උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලම කිවිසුම් යනවා. සොටු දියර ගලනවා. ඔළුවක් බර ගතියයි. ඇස් කසනවා. කිසිම වැඩක් කරගන්න බෑ. මේකනම් හරිම කරදරකාර ලෙඩක්. අද දවසේ ලොකු කුඩා භේදයකින් තොරව බොහෝ දෙනකුගෙන් නිතර නිතර අසන්නට ලැබෙන රෝග අවස්ථාවකි ඒ. මෙම රෝග අද වනවිට සමාජය තුළ කොතරම් ඔඩුදුවා ඇත්දැයි කිවහොත් හරි අඩකටවත් වැඩියෙන් සිටින්නේ පීනස් රෝගීන්ය.
සීතල ආහාර පාන ගත්විට හා උදෑසන අවදි වූ විට කිවිසුම් යෑම, සෙම් සොටු නාසයෙන් ගැලීම, නළල ප්‍රදේශයේ වේදනාව ඇතිවීම මෙහිදී මතුවන පොදු රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැක. මීට අමතරව නාසය කැසීම, නාසය ඉදිමීම, උගුර කැසීම, ඇස්කැසීම, ඇස් රතුවීම, සම කැසීම මෙම රෝගයේ අනෙකුත් ලක්ෂණවෙයි.
පීනස් රෝගය අප එතරම්ම බරපතළ රෝගයක් ලෙස නොසැලකුවද ඇතැම් පුද්ගලයන්හට එය මාරාන්තික රෝගාබාධ ඇතිකරන තත්ත්වයට පවා පත්විය හැකි බව මතක තබාගත යුතුය.
පාරම්පරික හෝ පාරම්පරික නොවන ලෙස ඇතිවන අසාත්මිකතාවයක් පීනස ලෙස සරලව හැඳින්විය හැකිය. විශේෂයෙන්ම මෙම රෝග තත්ත්වයේදී පිටතින් පැමිණෙන විසබීජ, දුම්, දූවිලි ආදිය නිසා නාසයේ අභ්‍යන්තර ප්‍රදේශය ආස්තරණය වී ඇති ශ්ලේෂ්මල පටලයෙහි ප්‍රදාහයක් (ඉදිමීමක්) ඇතිවිය හැකි අතර ඒ නිසාම ඒ ආශ්‍රිතව වැඩිපුර ශ්‍රාවයන් පිට වීමද සිදුවේ.
පීනස් රෝගියකු හට නිතර නිතර කිවිසුම් යාම, සොටු දියර ගැලීම ආදිය සිදුවන්නේ මේ හේතු නිසාය.
බොහෝ දෙනකුට පීඩාවන් රැගෙන එන පීනස් රෝගය සම්බන්ධයෙන් මෙවර අප දැනුම්වත් කරන්නේ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල් උගුර, කන, නාසය සහ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම් මහත්මියයි.
ඇත්තටම පීනස් රෝගය හටගැනීම සඳහා හේතු විශාල ප්‍රමාණයක් බලපානවා. ආහාරමය හේතු, බාහිර පරිසරය නිසා ඇතිවන හේතු ආදී වශයෙන් විශාල පරාසයක ඒවා විග්‍රහකර දක්වන්න පුළුවන්. සමහරුන්ට මොනවා හරි බදින තැන්වල උදාහරණයක් විදිහට මිරිස් කුඩු වගේ දේවල් බදින තැන්වල ඉන්න බෑ. තවත් සමහර අයට මකුළු දැල් කඩන තැන්වල ඉන්නත් බෑ. පාරෙ යද්දී වාහනවලින් පිටවන දුමත් සමහරුන්ට විසයි. ඈත පළාත් ගත්තම ගොයම් කාටු, වී කාටුත් ගොඩක් අයට ආසාත්මිකතා ඇති කරවනවා. මේ විදිහට අසාත්මික වුණාමයි රෝගියාගේ රෝගී ලක්ෂණ මතු කෙරෙන්නේ.
ආයුර්වේද රෝග විශ්ලේෂණයට අනුව පීනස යනු නාසා රෝගයකි. ආයුර්වේදයේ නාසා රෝග 31ක් ඇති අතර අපීනස යන්න ඉන් එකකි. අපීනස පසුකාලයේදී පීනස ලෙසින් ව්‍යවහාර වී ඇත. සෙම් පීනස, ලය පීනස, ලේ පීනස, ළමා පීනස හා ගල් පීනස ලෙස පීනස ද වර්ග කීපයකි. මෙම පීනස අතරින්ද බහුලවම දැකිය හැකි වන්නේ සෙම් පීනසයි. ආසාත්මිකතාවය නිසා ඇතිවන පීනස හා ආසාත්මිකතාවක් නොවන හේතූන් නිසා හටගන්නා පීනස ලෙසින්ද පීනස වර්ග දෙකකි.
