2018 මාර්තු 03 වන සෙනසුරාදා

වඳවීමේ කලාව

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

සතියෙන් සතියට නිවුස් මවන බුකිය නිකම් දැන් පත්තර කන්තෝරුවකටත් එහා ගිය තැනක් බවට පත්වෙලා. රටේ ඈත කොණේ තියෙන පුංචි සිද්ධියක් වුණත් රට පුරා පැතිරෙන්න ගතවෙන්නෙ විනාඩි කිහිපයයි. 

අම්පාරේ වඳබෙහෙත් තමයි මේ සුමානේ බුකියේ ප්‍රධාන සිරස්තලේ...

හම්බයෝ, වඳබෙහෙත්, වඳජෙල්, වඳජංගි, වඳතනපට වගේ දේවල් දැන් අවුරුදු පහක් හයක් තිස්සේ අපේ රටේ නිතර දෙවේලේ අහන්න ලැබෙන මාතෘකා වෙලා. මතක හැටියට ඔය කතන්දරේ මෑත කාලීනව මුලින්ම කියවුණේ මොකක්හරි මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ට අයිති ඇඳුම් සාප්පුවක මාරු සල්ලි වෙනුවට දෙන පේර රස ටොෆියක වඳබෙහෙත් තියෙනවා කියලා රාවයක් යන්න පටන් ගත්තට පස්සෙයි. 

ඊට පස්සේ මුස්ලිම් කඩවලින් ටොෆි විතරක් නෙමේ, බත්, කොත්තු කන එක වගේම ඇඳුම් අඳින එකත් නවත්තන්න සිංහල මිනිස්සු ලෑස්ති වුණා. හැබැයි වැදගත්ම දේ අද වෙනකල් කිසිම තැනකදී ඔය කියන චෝදනා ඔප්පුවෙලා නැති එකයි. 

මෙදා ගමන වෙලා තියෙන්නෙත් ඔයිට සමාන දෙයක්. අම්පාර ටවුන් එකේ තියෙන හෝටලේක ඉන්න මුදල් අයකැමියා එක්ක කරන කතාබහක වීඩියෝ එකක් ෆේස්බුක් එකට දාලා. ඒකෙදි වඳබෙහෙත් දැම්මද දැම්මද කියලා පෙරුත්ත කර කර අහද්දි අර මනුස්සයා බැරිම තැන පිළිගන්නවා ඔව් දැම්මා කියලා. 

මාධ්‍යයක දෙයක් ප්‍රචාරය වෙද්දි ඒකෙ අපි නොදකින පැත්තක් තියෙන්නත් පුළුවන්. ඇතැම් මාධ්‍ය කරන්නේ තමන්ට අවශ්‍ය දේ පෙන්නන එක විතරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මොකක් හරි සිද්ධියක් දැක්කට පස්සේ ඒ දේ ඒ හැටියෙන්ම පිළිනොගෙන හරි වැරුද්ද මොකද්ද කියන එක විචාරයෙන් හිතනවානම් තමයි හොඳ. 

දර්ගා නුවර එදා සිද්ධවෙච්ච දේ සිංහල මුස්ලිම් මිනිස්සුන් අතර ඇති කළේ ආපහු හදන්න අමාරැ තරම් ලොකු තුවාලයක්. ඒ තුවාලේ හරිගස්සන්න සිංහල මුස්ලිම් මිනිස්සු මේ වෙනකල් තාමත් හරිහමන් වැඩක් කරලා නෑ. 

ඇත්තටම ගත්තොත් සිංහල සහ දෙමළ මිනිස්සුන්ටත් වඩා සිංහල සහ මුස්ලිම් මිනිස්සු අතර එදා ඉඳන්ම තිබ්බේ ලොකු බැඳීමක්. මුස්ලිම් අය ගොඩ දෙනෙක්ට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. සමහර මිනිස්සු ආගම ඉස්ලාම් වුණත් ඒ අය ලංකාවේ උපන් නිසා එයාලා භාවිත කරන භාෂාව සිංහල. ඉතින් කැමති නම් සිංහල ඉස්ලාම් මිනිස්සු කියලා ඒ අයව හැඳින්වුවත් වැරැද්දක් නැති ගාණයි. 

භාෂාවේ දුරස් බව අඩු නිසාම සිංහලයයි මුස්ලිම් මිනිහයි කිට්ටුවෙන් ඉන්න පුළුවන් කොට්ඨාස දෙකක්. ඉතින් එහෙම එකට ඉන්න පුළුවන් දෙගොල්ලක් තරහ කරන්නෙ මොකටද? 

මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න එක එක හේතු තියෙනවා. එයින් ලොකුම එකක් තමයි දේශපාලනය. මිනිස්සු බෙදෙන තරමට තමන්ගේ ගොඩ වෙන්කරගන්න එක දේශපාලකයන්ට ලේසියි. එතකොට සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වගේ මිනිස්සුන්ට නොතේරෙන බහුබූත කියවන්න යන්නේ  නැතුව උඹ සිංහලයා, උඹ සිංහලකම රැකගන්න ඕනෙ, උඹ මරක්කලයා, උඹ මරක්කලකම රැකගන්න ඕනෙ වගේ පොඩි පොඩි බබල්ගම් දෙන්න ලේසියි. ඒ බබල්ගම් එක හපලා විකලා ඇඟ පුරාම ගාගෙන නන්නත්තාර වුණාට පස්සෙත් මිනිස්සුන්ට තමන් කෑවේ බුරියානි නෙමේ බබල්ගම් කියලා තේරෙන්නෙ නැති තරමට ඒක රහයි. ඇඟට දැනෙනවා. 

ඊළඟ හේතුව තමයි ඔය සිංහලේ කියාගත්තු සෙට් එක. අපිට රටක් විදිහට එකතු වෙන්න, සමගි වෙන්න පුළුවන් හැම සාධකයක්ම සුන්නද්දූලි කරලා දාලා තව තවත් වෙන්වෙන්න හේතු හොයන එක තරම් පාපයක් තවත් නෑ. 

ඉතින් බුකියේ ඉන්න මිනිහෙක් කොහෙන්වත් හොයාගත්තු වීඩියෝවක් ඉන්බොක්ස් කරලා එව්ව පළියට කිසිම දෙයක් හොයන්නෙ නැතුව සරම උස්සගෙන කැති පොලු අටෝගන්න යන මිනිස්සු පිරිසක් නම් මේ රටේ ඉන්නෙ, රට හදන්න ඉස්සර මිනිස්සුන්ගේ ඔළුගෙඩි හදන වගකීම සමාජය ඉදිරියේ තියෙනවා. 

අපි අර කියනවා වාගේ ලෝකේ හොඳම සාක්ෂරතාවයක් තියෙන රටක උපන් මිනිස්සු. ඉතින් එහෙව් රටක මිනිස්සු නටන්නේ මෙහෙව් නරි විගඩං නම් උගුර පතුරු යන තුරු අපි සංහිඳියාව සහජීවනය ගැන කතා කළත් වැඩක් නෑ.

  ජා

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00