය සභාවක විය යුතු යැයි සිතුවෙමි. ඇමතුමට ප්‍රතිචාරයක් නැත. ඔහු යළිත් කතා කරයි.
“හලෝ....පාළුහේන මන්ත්‍රීතුමා කතා කරන්නේ... ඇහෙනවද. මොකක්ද කිව්වෙ.... ඔතන සිග්නල් අඩුද..... කැඩි කැඩී ඇහෙන්නෙ.”
අනෙක් පැත්තෙන් ලැබෙන පිළිතුර මට සිතාගත නොහැක. එහෙත්, මන්ත්‍රීතුමා තරමක් හඬ උස්කොට යළි කතා කරයි.
“මම පාළුහේන.... මන්ත්‍රීතුමා... නෑ... නෑ.... එයා නෙවෙයි. තුම්මුල්ල සභාවෙ. ඔය ඇඹලපිටිය මන්ත්‍රීතුමා නේද?” (අනෙක් පැත්තේ පිළිතුර නොදනිමි)
“අන්න හරි... ගස් පාළුවා තමයි...”
“එහෙම කියපන්කො... දැන්නෙ අඳුරගත්තෙ.” (ප්‍රතිචාරය එය විය යුතුය)
මන්ත්‍රී සිනාසෙයි. ඉන්පසු දෙදෙනා සුහද කතාවක යෙදෙන්නට ගනී.
නෑ මචං, මම මේ හන්දි වෙදෙක් හම්බවෙන්න ආවා. එදා පාටිය ඉවරවෙලා, අර ඇමතිගෙ බොඩිගාඩ් ගේම ඉල්ලුවනෙ... මට පොලු පාරක් වැදුණා. අත කඩලා ගියා. ඔව්... ඔව්... ඒව පස්සේ බලාගමු. හරි මචං. එහෙනං තිබ්බා.... මන්ත්‍රීතුමා, දුරකථනය සාක්කුවේ දමා ගත්තේය.
“ගස්පාළුවා” තමන්ටම මන්ත්‍රී යැයි කියමින් හඳුන්වා දුන්නද, අනෙක් පැත්තේ සිටි පුද්ගලයාට එය එකවරම වැටහුණේ නැතුවා විය යුතුය. ඔහු අමතන“සුපුරුදු ගමේ නම” කියූ සැණින්“මීටර්” වූයේය.
මා මෙය කියූවේ කිසිවෙකුට අපහාස කිරීමට නොවේ. මේ රටේ දේශපාලන “මොන්ටිසෝරියේ” තත්ත්වය ඕකය. ගස්පාළුවෝ, කුඩු කාරයෝ, කසිප්පු මුදලාලිලා, ගංජා මුදලාලි, පාතාලකාරයෝ “ගම-රට” හදන්නට ඉදිරිපත් වෙති. අන්තිමේදී උන් හැදෙනවා පමණි.
මෙදාපාර ඡන්දය “පුංචි” යැයි කියූවද, එය එසේ නොවේ යැයි සිතෙන්නේ, ජනතා තීන්දුව කුමක් වුවත් රටේ දේශපාලනයේ “ලොකු” වෙනසක් වෙනවා යැයි ලොකු ලොක්කන් කියන නිසාය.
මේ “වෙනස” කතාවද අපි ඕනෑතරම් අසා ඇත. “සැබෑ වෙනසක්” ඇති කරනවා යැයි කියූ අයද කළේ, ඔවුන් සිටි තැන් වෙනස් කිරීමට පමණි. රට නම් හැමදාමත් තිබූ තැනින්ද පල්ලමට බැස්සා පමණි.
දේශපාලකයන්ගේ නම් වෙනස්කම් බොහෝය. යාන වාහන, ගෙවල් දොරවල් පමණක් නොව ඇඳුම් පැළඳුම් ඇඟපත ද වෙනස් වෙයි. පරණ ඇඳුරුම්කම් නැතිව ගොස්, අලුත් දැන හැඳුනුම්කම් ඇතිවෙයි. කතාබහද අමුතු ගාම්භීරකමක් ගනී. සමහරු අඹුවන් පවා වෙනස් කර ගන්නේ, නැහැදිච්චකම නිසා නොව, සමාජ තත්ත්වයට ගැළපෙන්නටය. දස දහස් ගණන් දී “හෙයාර් ස්ටයිල්ස් ”, “මේකප්” කර ගැනීමෙන්, ඔවුහු තම මූණත් තහඩුද අලුත් කර ගනිති.
