2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

කියනුව හඬගා ප්‍රේමය

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 235

නිමිත්ත - “ආයෙ අපි අතරෙ යාළුකමක්වත් ඕන් නෑ. මේක අදින් ඉවරයි” ඇය කීවාය. “එහෙම ඉන්න පුළුවන්ද? එතකොට ඒ හීන?” “පුළුවන්, ඒ හීන මොකුත් දැන් නෑ” ප්‍රති  උත්තර දී ඇය බසයෙන් බැස ගියාය. නැත, ඇය හද මඬලින් බැස ගියාය.. මේ ඒ ගැනය.

ආමන්ත්‍රණය
සබඳ, මාගේ වචනයක් පාසාම
ධනපති දුෂ්ටිවාදී ඔබේ දෙනෙතට,
මුඛයට, ශිෂ්ණයට හා අධෝ මුඛයට
ආනන්දනීය ආස්වාදයක් රැඳෙනු ඇති බව මා දනිමි,
මාගේ කඳුළ ඇයටද සිනාවක් වූ
ප්‍රේමයේ රුහිරු වැගිරෙන නිමේෂයක,
ඔබ මා වෙනුවෙන් නාඬන බව නොකිවයුතුය,
මෙය ධනවාදයයි.

පූර්විකාව
කඳුළු එයි පිටට
සීතලයි හිතට
ඇගේ සිනහ හඬ අතර
ප්‍රේමයේ නටඹුන් අවුලවයි හිතම
සබඳ මෙය,
උදාරතර වූ විරහවයි ප්‍රේමයේ
තෙතමනයක් නැති හදවතයි 
වෙළඳපොළ තියරියේ
කොහේ යන්නද?
කොහොම යන්නද?
සිත් අහස වසඟ කළ
කියන් හඬගා ප්‍රේමය 

අහසට අයිති විහඟුන් වෙත
විහඟුනි, 
මෙය මාගේ අවසාන විරහ තනුවයි
හදවත විවර කර අසනුව
මෙය උදාරතර ප්‍රේමයේ පසුවදනයි.
විහඟුනි,
මා කව් ගී ලීවෙමි
කව් ගී අතර නව ලොව දුටුවෙමි
පියාසර කරනු වස් නුඹ සමඟ
පියාපත් සලන්නද කෙලෙසක මම
කඳුළින් පෙඟී ඇති පියාපත් අතර
විරහවේ තියුණු කටු ඇනී ඇත සබඳ
ආදරේ ගිනි කඳු පුපුරණ
හිම වැටෙන සීතලේ
විරහවේ උණුහුමක් රුඳේවිද
සියොළඟම හිරිවැටී සීතලේ,
අල්ලා අතින් අත එකට
නගමු පියවර ජීවිතේ පෙරට
නසන්නට කැපකරමු ජීවිත, වෙළඳපොළ අඳුර
එළිය දෙන්නට අපේම පුංචි ලොවකට”
මටත් විය විසල් හීනයක්
මා රතුපාට කොඩි දැක ඇත
රතුපාට කොඩි අතර උණුහුමද විඳ ඇත
නෙත් කොණ් අතර මතුවන කඳුළු කැට තුළ
බොඳවී පෙනෙන කල නෙත් අතර 
දිවගිය රතුපාට අකුණු සැර ලේ නහර
සමාවනු සබඳ මට  
එතනින් එහා කීමට යමක් ඒ ගැන
මා සතුව තව වචන නැත
වියතුනි, එය මා දනිමි
මගේ නිකටේ රැවුල් ගස් නැත
තැනින් තැන ආ කිරි මයිල් මිස
ප්‍රේමයට රැවුල් ගස් අවැසියයි කියන
පෙම්වතුන්ගේ මුව, රැවුල්ගස් හොයන
ඔබ ළංව බලනුව
මා සතුව වනුයේ ප්‍රේමයක් මිස
නවයොවුන් හෝමෝන නොව
වළාකුළු අතරින් එබී බලමින් මදෙස
සිනහසෙයි ඇප්‍රොඩයිට් සමච්චලෙන් තවම
දික්තලා නුඹට එතෙර වෙන්නට තිබුණ කාලගෝලත් එක්ක
ආදරේ මිම්මට කාලගෝලගෙ හිතත් කොටද?

විකිණෙන ලොවක් තුළ හැමදේම
මා ඇගෙන් පැතුවෙමි නිකැලැල් ප්‍රේමය සත්තකින්ම
ඇගේ බස් වදින කල කන්බෙර මත සියුමැලිව
මාක්ස්,
මට අමතකවිය මෙය ධනවාදය
සබඳ මෙය විරහවයි ප්‍රේමයේ
වැළපීම කඳුළ හැර අන් යමක් නෑ මෙහේ

මැරුණු සිත ප්‍රශ්න කරයි මුළු මහත් ලෝකයෙන්ම
කියනු මට විහඟුනි,
පරඬැල් රොදක් වෙන්නද
සිපගැනීමට උඩු සුළඟවත් නැති කතරක
ප්‍රේමයේ නාමයෙන් මිහිමතින් වැළලුණ
උදාරතර පෙම්වතෙක් වන්නද?
ද්වීපාර්ශික ප්‍රේමයේ රතු මලින් මතින් ඉපදුණ
අරුණැල්ලට පෙම් බඳින ප්‍රේමණීය අරගලකරුවෙක් වන්නද?
කියනු කොඳුරා විහඟුනි.

පෙම්වතිය වෙත - වෙළඳපොළට විරුද්ධ මා ඔබේ ප්‍රේමය මිල නොකළෙමි
(පසුවදන - ඉන් ඉක්බිති මා කඳුළ සමඟ මගී අස්නක තනිවිය.)

►මායන දස්නක