සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියන කතාව නම් මසුරන් වටිනවා.
ඡන්ද පොළට ගොස් එන අතරේ අප නිවසට ගොඩවැදුණු ප්‍රේරා මහතා පැවසුවේ, මුහුණ ඇඹුල් කරමිනි.
ඇයි මිස්ට ප්‍රේරා, මොකද්ද ප්‍රශ්නෙ?
එවිට ප්‍රේරා, කිහිල්ලේ ගසාගෙන සිටි දිනපතා පුවත්පතක් දිගහැර එහි මුල් පිටුවේම වූ ප්‍රවෘත්තියක් මට පෙන්වීය.
පුංචි ඡන්දෙට වියදම කෝටි හාරසීයයි!
ප්‍රේරා කට ඇදකර සිනාවක් පෑවේය.
ඔව් ඉතින්, එහෙම වියදම් නොකර සාමකාමී ඡන්දයක් පවත්වන්න බැහැනෙ.
මම සුපුරුදු පරිදි මධ්‍යස්ථ වීමි.
ඒක වෙනම කතාවක්. ඒ වුණාට ඔය ගණන් ප්‍රසිද්ධියේ කියන්ඩ යන එක අපිට හොඳ නෑ. අපි හැමදාම ගොන් මෝඩ වැඩ කරලා, ජාත්‍යන්තරේ ඉස්සරහ සවුත්තු වෙනවා.
ප්‍රේරා, තම මතය සනාථ කිරීමට උත්සාහ කළේය.
අපි ඡන්දෙකට වියදම් කළා කියල, ජාත්‍යන්තරේට තියෙන ප්‍රශ්නෙ මොකක්ද මිස්ට ප්‍රේරා?
පොඩි ඡන්දෙකටත් ඔහොම කෝටි ගණන් වියදම් කළා කිය කියා අඬබෙර ගහනකොට ලෝකයා හිතනවා අපි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් නෙවෙයි කියලා. ඕක ආරංචි වුණොත් ලෝක බැංකුවට අපිට දෙන ආධාර සියල්ලම කපලා දානවා.
ජාත්‍යන්තරේට කේලම්කාරයෝ නැතුව නෙවෙයිනෙ!
ගිය වියදම් හංගන්න බැහැනෙ මිස්ට ප්‍රේරා.
මොන පිස්සුද? ඔයිට වඩා ලොකු ගණන් හංගං ඉන්නෙ. මේකෙනුත් කීයක් හරි යටිමඩි ගහගෙන, නොකර සද්ද ඉන්නනෙ තිබුණෙ. මොකෝ, ජනතාව අහන්න යනවයැ ඡන්දෙන් කීයක් හම්බ කරගත්තද කියලා.
මම ප්‍රේරාගේ කතාවේ වූ උපහාසය විඳගෙන නිහඬවන්නට තීරණය කරද්දී, ඔහු යළිත් කතා කරන්නට විය.
කෝටි හාරසීය විතරක් නෙවෙයිනෙ. අපේක්ෂකයොයි, ඒ අයගෙ පක්ෂයි තව කෝටි කීයක් වියදම් කරනවද? ඒවත් ගණන් හදල බැලුවම, ලංකාව දියුණු කරන්න සල්ලි නැතෙයි කියන එක පට්ට බොරැවක් වෙනවා.
ඕකෙ තව පැත්තක් තියෙනවා මිස්ට ප්‍රේරා... කිසිම දෙයක් වෙන්නෙ නැති රටක, අවුරුද්දකට සැරයක්වත් ඡන්දයක් තියෙන එක හොඳයි. එතකොට ජාත්‍යන්තරය දැනගන්නවා අපි, දියුණු, ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජාතියක් කියලා.
ඒකෙත් පොඩි හරි ඇත්තක් තියෙනවා. පහුගිය දවස්වල ලෝකයා හිතන්න ඇති, අපි සංඥා භාෂාවෙන් අදහස් ප්‍රකාශ කරන ම්ලේච්ඡ ජාතියක් කියලා.
මම සිනාව මැඬ ගතිමි. (ප්‍රේරා මාර කතාකාරයෙක් බව මීට පෙරද මා ඔබට කියා ඇත.)
එහෙමත් නැත්නම්, ලෝකේ ඉන්න ඉතාම හැඟීම්බර, ආවේගශීලී, ජාතියක් කියලා.
ප්‍රේරා උපහාසාත්මක ලෙස කට ඇද කළේය.
බලමු බලමු මෙදා පාර බලාගත්තැකිනෙ අපි වැඩ කරන්නෙ, ඔළුවෙන්ද පපුවෙන්ද කියන කාරණාව. එවර, බැරූරැම් පෙනුමක් දැක්වූ ප්‍රේරා. මොහොතක් නිහඬව සිට පිටව ගියේය.
