2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

නොනිමෙන තරු

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 88

කාව්‍යය නමැති භාරදූර කාර්යයට අතගසන්නෝ එමටය. එහෙත්, එම කාර්යයේ දී බහුතරය කවිය විසින්ම පරාජය කරනු ලැබෙයි. මෙම යථාර්ථය අවබෝධ කරගෙන එහි නියැලෙන්නෝ කෙමෙන් කෙමෙන් රසික මනදොළ පුරති. තිලක් ඒකනායක එවන් කවියෙකැයි ඔහුගේ (නොනිමෙන තරු) නමැති පද්‍ය සංග්‍රහයෙහි අන්තර්ගත ඇතැම් පද්‍යයෝ දෙස් දෙති.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කරන්නේ පාසල් දරුවන්ට (ටැබ්) දීමටය. මෙය පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්දැයි යි වරෙක සිතේ. මන්ද, වන්නි ගම්දොර වෙසෙන දරැවන්ට එයට වඩා බරපතළ ප්‍රශ්න ප්‍රශ්න තිබේ. ගුරුසිත හඬන්නේ එබැවිනි. අප කවියා, “නොදරුවෝ” නමැති පද්‍ය නිර්මාණයෙන් රසික හද ප්‍රකම්පනය කරන්නේ යථාර්ථය සිත අබියස රූපණය කරමින්ය.

“බලාගන්නට පොඩි එවුන් ඇති
බත් උයන්නට අම්ම ගෙහි නැති
පොඩි එවුන් මහ එවුන් වූ පසු
අකල් මල් ඵල ගැනුණ ගස් යට
බියක් මුසු සෝකයක් මට ඇත...

ඉරැණු බෑගය තුළින් ගිලිහෙන
අකුරැ කවදා එකතු කරමුද?
අරැණ සැඟවුණ ලොවක දුක දැක
කෙලෙස ලියමි ද කළුලෑල්ලක දුක?”

ඈත ගම්වල වෙසෙන දරුවන්ගේ දෙමාපියෝ නැත. ඔවුන් කිනම් හෝ ව්‍යසනයකට ලක්ව දරුවන් හැර ගොසිනි. වගකීම හා වගවීම යන සමාජ අවබෝධය ඔවුන්ට නැත. එනිසාම දාරක ජීවිතය සොවින් බරව ඇත. ඒ සොව මකාලන්නෝ අත්තම්මලාය. එහෙත්, ඔවුන්ට නිසි තැන නැත. අම්මලාගේ ගුණ ගැයුම් සහිත පැදි කියවන කල දරුවන්ට දුක දැනෙන්නේ, තමන්ට සෙනෙහස පුදන අත්තම්මලා පටුනෙන් ගිලිහී ගොස් ඇති බැවිනි. පිටිසර ගම්හි පවත්නා මෙම සමාජ ප්‍රශ්නය ව්‍යංග්‍යාර්ථවත් කරමින් තිලක් ඒකනායක “දයාබර අත්තම්මලා” රචනා කරයි.

“දන්නා කාලෙම අම්මා අප්පා
අත්තම්මා අත්තප්ප වෙලා
ගත දිරි නැති මුත් හිත දිරි අරගෙන
පුළුවන් සේ උස් මහත් කළා
දෙගුරුන් හමුවට එන්නට කීවම
රැස්වීමේ පිටුපසට වෙලා
දෙගුරුන් නැති මට දෙවියන් මිහිපිට
සෙනෙහස දේවාලයක් කළා”

ඒකනායක විසින් රචිත ඇතැම් පද්‍යයකින් මතුවන්නේ සෝපහාසය වුවද, එහි වැසි අරැත ඊට වෙනස්ය. “ඡන්ද අපේක්ෂකයාගේ බිඳුණු සිහිනය” එවන් රචනයකි. පරාජිත ඡන්ද අපේක්ෂකයකුගේ පශ්චාත්තාපය හාස්‍ය රසයෙන් යුක්තව එමගින් රූපණය වන නමුත් කවියා පරාමර්ශනය කරන්නේ වර්තමාන දේශපාලන කතිකාවයි.

