අක්මාව මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්රිය මෙන්ම විශාලතම ග්රන්ථියද වේ. ශරීරයේ ඇති රසායනාගාරය ලෙසද මෙය හැඳින්විය හැකිය. ශරීරයේ ඉතා විශාල කාර්යභාරයක් අක්මාව මඟින් සිදු කරනු ලබයි.
මෙසේ ශරීරයට අවශ්‍ය වැදගත් සේවාවන් රැසක් සිදුකරන අක්මාව ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් වර්තමානය වනවිට බහුලය. සුලභවම දක්නට ලැබෙන රෝග තත්ත්වයන් වනුයේ අක්මාවේ තෙල් තැන්පත් වීමයි. සාමාන්‍යයෙන් අක්මාවේ යම් ප්‍රතිශතයක් මේදය තැන්පත්ව තිබීම ස්වභාවිකයි. නමුත් ඒ ප්‍රමාණය ඉක්මවා තෙල් තැන්පත් වීමෙන් අක්මා සෛලවලට හානි වීම හා අක්මාවේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කළ හැකියි.
මෙයට ප්‍රධාන හේතුව වන්නේ මත්පැන් භාවිතයයි. නමුත් මත්පැන් භාවිතා නොකරන පුද්ගලයින් අතරද අක්මාවේ මේද තැන්පත් වීම සුලභ බවට පත්වෙමින් පවතී. මෙසේ වීමට තවත් ප්‍රධාන හේතුන් ලෙස
• අධික ස්ථුලතාවය
• කෙටි කලක් තුළ ශරීරයේ බර අඩුවීම
• දියවැඩියා රෝගයෙන් පෙළීම
• මන්දපෝෂණය
• රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම
• වයස්ගත වීම
දැක්විය හැක. එමෙන්ම තෙල් සහිත ආහාර අධික ලෙස පාරිභෝජනය කර නිසි පරිදි ව්‍යායාම්වල නොයෙදීමෙන් අක්මාවේ මේදය අධික ලෙස තැන්පත්වීමේ අවදානමක් ඇත. අක්මාවේ මේදය තැන්පත් වීමේදී බොහෝ රෝගීන් තුළ විශේෂ රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. කලාතුරකින් අධික තෙහෙට්ටුව, බඩ පුරවා දැමීම, උදරයේ දකුණු පැත්තේ අක්මාව ආශ්‍රිතව වේදනාව ඇතිවීම ඇතිවිය හැක.
අක්මාවේ තෙල් තැන්පත් වීමේදී මුල් අවස්ථාවේදී අක්මාවට කිසියම් බලපෑමක් නොවන අතර, තවදුරටත් මේද තැන්පත් වීමෙන්, අක්මා සෛල ආසාදනයට ලක්විය හැකිය.
මේ තත්ත්වයට නිසි ප්‍රතිකාරයක් නොකර සිටීමෙන් රෝගී තත්ත්වය දරුණු විය හැක. එසේම අක්මාවේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. රුධිර පරීක්ෂණයක් මගින් එය තහවුරු කරගත හැකිය. රැධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ, CT, MRI පරීක්ෂණ මගින් හා Liver Biopsy මඟින් කොපමණ දුරට අක්මා සෛල ක්‍රියාකාරීත්වය වෙනස් වී ඇත්දැයි පරීක්ෂා කරගත හැක.
ඔබ දැනටමත් එවැනි රෝග තත්ත්වයට මුහුණ දී ඇත්නම් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි නියමිත ප්‍රතිකාර හා යහපත් පුරුදු ඇති කර ගැනීම මගින් භයානක රෝගවලට පත්වීමට ඇති ඉඩකඩ අවම කරගත හැකිය.
ඒ සඳහා,
• මත්පැන් පානය කරන අයකු නම් මත්පැන් භාවිතය නතර කළ යුතුය.
• අධික ස්ථුලතාවයෙන් පෙළෙයි නම් නියමිත පරිදි බර අඩුකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි.
• වෙනත් රෝග තත්ත්වවලින් පෙළෙන්නේ නම් (උදාහරණ - දියවැඩියාව) නිසි ප්‍රතිකාර මගින් පාලනය කරගත යුතුවේ.
• එළවළු, පළතුරු, කෙඳි සහිත ආහාර අනුභවය (විශේෂයෙන් සංතෘප්ත මේද සහිත) අඩු කිරීම.
• සම්පූර්ණ මේද සහිත කිරි, බිත්තර කහමදය, සීනි භාවිතය අඩු කිරීම.
අක්මාවේ ඇති මේදය අඩුකිරීමට අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ව්‍යායාම කළ යුතුවේ. එබැවින් අවම වශයෙන් සතියකට දින තුනක් හෝ දිනකට පැය භාගයක් ලෙස ව්‍යායාම්වල යෙදීම අවශ්‍ය වේ.
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ අක්මාවේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට විශේෂිත ඖෂධ වර්ග හා කැඳ වර්ග දක්වා තිබේ. නමුත් ඒ සියල්ලම ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතය. ජීවන රටාවේ පුරුදු වෙනස් කර ගැනීමෙන් මෙම රෝග වළක්වා ගත හැක.