#############
ඡන්දය නිම වී ඇත. තැන් තැන්වලින් රතිඤ්ඤා දල්වන හඬ ඇසෙන්නේ සිංහල අවුරුදු කාලයේදී මෙනි. ප්‍රාදේශීය සභාවකට පත්වීම මේ තරම් උදම් ඇනිය යුතු දෙයක්ද? පාටි දැමිය යුතු ජයග්‍රහණයක්ද? පෙළපාලි යා යුතු දෙයක්ද? ප්‍රාදේශීය සභාවකට ගොස් ඉටු කළයුතු මෙහෙවර ගැන මේ මන්ත්‍රීවරුනට වගකීමක් දැනේද? ගමේ ප්‍රශ්න විසඳීම ගැන සැලැස්මක්, වැඩ පිළිවෙළක් තිබේද? වඩා වැදගත් වන්නේ නිශ්ශබ්දව වැඩ කිරීම නොවේද? ආසියාවේ බොහෝ රටවල් සමඟ සංසන්දනය කරන විට අප සිටින්නේ බිංදුවේය. රතිඤ්ඤා කරලට පවා මුදල් නාස්ති නොකළ යුතු මට්ටමේය.
මා මෙබඳු අනවශ්‍ය හා නිරර්ථක සිතිවිලි මාලාවක නිමග්නව සිටියදී, රූපවාහිනී නාලිකාවක් තුළ නිදි වැරු තරුණයෙක්, ටයිපටිය බුරැල් කරමින්, ඡන්ද ප්‍රතිඵල ගැන විවරණයක් කරන්නට විය. මා වහාම රෑපවාහිනිය වසා දැම්මේ, ලෙඩා මළාට පසු සැත්කම් කිරීමෙන් ඇති පලක් නැති නිසාය.
එදින රාත්‍රී කාලයේ, මම සක්මනක යෙදීමට පිටතට ගියෙමි. පූරැවේ පිනකට මෙන් ප්‍රාදේශීය සභාවකට පත්වූ නවක මන්ත්‍රී තරුණයෙකුගේ නිවස ඉදිරියෙන් ගමන් කරද්දී ඔහුගේ පියා උපදෙසක් දෙන හඬ මට ඇසුණි.
දැන් ඉතින් යාළුවො එක්ක රෑ දවල් නැතුව රෝන්දෙ ගැහුවා ඇති. හරි හමන් රස්සාවකුත් නැතුව හිටපු එකේ, මේ ලැබුණු චෑන්ස් එකෙන් පලක් ප්‍රයෝජනයක් ගන්ඩ බලපන්. ගිය හැටියෙම සභාපතිතුමාගෙ කකුල් අල්ලල වැඳල, බෝක්කුවක් පාලමක් හදන කොන්ත්‍රාත් එකක් ගන්ඩ බලපං. අර ඉස්සර කාලේ කවුදෝ මී කුණෙන් දියුණු වුණා වගේ, මේ මන්තිරිකමෙන් ගොඩවෙන්න බලපන්. මොකෝ, උඹ ආයෙ දෙසැරයක් දිනන එකක්යැ.
එම පිය සෙනෙහස ඇසූ මට හීන්දාඩිය දමන්නට විය. ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදවීමෙන් හටගත් ප්‍රෙෂර් ගතිය ද තවමත් දැනෙන නිසා මම එය එතරම් ගණනකට නොගෙන පියවර ඉක්මන් කළෙමි.
පරාජිත අපේක්ෂකයෙකුගේ නිවස පසුකර යද්දි, මට ඔහුගේ පියාද උස් හඬින් කතාකරනු ඇසුණි. ඔහුගේ හඬ තරමක් පැටළුණේ, ශෝකය නිවා ගැනීම සඳහා, කාල ක්‍රියා කළ බැවින් විය යුතුය.
මෙදා පාර පොල්පිති, හනසු කෑලිත් දිනපු එකේ, උඹට බැරිවුණේ පූරුවෙ වාසනාවක් නැති නිසා වෙන්ඩෝන. ඒ ගැන දැන් හිතලා වැඩක් නෑ. අනිත් අතට උඹ ගම හදනව තියා, ගම හරහා දුවලවත් දිනපු එකක්යැ! දැන් එව්වයින් වැඩක් නෑ. අර දිනපු එකා, විරුද්ධ පක්ෂෙ වුණත් උඹේ යාළුවනෙ. ඌට පින්සෙණ්ඩු වෙලා, උගෙ කොන්ත්‍රාත් එකකින් බාගයක් බා ගන්ඩ බලපන්. මටත් බැරිය කොන්ක්‍රීට් අනන්ඩ හරි එන්ඩ.
ඒ පිය සෙනෙහසින් මගේ හීන්දාඩිය වියැළී ගියේය.
මඳ දුරක් යද්දී, අඳුරේම වැනි වැනී යන මදාවි සෝමේ දුටුවත්, නුදුටුවා සේ මම මඟහැර ගියෙමි. ඔහු කාටදෝ බැණ වදිමින් යයි.
ගල් අරක්කුවල ගාණ අඩු කරපල්ලා කියල කොච්චර නම් කිව්වද? දැන් ඉතින් සනීපනේ! මේ රටේ ඉන්න වැඩි හරියක් දෙනා, කන බොන මිනිස්සු කියන එක මුන්ට තේරැණෙ නෑනේ! දැන් ඉතින් කාපියව් පරිප්පු! තුඃ නොදකින්!
බේබද්දන්ගෙන් පවා උගත හැකි දේශපාලන පාඩම් බොහෝය!
කපිල කුමාර කාලිංග