“කඩා බිඳ දා තනි මහල් ගෙය
සත් මහල් නංවනා සිහිනය
අහෝ බොඳවිය සුසුම් අහුරක
අඩු වුණේ ඇයි මට මනාපය

අද ඇවිත් මම හෙට පුතුට දෙමි
අපට උරුමැති අපේ ඉණිමග
සිතූ සිහිනෙට නපුරු ඉරණම
කළේ ඇයි මේ රුදුරු හානිය”

ඒකනායක කවියා, ස්වකීය නිර්මාණවලදී නිරන්තරයෙන්ම උපයෝගී කරගන්නේ සරල සුගම වදන් සමූහයකි. ඇතැම් නිර්මාණකරුවන් හා ශාස්ත්‍රීය ලේඛකයන් මෙන් තමාට ද නොවැටහෙන අපරිණත දාර්ශනික දුබලතා හෝ පරිකල්පනීය මන්දපෝෂණය බස මගින් වසාගැනීමට යත්න දරන්නේ නැත. අව්‍යක්ත ලෙස වදන් ඔබ මොබ විසිකරමින් එය ඊනියා නව ශෛලියක් යැ යි පාරම්බාන්නේ නැත. ඒ වෙනුවට ඖචිත්‍ය ගුණයෙන් අනූනව නිරායාසයෙන් ගලා එන වදන් හෙතෙම සුන්දර ලෙස භාවිත කරමින් පද්‍ය සුමිහිරි කරයි. දේශයේ අසිරිය, වෙසෙසින්ම තම පෙදෙසෙහි අසිරිය කියාපාන “මේ බිමේ මහිමය” නම් පැදිපෙළෙහි එන පහත සඳහන් පද්‍ය එයට එක් නිදසුනකි.

“හිරු ඇවිත් උදේ හනිකට
ගිනි තියා වියළි පොළවට
ගිය පසුත් පිපෙයි වැව්වල
පස් පියුම් කෙළක්

අලි ඇතුන් නිතර ගැවසෙන
බලිතොවිල් පිරුණ මේ බිම
දුක ඇතත් සතුට වෑහෙන
සංහිඳක් වගෙයි”

එසේම, අප කවියාට බෙහෙවින්ම විෂයය වූ ප්‍රත්‍යන්ත ජනපදවාසී දරැවන්ගේ ජීවන සංතාපය ප්‍රතීයමාන කරන (පිටිසර ළමයි) නමැති පද්‍ය රචනයෙන් ද කිවිබසෙහි වෙසෙස් බව මැනවින් මතු වේ.

“අලුත් දලු අරන් අතු අග
සිනාසෙන කෝන් ගහ ළඟ
දහසකුත් එකක් දුක් ඇති
ළමෝ හිනැහෙති

රොද තියා දුඹුරු කොණ්ඩෙට
දුක තියා වැටෙන් එපිටක
හව්හරණ නොමැති හිත් ඇති
ළමෝ මෙහි වෙති”

තිලක් ඒකනායක සතු මෙම කිවියාව නූතන කවියෙහි සුබ ලකුණක් සේ මම දකිමි. වත්මන් සමාජයෙහි පෙනුණත් නොදකින ජීවන යථාර්ථය ඔහු රූපණය කරන්නේ පාඨක සිත කම්පනය කරමින්ය. එමගින්, හෙතෙම රසික ඤාණ මණ්ඩලය ද සියුම් ලෙස ස්පර්ශ කිරීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීයය. (නොනිමෙන තරු) අප කැඳවාගෙන යන්නේ, චන්ද්‍රාලෝකයට හා සූර්යාලෝකයට මැදිව නිලීනව පවත්නා එවන් ජීවන හා සමාජ ඉසව්වක් වෙතය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සේනාරත්න කාරියවසම්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය