සුදුවැලි ඇතිරූ මිදුල පුරා සිමියොන් සීයාගේ සැරයටියේ සලකුණු සටහන්ව තිබේ. සුදුවැල්ල නිසාදෝ ඒ ප්‍රදේශයම (සුදුවැල්ල) ලෙසින් හැඳින්විණි. මදුරාවලගේ දොන් සිමියොන් අප්පුහාමි අද අවුරුදු එකසිය පහක් වයසැති සීයා කෙනෙකි. නමුත් අදද ඔහුට හොඳ හැටි අතීතය මතකය. නිරෝගීව ජීවත්වෙන සිමියොන් සීයාට අදද කටට රසට කෑම පවා ඉවීමට පුළුවන. සුදුම සුදු පාට හිසකෙස් එකමිටට ගෙන බැඳ හරි අපූරුවට සිනාසෙන සිමියොන් සීයාගේ සැරයටිය ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට විනා ඇවිදයාමට අත්වාරුවක් ලෙස නොවේ. සැරයටිය නොමැතිව වුවද ඔහුට ඇවිද යා හැක.
1913 වසරේ අප්‍රේල් මස දොළොස් වැනිදා උපන් සිමියොන් සීයාගේ පැරැණි හැඳුනුම්පත අදටත් ඔහු සතුය.
“මම උපන්නේ මෙහේ නම් නෙවේ. මාදම්පේ ඉරට්ටකුලම කියන ගමේ. මගේ පවුලේ ඔක්කොම නවදෙනයි. අම්මයි තාත්තයි සහෝදරයෝ හයදෙනයි. කවුරුත් දැන් ජීවතුන් අතරේ නෑ. මම විතරයි දැන් ජීවත්වෙලා ඉන්නේ... මොනවා කරන්නද.. නේද? එක එක්කෙනා කාලෙන් කාලෙට නැතිවෙලා ගියා..”
සිමියොන් සීයා අදද මව්පියන්ගේ සහෝදරයන්ගේ වියෝව ගැන දුක් වෙයි. සීයාගේ මව්පියෝ ගොවියෝය. කුඹුරු මෙන්ම ගොඩ ගොවිතැන් ද ඔවුහු සරුසාරයට කළහ.
“අපේ තාත්තා කළේ ගොවිතැන්. ඉතින් අපිත් තාත්තා එක්ක ගොවිතැන් කළා. ඒ කාලේ මේ අද වගේ යකඩ ගොඩවල් තිබුණේ නෑ. අපිම තමයි හැම වැඩක්ම කළේ. අව්වේ ඉඳගෙන ගොවිතැන් කරපු කාලය කොහොම අමතක කරන්නද? වැහි කාලයට ඇති පදමට තෙමුණා. තාත්තයි දරුවෝ හත්දෙනයි එක පොකුරට උදව් කළා. ඉතින් ඒක හරියට යකඩ ගොඩක් වගේ තමයි...”
සිමියොන් සීයාට ඒ අතීතය තවමත් මතකය. ඔහු ඒ අතීතය මතකයට නංවන්නේ සිනාවක් සමඟය. ඒ සිනහව හරි අපූරුය.
“මම මාදම්පේ සෙබස්තියන් විද්‍යාලයෙන් තමයි ඉගෙන ගත්තේ. 1917 අවුරුද්දේ තමයි ඉස්කෝලෙට මුලින්ම ගියේ. පුංචි කාලේ ඉඳන් මම ඉගෙන ගන්න හරිම හපනා. පන්තියෙන්ම පළවෙනියා... කොට කලිසම ඇඳගෙන පොත් ටිකත් අතට අරගෙන ඉස්කෝලෙට අපි දුවගෙන යනවා. සමහර දවස්වලට ඔය කොල්ලෝ කුරුට්ටෝ පොදියට ගහගන්නවා... කොල්ලොනේ... සුදු ඇඳුම පුරාම දූවිලි.. අනේ එහෙම කාලයක්..”
පන්තියෙන්ම පළවෙනියා වෙච්ච සිමියොන් සීයා පහ පන්තියේදීම පාසල් ගමනට ආයුබෝවන් කීවේය. අධ්‍යාපනයට වඩා සිමියොන් සීයා ගොවිතැනට ආස කළේය. අද තරම් අධ්‍යාපනයට මුල්තැනක් නොතිබූ ඒ කාලයේ සිමියොන් සීයාගේ මව්පියන්ටද තම දරුවාගේ අධ්‍යාපනය පිළිබඳව වුවමනාවක් නොතිබිණි. සැබැවින්ම වුවමනාවටත් වඩා අධ්‍යාපනය පිළිබඳව සිමියොන් සීයාගේ මව්පියන්ට හරිහැටි අවබෝධයක් නොතිබීමය.
“මගේ හිත තිබ්බේ ගොවිතැන්වලටයි. ගෙදරින් කවුරුවත් ඉස්කෝලෙ යන්න එපා කිව්වෙත් නෑ.. යන්න කිව්වෙත් නෑ. මට හිතුණා.. මම නැවතුණා. ඉස්සර පොඩි කොල්ලන් සෙල්ලම් කරන්න දාලා ඒ අයව බලාගන්නෙ මම. හැබැයි උන් එක්ක මම සෙල්ලම් කරන්න ගියේ නෑ. ඉස්කෝලෙ ගුරුවරුන්ට වඩා සමහර වෙලාවට මම සැරයි. සමහරදාට ඉස්කෝලෙ පොඩි කොල්ලො කුරැට්ටන්ව මම මට්ටු කරලත් තියෙනවා..”
අදද සිමියොන් සීයා පාසල් කාලය මතකයට නංවන්නේ හරි අපූරුවට සිනාසෙමිනි. සිමියොන් සීයා ඉතා ඉක්මනින් තම පියාගේ ගොවිතැන ඉගෙන ගත්තේය. අද මෙන් ගොවිතැනට යන්ත්‍ර සූත්‍ර එදා නොතිබුණි. ඒ හැමදෙයක්ම සිමියොන් සීයා කළේ තම දෑතේ මහන්සියෙනි. රෑ එළිවෙනතුරු ඔවුහු කුඹුරේ කොළ පෑගුවෝය. මහ දහවලේ හරක් දක්කමින් කුඹුරු කළෝය.
“ඒ කාලේ අද වගේ නෙමෙයි.. බඩු මුට්ටුවල ගණන් හුඟාක් අඩුයි. හැබැයි ඉතින් වැඩේ කියන්නෙ ඒ ගාණටත් බඩු ගන්න විදිහක් සමහරුන්ට නැහැ. මට මතකයි ඒ කාලේ සම්බා සේරුවක මිල සත දහයයි. ඉතින් අපි එකපාරටම හාල් මිටියක් රුපියල් හයක් දීලා අරගෙන යනවා. ඒක අවුරුද්දකට හොඳටෝම ඇති. ඉතිරි හාල් ටික අපිට අපේ කුඹුරෙන් ලැබෙනවනෙ. ඉතින්.. ඇති පදමට තුන්වේලටම බත් තමයි.. එළවළු ටිකත් වත්තේම වගා කරගන්නවා. ඒකට ඔය ගොම ටිකක්, ගහකොළවලින් වැටෙන කොළ ටිකක් එකතු කළාම ඇති. අද වගේ ඒ කාලේ ලෙඩරෝග නැහැ. දෙයියන්ගේ පිහිටෙන් ඒ කාලේ ඉහෙන් බහින රෝගයක් නෑ... ඒ කාලේ අපිව හයිය කළේ ගමේ බතයි කුරක්කන් ටිකයි තමයි..”
සිමියොන් සීයා එකදිගට තම අතීතය ආවර්ජනය කළේය. අද ඔහුගේ තනි නොතනියට කෙනෙක් සිටී. ඔහු විසින් සාදා දුන් කෝපි කෝප්පයේ උගුරකින් සිමියොන් සීයා උගුර තෙත් කරගන්නේය.
“ඉස්සර වගේ රස්නෙන් බොන්න බෑ. මේක ටිකක් රස්නෙයි. තව ටිකකින් බොන්නම්..”
සීයා කෝපි කෝප්පය අසල කණ්ඩියක තැබුවේය.
“අද නම්.. මේ ළඟටත් යන්න මිනිස්සුන්ට වාහන ඕනේ.. මහ පාරට ගියාම ගෙදර එන්නේ කොයිවෙලේද කියලයි මම නම් දැන් හිතන්නෙ. නලා සද්දෙයි දූවිල්ලයි එක ගොඩයි. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ අපි ගියේ පයින්. ඒ කාලේ මොන බස්ද..? අපි දුර ගමන් ගියේ කරත්තවලින්. 1947 දී විතර තමයි විජය බස් කියන බස් සේවය ලංකාවට දැම්මේ. බස් හතළිස් දෙකක් ඒ කාලේ ගෙනාවා. එතකම් අපි එහා මෙහා ගියේ කරත්තවලින්. ඒ කාලේ අස්ස කරත්තත් තිබුණා. ඒ අස්ස කරත්ත තිබුණෙත් කොළඹ ඉඳන් මීගමුවට. මීගමුවේ ඉඳන් හලාවතට... එතන ඉඳන් පුත්තලමට විතරයි. ඒ කාලේ එකදිගට හැතැප්ම තිහ හතළිහ මම පයින් ගිහින් තියෙනවා. අද වගේ ඒ කාලේ සෙරෙප්පු තිබුණේ නෑ. මේ මහ පොළොවේ ගිනි රස්නෙට අපේ කකුල් හොඳට පුරුදුයි...”