අප ලබාගන්නා ආහාරපාන වලට, ඖෂධවලට, ශරීරයේ ස්පර්ශවන කිසියම් ද්‍රව්‍යයකට, ආශ්වාස කරන යම් දෙයකට ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. ඇතැමකු ඉතා විශාල වශයෙන් ප්‍රතික්‍රියා දක්වන්න අතර එම තත්ත්වය සාමාන්‍යයෙන් අනෙක් අය එම ද්‍රව්‍යයට ප්‍රතික්‍රියා දක්වන ප්‍රමාණයට වඩා අතිශය විශාල ප්‍රතික්‍රියා දැක්වීමකි. අන්නාසි වැනි පළතුරක් ගත්විට ඇතැමුන්ට එය ගුණය. තවත් සමහරකුට අන්නාසි ආහාරයට ගැනීමෙන් ඇඟකසා පළු දැමීම පවා සිදුවිය හැක. ඒ අන්නාසිවල අඩංගු ද්‍රව්‍යයන් ඒ ඒ පුද්ගලයාට බලපාන ආකාරය අනුවය. අසාත්මිකතාවය යනු එවැනි තත්ත්වයකි.
අසාත්මිකතාවය නිසා ඇතිවන පීනසයේදී ඇතැම් ආහාර, මල්වල පරාග, පරිසරයේ ඇති දූවිල්ල, මකුළු දැල් සහිත දූවිල්ල, සතුන්ගේ මවිල්, පුස් වර්ග, කැරපොත්තන් වැනි සතුන්ගේ මළ මුත්‍රා ආදිය නිසා ඉතා පහසුවෙන් රෝගය මතුවීමේ හැකියාව ඇත. නාසයෙන් සොටු දියර ගැලීමට අමතරව නිතර නිතර කිවිසුම් යන්නේ ආසාත්මිකතාවය නිසා මතුවන පීනස රෝගයේදීය.
ඇතැම් පිරිස් වෙතින් පීනස් රෝගයේ ලක්ෂණ පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් පරිසරයට ඉතාමත්ම සංවේදී පුද්ගලයන් වීම හේතුවෙනි. පින්න, වැස්සට තෙමීම, අධික සීතල, අධික උණුසුම, රාත්‍රියට ස්නානය කිරීම මොවුන්ගේ පීනස මතුවීමට ප්‍රධාන සාධකයි. එසේම මෙවැනි පුද්ගලයන්ගේ නාසය පරිසරයේ ඇතැම් සාධකවලට අධික සංවේදී බවක් පෙන්වන නිසා පරිසරයේ සිදුවන උෂ්ණත්වයේ සහ අර්ද්‍රතාවයේ වෙනස්වීම්වලට සංවේදී වී නාසය අවහිර වීමද සිදුවිය හැකිය. තයිරොක්සින් වැනි හෝමෝන අඩංගු පෙති හා අධි රුධිර පීඩනයට දෙනු ලබන ඇතැම් ඖෂධ නිසාද ඇතැමුන්ට පීනස රෝගය මතුවේ.
සුරතලයට සතුන් ඇති දැඩි කිරීම සාමාන්‍යයෙන් බොහෝ නිවෙස්වල සිදුවන්නකි. එහෙත් මෙය පීනස රෝගය සඳහා වඩාත් හේතු සාධක විය හැකි බවද ඔබ දැනගත යුතුය. විශේෂයෙන්ම කුරුල්ලන් වැනි සතුන් ඇති කිරීමේදී කුරුල්ලන්ගේ මළ, මුත්‍රා පිහාටුවල ඇති දුහුවිල්ල ඇතැම් පිරිස්හට ආසාත්මික විය හැකිය. එසේම බල්ලා, බළලා වැනි සතුන්ගේ මවිල් සමඟ ඇති දුහුවිල්ලද, මේ සතුන්ගේ සිරුරෙහි ජීවත්වන මැක්කන්ගෙන් පිටවන අපද්‍රව්‍යද ආස්‍රාණය වීමේදී පීනස හට ගැනීමේ අවධානම ඇත. ටෙඩි බෙයාර් වැනි සෙල්ලම් භාණ්ඩ වල ඇති දුහුවිල්ල ආඝ්‍රාණය කිරීමද පීනසට අහිතකරය.
ආයුර්වේදයේ කියැවෙන ආකාරයට කුඩා දරුවන්හට සෙම් රෝග බහුලය. ඔවුන් නිරතුරුවම දුහුවිල්ලට නිරාවරණය වීම එය එක් හේතුවක් ලෙස දැක්විය හැක. පීනසත් සමඟම ඔවුන්ගේ දැකිය හැකි තවත් රෝග අවස්ථාවක් වන්නේ මස් දලු හට ගැනීමයි. මේ නිසාම කිවිසුම් යාම නිරතුරුවම සිදුවිය හැකි අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නියමිත පරිදි කරගෙන යාමටද එය බාධාවක් විය හැකිය.
ඉරුවාරදය එහෙමත් නැත්නම් බොහෝ දෙනකු දන්නා පරිදි මිග්‍රේන් යන රෝග තත්ත්වය හා පීනස අතර බලපෑමක් ඇතැයි සමහරු කල්පනා කළද මිග්‍රේන් යනු පීනස නිසා හටගන්නා රෝගී අවස්ථාවක් නොව වෙනම රෝගයකි. එහෙත් ඇදුම හා පීනස අතර යම් සම්බන්ධතාවයක් ඇත්තේ එම රෝග තත්ත්වය දෙකම මතුවන්නේ එකම ආකාරයේ ජානමය තත්ත්වයක් ඇති අයට වීම නිසයි. විශේෂයෙන්ම ඇදුම රෝගය ඇති පුද්ගලයන් හට ආසාත්මිකතාවය නිසා මතුවන පීනස ඇතිවීමේ හැකියාව වැඩිය.
වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්හටද ගල් පීනස වැළදිමේ හැකියාව ඇත. ගල් පීනස හටගැනෙන්නේ සාමාන්‍යයෙන් අපට එදිනෙදා වැළදෙන සෙම්ප්‍රතික්ෂාව පැසවීමෙනි.
ගල් පීනස තත්ත්වයකදී මුහුණ ඉදිමීම, හිස කැක්කුම, හිස කරකැවිල්ල හිසේ බරගතිය ඇතිවේ. මෙවැනි රෝගී අවස්ථාවකදී කුඩා දරුවන් කිරිබීම නවත්වා දමන අතර බඩ බුරුල් ගතිය, අජීර්ණ ගතිය ඇතිවිය හැක.
නාසයෙන් රුධිරය පිටවෙනවානම් සැලකිලිමත් වෙන්න
පීනස රෝගය නිසා නාසයෙන් රුධිරය වහනය වීමක්ද සිදුවිය හැකි අතර එවැනි පීනස හඳුන්වන්නේ ලේ පීනස ලෙසයි. පීනසයට අමතරව නාසයෙන් රුධිරය වහනය වීමට ළමයින් සඳහාම වූ සුවිශේෂ හේතුන්ද වයස්ගත පුද්ගලයන් සඳහා තවත් හේතුන්ද තිබිය හැකි අතර ප්‍රතිකාර සඳහා ඒ සඳහා පිළිගත් වෛද්‍යවරයෙකු තෝරාගැනීම අවශ්‍යය.
තම හිස කෙසේ සැකසීමෙහිලා තරුණ පරපුර විවිධ දේ අනුගමනය කරනු ලබන අතර මෙවැනි ඇතැම් දේ නිසාද පීනස් හටගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම ස්නානයෙන් පසු කෙස් සම්පූරණයෙන්ම වියළීමට පෙර ජෙල් ආලේප කිරීමට අද තරුණ පරපුරේ ඇති පුරුද්ද නිසාම වැඩි දෙනා පීනස් රෝගයට ගොදුරු වන්නේ ඔවුන්ටවත් නොදැනීමය. තෙත හිසකෙස්වල ජෙල් ආලේප කර වායු සමනය කළ ස්ථානවල වැඩිදුර සිටීමෙන් සිදුවන්නේ හිසකෙස් බොහෝ වේලාවක් තෙත බරිතව තිබීමයි. එය ආසාත්මික නොවන පීනස ඇතිවීමට බලපානවා මෙන්ම ඒ නිසාම හිසකෙස් වැටීම හා වර්තමානයේ බොහෝ දෙනෙකුට බලපා ඇති හිස කෙස් සුදුපැහැවීම ඇතුළු තවත් රෝග ගණනාවකටම හේතු සාධක විය හැකිය.
