මගේ මිතුරියක් වන ඩීමා ආරම්භ කරන ලද අපූරු තැනකට පහුගියදා මම ගොඩවුණා. ගහට කොළට කතා කරන පුරුද්දක් තියෙන ඩීමා කොළඹ නගරය මැද පටන් අරගත්තු ඇගේ අපූරු කන්ටේනර් ගෙවත්ත තමයි SAND. කොළඹ හත රොස්මීඩ් පෙදෙසේ පිහිටලා තියෙන SAND කියන්නේ ඇත්තටම විවිධ ශාක, මල් වර්ගවලින් පිරුණු කන්ටේනර් පෙට්ටියක්.
හිරු එළියත් හොඳින් ලැබෙන විදිහට නිර්මාණය කරලා තියෙන මෙතැන ඕකිඩ්, ඇන්තූරියම් වගේ විවිධ මල් වර්ගත්, පතොක් වර්ග වගේ විවිධ විසිතුරු පැළෑටිත් තිබෙනවා. ඒ විතරක් නෙමේ, විවිධ මල් වර්ගවල ශාක වර්ගවල සාරයෙන් ගෙදරදීම හදපු සබන් වර්ගත් මෙතැන අලෙවියට තබා තිබෙනවා. විවිධ සුවඳ වර්ගවලින් යුත් ඉටිපන්දම් එකතුවත් මෙතැනට එන ගොඩක් දෙනෙක් ආකර්ෂණය වෙන දෙයක්.
මෙතැනට එන අයට මල් සහ ශාක වර්ග ආශ්රිත සේවා රැසක්ම ඩීමාගෙන් ලබාගන්න පුළුවන්. විවිධ පැළ සහ මල් වර්ග මිලදී ගන්න වගේම, තමන්ගේ ගෙවතු අලංකරණය ගැන උපදෙස් ලබාගන්නත් පුළුවන්. ඒ වගේම විවිධ උත්සව අවස්ථාවලට අදාළ ස්වභාවික සැරසිලි ලබාගන්න, ගෙදරටත් කාර්යාලයටත් දිනපතා මල් ලබාගන්න වගේ ගොඩක් දේවල් මෙතැනදී ලබන්න පුළුවන්.
බැලූ බැලූ හැම අතම කොළ පැහැයෙන් වර්ණ ගැන්වුණු සහ ශාකවල මල්වල සුවඳින් පෙනහළු පුරවගන්න පුළුවන් පරිසරයක් කොළඹ කටුක දේශගුණය මැද නිර්මාණය වෙලා තිබෙන අපූරුව දකින්නම වටිනවා. අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 10.30 සිට සවස 7.30 දක්වා SAND විවෘතයි.
♦ ධනූ
ඡායාරූප - You’re my favorite