තමන්ගේම නිවසේ කොටසක සංචාරකයන්ට නවාතැන් දෙන හෝටල් සංකල්පය අපි හඳුන්වන්නේ ‘Home Stay’ නමිනුයි. මේ සංකල්පය අනුව යමින් මාවතගම ප්‍රදේශයේ තිබෙන අපූරු සංචාරක නැවතුම්පොළක් තමයි ආරොන් බංගලාව (Arron’s Bungalow) කියන්නෙ. මෙහි හිමිකරුවන් හෝටලයේ පදිංචිව නොසිටියත් ස්ථානය බලාගන්නා යුවළක් එහි නතර වී සිටිනවා. එනිසාම සාමාන්‍ය හෝටලයකදී ලැබිය නොහැකි උණුසුම් සත්කාරයක් මෙහිදී ලබන්න පුළුවන්.
මහනුවර කුරුණෑගල ප්‍රධාන පාරේ කිලෝමීටරයක් දුරින් මාවතගම, තම්පන ප්‍රදේශයේ පිහිටලා තියෙන මේ හෝටලය අවට විශාල සංචාරක ආකර්ෂණ ගණනාවක් පවතිනවා. කොහොම වුණත් බංගලාව කරා යන ගමන නම් ටිකක් දුෂ්කරයි. ඒ නිසා වෑන් රථයක් හෝ ෆෝවීල් පහසුකම් සහිත වාහනයක් තිබුණොත් වඩා හොඳයි. යාබද නාන කාමර සහිත නිදන කාමර 04ක්, විවෘත ආලින්ද සහිත මේ බංගලාවේ 20 දෙනෙකුට පමණ පහසුවෙන් නවාතැන් ගන්න පුළුවන්. ඒවායේ විදුලි පංකා වැනි මූලික පහසුකම් දකින්න පුළුවන්.
හෝටලයේ අක්කර 15ක් විශාල ඉඩමේ වැනිලා, කුරුඳු, සාදික්කා, දූරියන්, ගම්මිරිස් වගේ බෝග වර්ගත් රාශියක් දැකගන්න පුළුවන්. තම්පන වැව පිහිටලා තියෙන්නෙ බංගලාවේ සිට පයින් යන දුරකින්. ඒ අවට වනාන්තරයේ ඇවිදින්නත්, බයිසිකල් පැදයන්නත්, කුරුල්ලන් නරඹන්නත් පුළුවන්.
බංගලාවට එකතුකරන ලද අලුත්ම පහසුකම විදිහට පිහිනුම් තටාකය හැඳින්විය හැකියි. එය ඉදිකර තිබෙන්නේත් එහි සිට අවට ස්වභාව සෞන්දර්යය හොඳින් විඳගැනීමට හැකි වන ආකාරයටයි. මෙහි පිළියෙල කරන ආහාර ඉතාම නැවුම් තත්ත්වයක පවතිනවා. දේශීය ආරට පිළියෙල කරන බොහෝමයක් ආහාරපානවලට අවශ්‍ය එළවළු පළතුරු සපයා ගන්නේ බංගලාවේම ගෙවත්තෙන්.
අතීත රාජධානියක් වන කුරුණෑගල පිහිටා තිබෙන රිදී විහාරය වැනි ඓතිහාසික ස්ථාන වගේම පඬුවස්නුවර, යාපහුව, ඇතාගල වගේ තැ න් බොහෝමයකට මෙහි සිට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්.
♦ සනත් වීරසූරිය