රැකියාවන්හි නියුතු බොහෝ පිරිසක් අද වන විට වැඩි කාලයක් ගත කරන්නේ වායු සමන යන්ත්‍ර ආශ්‍රිතවය. මෙය පීනස රෝගය වැඩිවීමට එක් හේතුවකි. වායු සමන යන්ත්‍ර මගින් උෂ්ණත්වය අවම අගයකට පත්කරන නිසා සීතල වායුධාරාවක් ආශ්වාස කිරීමෙන් සීතල සංවේදී පුද්ගලයන් හට සොටු දියර ගැලීම, නාසය අවහිර වීම ආදිය සිදුවිය හැක. වායු සමන යන්ත්‍ර ක්‍රියාමත්මක කිරීමේදී ශරීරයට දැඩි සීතලක් ගෙන දෙන තරමට එය ක්‍රියාත්මකවීම ඉතා අහිතකරවන අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ක වැනි අගයක තබාගැනීම ප්‍රමාණවත්ය.
අන්නාසි, තක්කාලි, හරක් මස්, ඉස්සෝ, දැල්ලෝ, කුකුළුමස්, කළවල්ලෝ, බලමාලු, සැමන්, අච්චාරු, කොත්තු වර්ග, ප්‍රේස්ට්‍රි වර්ග පීනස් රෝගියකු සඳහා නුසුදුසු ආහාර වෙයි. වම්බටු, මෑ කරල්, මුං ඇට වැනි සීතල කෑම වර්ගද පීනස් රෝගියකු තම ආහාර වේලට එක්කර නොගත යුතුය. ඔවුන්ට සාමාන්‍යයෙන් සුදුසු වන්නේ අල, පරිප්පු, කව්පි, පලාවර්ග බෝංචි, කැරට් වැනි ආහාරයන්ය.
මුල් කාලයේදී පීනස් රෝගයට නිසි ප්‍රතිකාර අනුගමනය කිරීමෙන් එය සුවකර ගතහැකි වුවද කල් ගතවූ පීනස නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාවක් නැත. එහිදී කළ යුත්තේ ආසාත්මිකතාවයන් ඇතිවන දේවලින් හැකිතාක් දුරට ඇත්වීමයි. මූලිකවම අපි ජීවත්වන නිවෙස හා ඒ අවට පරිසරය පිරිසිදුව තබාගත යුතුවනවා සේම නිවෙස තුළ වියළි පරිසරයක්ද තබාගත යුතුය. කොට්ට, මෙට්ට ඇඳ ඇතිරිලි නෙට් ආදියද දුහුවිලි රැඳිමට ඉඩනොදී නිතරම පවිත්‍රව තබාගත යුතු අතර බූල් සහිත රෙදි පාවිච්චියෙන් වැළකීම මෙන්ම නිෙවස හා ගෙවත්තට හොඳින් හිරු එළිය වාතාශ්‍රය ලැබෙන ලෙස සකසා ගත යුතුය. තමන්ට නුසුදුසු ආහාර පානවලින් වැළකීම, දුම්පානය කරන අයෙක් නම් ඒ පුරුද්දෙන් මිදිම, රාජකාරි කරන ස්ථානයේ විදුලි පංකා සහ වායු සමීකරණ හැකි තාක් දුරට අඩුවෙන් භාවිත කිරීමද මෙවැනි රෝගින් අනුගමනය කළ යුත්තකි.
රාත්‍රි කාලයේ දිය නෑමද පීනස් රෝගීන්ට වඩාත් අගුණ වන අතර දියනෑම පැහැබර වියලි කාලගුණයක් ඇති දිනවල සිදුකිරීම වඩාත් යෝග්‍යය.
පීනස් රෝගය සඳහා නිසිලෙස ප්‍රතිකාර නොකළහොත් හා පරිස්සම් නොවුණහොත් මෙවැනි රෝගීන්ගේ නාසය හා මුහුණ ඉදිමීම, නාස් කුහර වැසීයාම ආදියද සිදුවිය හැකි අතර එම නිසා මුඛයෙන් හුස්ම ගැනීම පවා සිදුවිය හැක. විශේෂයෙන්ම ළමුන්ගේ උගුරේ ආසාදන, කටහඬ වෙනස්වීම, පෙනහලුවල ආසාදන වැනි තත්ත්වයන් ද මතුවිය හැක. එබැවින් නියමිත වෛද්‍යවරයකු වෙත යොමු වී මෙම රෝගය සඳහා ප්‍රතිකාර ලබාගත යුතු අතර දුම් ඇල්ලීම, පස්පංගුව තම්බා පානයට ගැනීම ආදිය නිවසේදී සිදුකර ගත යුතුය.
♦ හේමමාලා කුමාරි රාජකරුණා