2018 මාර්තු 03 වන සෙනසුරාදා

ගමන් කරන පුංචි හෝටල් දැන් ලංකාවෙත්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

සංචාරකයන්ගේ රුචි අරුචිකම් එකිනෙකාට වෙනස්. කෝච්චි, සංචාරක බස් රථ, පෞද්ගලික වාහන, යතුරුපැදි, බෝට්ටු, නැව් වාගේ බොහෝ ප්‍රවාහන මාධ්‍ය ඔවුන් සංචාරය සඳහා භාවිත කරනවා. මේ අතරේ ලංකාවට ටිකක් අලුත් අත්දැකීමක් විදිහට මෝටර් නිවහන් හෙවත් කැරවෑන් හඳුන්වන්න පුළූවන්. 

කැරවෑන් සංස්කෘතිය අපේ රටට තාමත් අලුත් දෙයක් වුණත් ලෝකයේ මේ වනවිට ඉතාමත් ජනප්‍රිය වුණු සංචාරණ ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කැරවෑනයක නිවාඩුවක් ගත කිරීමේදී ලැබෙන පෞද්ගලිකත්වය වගේම අඩු වියදමත් ඒකට ලොකු හේතුවක්. 

කිරුළපන ස්ටැෆර්ට් පාරේ පිහිටා තිබෙන ‘Go Outdoors Lanka’ සමාගම තමයි සියලු පහසුකම්වලින් සමන්විත, සංචාරණය සඳහාම භාවිතා කළ හැකි කැරවෑන් සපයන පළමු ශ්‍රී ලාංකික සමාගම. මේ කැරවෑන් සමඟ රට පුරා විවිධ උද්‍යානවලත් ඔවුන්ගේම ස්ථීර නවාතැන්පොළවල්වලත් මේ කැරවෑන් නවත්වා හිතේ හැටියට නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලැබෙනවා. 

විශේෂයෙන්ම නුවරඑළියේ ග්‍රෙගරි වැව අසලත් සහ විල්පත්තුවේ හුණුවිල අසලත් පිහිටා තිබෙන තමන්ගේ කැරවෑන් භූමිවල මේ ආකාරයට කැරවෑන් අත්දැකීම විඳීමේ අවස්ථාව සමාගම විසින් සංචාරකයන්ට හිමිකරදී තිබෙනවා. 

විල්පත්තුවේ ඇති කැරවෑනයක දෙදෙනකුට එක් රාත්‍රියක් සඳහා නවාතැන් ගැනීමට අය කරන මුදල රුපියල් 10,000ක්. ඊට අමතරව වෙනත් මෝටර් නිවාස සඳහා රුපියල් 23,000 සිට ඉහළට මිල නියම කෙරෙනවා. 

විල්පත්තුවේ පිහිටා ඇති කැරවෑන් භූමියට අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගය ඔස්සේ සේන්දු වන්න පුළුවන්. එහි අවන්හලක්, වෙන් වූ විවේකී කාමර, කාන්තා පිරිමි ස්නාන පහසුකම්, බාබකියු වැනි බොහෝ පහසුකම් කැරවෑනයට අමතරව සැපයෙනවා. මෙතැන නවතා ඇති කැරවෑන් ගණන 06ක්. ඊට අමතරව වෙනත් මෝටර් නිවාස 05ක් සඳහාත් නවාතැන් පහසුකම් පවතිනවා. 

Outdoors Lanka සමාගම ෆියට් සමාගමේ Rollerteam Autoroller කාණ්ඩයේ කැරවෑන් සහ ෆෝඩ් සමාගමේ Rollerteam Zefiro මාදිලියේ මෝටර් නිවාස මෙහිදී සපයනවා. ඒවායේ 4 දෙනකුට පහසුවෙන් නවාතැන් ගැනීමට පුළුවන්. නිදන කාමරවලට අමතරව මුළුතැන්ගෙයක්, නාන කාමරයක්, කෑම මේසයක් සහ ශීතකරණයක් මේ කැරවෑනයක අඩංගුයි. 

“මෙය ඇත්තෙන්ම රෝද මත තැබූ කුඩා නිවසක් ලෙස හැඳින්විය හැකියි. කැරවෑනයක ආහාර පිසීම කළ හැක්කේ එහි එන්ජිම නතර කළ පසුවයි. අනික අපි බොහෝ සංචාරකයන්ව උනන්දු කරන්නේ තමන්ගේ ආහාර තමන් විසින් පිළියෙල කර ගන්නා නිවාඩුවක් සඳහායි.” ‘Go Outdoors Lanka’ සමාගමේ සාමාන්‍යාධිකාරී ඩිල්හාන් ගුණතුංග මහතා පවසනවා.

නුවරඑළිය සහ විල්පත්තු හැරුණුවිට අනුරාධපුරය, කිරින්ද, මහනුවර, මන්නාරම, සීගිරිය සහ තංගල්ල යන ප්‍රදේශවලත් කැරවෑන් භූමි පවතිනවා. 

♦ සනත් වීරසූරිය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00