මීට කලකට ඉහත, මන්ත්‍රීකමක් ලබාගත් ඈත පළාතක ව්‍යාපාරිකයකුට “රදළ උණක්” වැළඳුණේය. කොන්ත්‍රාත් මඟින් කෝටිපතියෙකු වූ ඔහු, එම පළාතේ තිබූ පැරණි වලව්වක් මුදලට ගෙන එහි පදිංචියට ගියේය. ඉන්පසු, මෙම “මන්ත්‍රී හාමු”තරුණියන්ට ගුරු පත්වීම් දුන් ආකාරය ගැන නොයෙක් කතා පැතිරුණි. ඔහුගේ මුහුණට “හාමු” යැයි කියූ බොහෝ දෙනා, ඔහු නැති තැන එය “වල්හාමු” ලෙස භාවිතා කළෝය. මෙම හාමු පසුකළෙක බෝම්බයකට හසුව මියගිය අතර, ගමේ සුසාන භූමියේ පැවති අවමඟුලට වල් බල්ලෙක්වත් සහභාගි නොවූයේ රේන්දරාළගේ කතාව සිහිපත් කරවමිනි.
මෙදාපාර, මනාප ක්‍රමය නැතිවීම ගැන, ඡන්ද අපේක්ෂකයන්ගේ පමණක් නොව ඡන්ද දායකයන්ගේද මනාපයක් නැතුවා සේ පෙනීම පුදුමයට කාරණයකි. මේ පිළිබඳව එකිනෙකාගේ අදහස් විමසා බැලූ විට, වැටහී ගියේ, ඡන්දය දෙන්නට කෙනෙකු තෝරාගත නොහැකි වීම ගැන ඔවුන් කනස්සල්ලෙන් පසුවන බවය. අපේ අසල්වැසි ප්‍රේරා මහතා මාර කතාකාරයෙකි. ඔහු පැවසුවේ මෙබඳු අදහසකි.
“පක්ෂයකට ඡන්දෙ දෙන්න පුළුවන් බව ඇත්ත. ඒත් මොකෙක් පත්වෙයිද අපි දන්නෙ නෑනෙ!” ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නැත. හැම පක්ෂයකම ලැයිස්තුවේ හාල්පාරැවෝ මෙන්ම පුත්තලම් බූරුවෝද, බත්තලංගුණ්ඩුවෝද ඇත. මෙවර පවතින්නේ පුංචි ඡන්දයක් වුවද සමහරු මෙය ජනාධිපතිවරණයක් කරගෙන ඇතැයි ප්‍රේරා පවසයි.
මිනිස්සු නොමඟ ගිහිල්ලා. සමහරු හිතන් ඉන්නේ මේ ඡන්දෙන් පස්සේ මහින්ද මහත්තයා ජනාධිපති කරන්න. තවත් කට්ටියක් රනිල් මහත්තයට ප්‍රමෝෂන් එකක් දෙන්ඩ බලනවා. ජනාධිපතිතුමාගේ සපෝටර්ස්ලා එයාව දිගටම සිංහාසනේ තියන්න හදනවා. අනුර සහෝදරයත්, ජනාධිපතිකම දුන්නොත් නොගෙන ඉන්න එකක් නෑ. ඒත් මගේ අදහස නං ඔය හැමෝම කැමති විපක්ෂනායක වෙන්න.”
“ඒ මොකෝ මිස්ට ප්‍රේරා?” මම මවිතයෙන් ඇසීමි.
කූල් ජොබ් එකනෙ. ඉඳහිට කතානායකට සද්දයක් දාලා හැමදේටම විරුද්දව අත උස්සලා දාන එකනෙ තියෙන්නෙ. රටට වැඩක් කරනවා කියලයැ? පින්පඩිකාරයෝ!
ආණ්ඩු පක්ෂෙ හිටියා කියලා මහවැඩක් කරන එකක්යැ? කතාපෙට්ටි විතරනෙ.
ඒ වුණාට වෙනසක් තියෙනවා. විපක්ෂෙ ඉද්දි මිනිස්සුන්ගෙන් බැණුම් අහනවා අඩුයි. ආණ්ඩු පක්ෂෙ ඉද්දි, ජනතාව හැමදාම ඒ ගොල්ලන්ගෙ මව්ගුණ සමරනවා.
ප්‍රේරාගේ බක බක හිනාව, අසභ්‍ය යැයි සිතුණෙන්, මම ඊට හවුල් නොවීමි. දේශපාලන යථාර්ථය ගැන ඉඳහිට ලියූවත් මා ශීලාචාර තීරු ලිපි රචකයෙකි!
►කපිල කුමාර කාලිංග