අවුරුදු තිස් එකක් ගෙවෙද්දී සිමියොන් සීයාට සුදුසු සහකාරියක් මාපියෝ සොයා දුන්හ.
“එක්දාස් නවසිය හතළිස් හතරේ ඔක්තෝබර් මාසේ හතර වැනිදා තමයි මම කරකාර බැන්දේ. අද වගේ ඒ කාලේ යාළුවෙලා කසාද බඳින්නේ හරිම අඩුවෙන්. මව්පියෝ තමයි සුදුසු කාලයේ දී හොඳ කෙනෙක් හොයලා කසාද බන්ඳවන්නේ. එයා තමයි කුරුප්පු ආරච්චිගේ වික්ටෝරියා. අපි කසාද බැඳලා ටික කාලයක් හලාවත පදිංචි වෙලා හිටියා. ඒක ටිකක් ලොකු ගෙයක්. ඒ කාලේ ගොවිතැන් සරුසාර නිසාම ලොකුවට ආර්ථික අමාරුකම් තිබුණේ නැහැ. ටික කාලයක් හලාවත පදිංචි වෙලා ඉඳල අපි මෙහාට පදිංචියට ආවා...”
සිමියොන්ටත් වික්ටෝරියාටත් කුළුඳුලේම උපන් දියණිය උපන් ගෙයිම ඔවුන් හැර ගියාය. එකල අද මෙන් වෛද්‍ය විද්‍යාවද දියුණු නොවීය. දරු සුරතල් බැලීමට පෙරුම් පිරූ සිමියොන් සීයාගේ බලාපොරොත්තු පුංචි දියණියගේ වියෝවත් සමඟ සුනුවිසුණු විය. නමුත් නැවතත් වික්ටෝරියා ගැබ් ගත්තාය. ඇය මාස නවයකින් පුංචි දියණියකගේ මවක වූවාය. සිමියොන් සීයා පිය පදවිය දෝතින්ම බාරගත්තේය. ඒ මදුරාවලගේ දොන් මේරි මැටිල්ඩාය. සැබැවින්ම පුංචි මේරිට සිමියොන් ආදරණීය පියෙක් වූවේය. ගොවිතැනින් සරුසාර වූ සිමියොන්ගේත් වික්ටෝරියාගේත් ජීවිතවලට ආලෝකය ගෙන ආ මේරි හැඩකාර දියණියක වූවාය. නමුත් මීට වසර කිහිපයකට පෙරදී වික්ටෝරියා සිමියොන්ගේත් මේරිගේත් ලෝකයෙන් සමුගත්තාය.
“දුවගේ අම්මා නැතිවුණාට පස්සෙ මගේ දුවත් මට නැතිවුණා. එයා නැතිවුණේ මොන හේතුවක් නිසාද, මම දන්නෙ නැහැ. බෙහෙත් කළා. ඒත්.. හරි ගියේ නෑ. අන්තිමට මට ඉතිරි වුණේ එකම එක මුණුපුරෙක් විතරයි..”
සිමියොන් සීයාගේ ලෝකයේ අද සිටින එකම නෑදෑයා මුණුපුරුය. වයස අවුරුදු හැට ගෙවෙද්දී තම මවගේ වියෝවත් සමඟ මුණුපුරාට ඉතිරි වූ එකම නෑදෑයා ද සිමියොන් සීයාය. මුණුපුරා වන ක්‍රිස්ටි ජයමාන්න අද ජීවත් වන්නේ අමෙරිකාවේය. දුර බැහැර රටක ජීවත් වුවද ක්‍රිස්ටි සිමියොන් සීයාට දැඩි සේ ආදරය කරයි. අද සිමියොන් සීයාගේ සෑම කටයුත්තක්ම සොයා බලන්නේ ක්‍රිස්ටිය. ඒ වෙනුවෙන් වරින් වර ක්‍රිස්ටි ලංකාවට ද එයි. තම මුණුපුරා ලංකාවට පැමිණි කාලයේ දී සිමියොන් සීයාට රජ මඟුල්ය. තම අතින් ක්‍රිස්ටිට කෑම උයාදීමට සිමියොන් වරද්දන්නේ නැත.
“ක්‍රිස්ටි දැන් මාස හයකට කලින් ලංකාවට ආවා. පුතා තමයි මට ඉන්න නෑයා. මේ ළඟ කඩයකින් මට ඕන දෙයක් ගන්න කියලා තමයි පුතා කියලා තියෙන්නෙ. මාසයකට සැරයක් පුතා ඒ මුදල කඩේට එවනවා. අන්තිම වතාවට ආපු වෙලාවේ පුතා මගේ තනියට පිරිමි කෙනෙක් ගෙනත් නැවැත්වුවා. දැන් මට තනියක් නෑ. ඒ මනුස්සයා තමයි මට උයලා පිහලා දෙන්නේ. උදව් කරන්නේ. ඒ හැම වියදමක්ම කරන්නේ ක්‍රිස්ටි... එයා ඉන්නේ අමෙරිකාවේ. මට හරි ආසයි මැරෙන්න කලින් අමෙරිකාවට ගිහින් එන්න. මැරෙන්න කලින් රටතොට පොඩ්ඩක් බලාගන්න ආසයි..”
ඒ සිමියොන් සීයාගේ සිහිනයයි. සීයාට දෙවැනි ලෝක යුද්ධ සමය ද තවමත් මතකය.
අහස් යාත්‍රා උඩින් ගිහින් අහස් යාත්‍රා දෙකක් එකට හැප්පිලා එකක් මාදම්පේ වැටුණා. අනිත් එක මහවැවේ වැටුණා. අපි බයවෙලා බලාගෙන හිටියා. හැමදෙයක්ම කුඩේ කුඩු. එතකොට මම හිටියෙ හලාවත...”
ඒ අතීතය මතකයට නංවද්දී අදටත් සිමියොන් සීයාට හොඳින් දින වකවානු පවා මතකය.
සිමියොන් සීයාගේ අද දිනචර්යාව හරි අපූරුය. ඔහුට උදෑසන අවදිවන්නට නිශ්චිත වේලාවක් නැත. නැඟිටි විගසම ඇඳ අසල ඇති සැරයටියෙන් පොළවට තට්ටුවක් දමයි. එය අවදිවීමේ සංඥාවයි. අද සිමියොන් සීයාට උදෑසන කෝපි කෝප්පයක් පිළියෙළ කරදීම තනි නොතනියට ඉන්න සේවකයාගේ සිරිතකි. බොහෝවිට සිමියොන් සීයා උදෑසන පහට අවදි වේ. එය දැන් ඔහුට හොඳට හුරුපුරුදුය. උදෑසන ආහාරය පිළියෙළ වනතුරු මුහුණ කට සෝදාගන්නා සිමියොන් සීයා වත්ත පිටියේ ටිකක් ඇවිදීමට ප්‍රිය කරයි.
“මට එහෙම දැන් කන්න ආසා කියලා දෙයක් නෑ. බත් කන්නෙ බොහොම ටිකයි. මොන දේකටවත් මගේ එහෙම ලොකු කැමැත්තක් නෑ. හදලා දෙන ඕන දෙයක් කනවා. ඉස්සර මම ඕනදෙයක් කාපු මනුස්සයෙක්. ඉස්සර අල බතල, දඩමස්, ඔය ඕනදෙයක් හිතේ හැටියට කෑවා. ඒ හැමදෙයක්ම කාලා තියෙන නිසා ආයේ ආස කරන විශේෂ දෙයක් නෑ. දඩමස් දැන් හොයාගෙන ගිහින් කන්නෙ නෑ.. තරුණ කාලේ මම සත්තු හොයාගෙන ගිහින් වෙඩි තියනවා...”
එකල සිමියොන් හොඳ පළපුරුදු දඩයක්කරුවෙකි. ඔහුගේ ඉලක්කයෙන් බේරීගිය සතුන් හරි අඩුය. කැලෑබද සතුන් දඩයමේ යද්දී පෙරමුණ ගත් ඉලන්දාරියා වූයේ සිමියොන් සීයාය. ඕනෑම සතෙකු වේගෙන් දිවයද්දී ඉලක්කය ගෙන වෙඩිතැබීමේ හැකියාවක් සිමියොන් සීයා සතු විය.
“ඒ කාලේ අපිට ඕනෑතරම් තුවක්කු තිබුණා. ඒ කාලේ පතුරම් විසිපහක පෙට්ටියක් රැපියල් දෙකයි සත පනහයි. ඉතින් අපි දඩයමේ යද්දී පෙට්ටියක්ම අරගෙන කැලේ ඇතුළට යනවා. නයා, පොළඟා දැක්කත් උන්ටත් වෙඩි තියනවා. ආයෙ යන්න දෙන්නෙම නෑ. උනුත් නපුරු සත්තුනෙ.. රෑට දඩයමේ යද්දී හුළුඅතු අරගෙන තමයි යන්නෙ.. දැන් තමයි තේරෙන්නෙ එහෙම දඩයමේ ගියපු එක මොනතරම් වැරදිද කියලා. පව් අහිංසක සත්තුනේ...”
අද සිමියොන් සීයා ඒ කාලය ගැන දුක් වේ. ගෙවත්තේ ඇති විශාල නෙල්ලි ගසේ සතුන්ට කෑමට පොඩි පිඟානක් සවිකර ඇත. සිමියොන් සීයාගේ ඇස් ඒ පිඟානෙන් බත් කන කුඩා ලේන් පැටව් දෙදෙනා වෙත දිවිණි. අද සිමියොන් සීයා සතුන්ගේ හොඳ මිතුරෙකි.
“දෙවියන් වහන්සේගේ දේව වරමින් මම තාමත් ජීවත්වෙලා ඉන්නවා. මම දැන් පව් කරන්න බයයි. ස්වර්ග රාජ්‍යය හීනයෙන් දුටුව මිනිහෙක් මම. ඒ තරම් වාසනාවන්ත විදිහට මම ජීවත් වෙනවා. මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නෙ නැහැ. මා ගාව තියෙන දෙයක් කාටවත් දෙන්න බැහැ කියන්නෙ නැහැ. මට අද බඩගින්නක් කියන දෙයක් තේරෙන්නෙ නැහැ. කන වෙලාවට මොනවහරි පොඩ්ඩක් කනවා. එච්චරයි... මේ හැමදෙයක්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මට ලැබුණු දේවල්...”
සිමියොන් සීයා කතෝලික බැතිමතෙකි. නමුත් සීයාට බුදුදහම පිළිබඳව ද ඇත්තේ අපූරු දැනුමකි. කුඩා කාලයේ දී සිමියොන් සීයා ගමේ පන්සලේද ටික කාලයක් ජීවත් වූවේය. සිමියොන් සීයාට රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය හොඳට කඩපාඩම්ය. අදද සවස් යාමේ හාන්සි පුටුවේ දිගාවී අතීතයේ අපූරු සිදුවීම් මතකයට නංවාගැනීමට කැමතිය. රූපවාහිනිය නැරඹීමට එතරම් කැමැත්තක් නොදක්වන සිමියොන් සීයා රාත්‍රී කාලයේ දී ටික වෙලාවක් හාන්සි පුටුවේ දිගාවී අහස දිහා බලාගෙන සිටීමට කැමැත්තක් දක්වයි. තම ආදරණීය මුණුපුරා වන ක්‍රිස්ටි ජයමාන්න ගැන සිමියොන් සීයාට ඇත්තේ අපූරු ළෙංගතුකමකි. මව්පියන් පිළිබඳවත් සොයා නොබලන සමාජයක තම එකම සීයා වෙනුවෙන් ක්‍රිස්ටි සිදුකරන කැපකිරීම සැබැවින්ම අගය කළ යුතුමය.
සිමියොන් සීයාට එක් අධිෂ්ඨානයක් ඇත. ඒ වසර එකසිය විස්සක් කාටවත්ම කරදරයක් නැතිව නිරෝගිමත්ව ජීවත් වීමය. අද වෙද්දී සැනසිලිදායක ජීවිතයක් ගත කරන සිමියොන් සීයා අපි සමුගෙන එද්දී “ජේසු පිහිටයි... පරිස්සමින් යන්න... වාහන හයියෙන් එලවන්න එපා...” යැයි පැවසුවේය. වසර එකසිය පහක් ගෙවන සිමියොන් සීයාගේ කලබල නොවූ ඒ ජීවිතය අපිට බොහෝ දේ පසක් කළේය.
විශේෂ ස්තූතිය
ඩබ්ලිව්. සජානි උදේශිකා
සුදුවැල්ල - මාදම්පේ සංවර්ධන නිලධාරිනී
දිලිනි නිපුනිකා පෙරේරා
සුදුවැල්ල - ග්‍රාමසේවක නිලධාරිනී
♦ දිශානි ජයමාලි කරැණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