2018 මාර්තු 03 වන සෙනසුරාදා

සිසිර සඳ ළං වූ දිනේ සිට

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

පුද්ගල සංවේදනා ප්‍රමුඛ කරගත් පුද්ගලානුභූතීන් ද, මානව සම්බන්ධතා ද උත්කර්ෂයට නගමින් අද තරුණ රසික ප්‍රජාව සිය කාව්‍ය අභ්‍යාස කාලය ගතකරති. 

මිගාර බමුණුසිංහ ද යට කී අත්දැකීම් ඇසුරේ වැඩිපුරම සැරිසරන්නට ප්‍රියකරන තුරුණුවෙකි. ප්‍රේමය, පන්ති සමාජයේ මානව සම්බන්ධතා ආදී තරමක් සීමිත ක්ෂේත්‍රයක ඔහුගේ අත්දැකීම් විසිරී ඇතත්, ඒවා කවි බවට පත්කරන්නට ඔහු දරන වෑයම අගය කළ යුතුවේ. නව කවියේ රූපණ විධික්‍රමය මෙන්ම භාෂාව ඊට සරිලන පරිදි වහරට ගන්නට ඇති කුසලතාව පිළිබඳ දැනසිටීම ද මිගාර සතු සම්පත් වේ. එමෙන්ම එකී සම්පත්වල සිමාවන් ද ඔහු හඳුනාගත යුතුය. ඒ සංසන්දනාත්මක නිර්මාණ කාර්යයක යෙදෙමිනි.

බිම වැටුණු මැයි මලක උණුසුම තවම නෑ සුරතට දැනී
වැටෙන්නට පෙර නෙළාගත් එක මලක් ඇත සුවඳින් පෙඟී
ආදරේ හැටි තවම නොදනිමි හද ගැහෙන හැටි නම් දනී
දවල් අහසේ සඳ දකින්නට බයක් කුකුසක් ඇත තුනී

කෝඩුකාර පෙම්වත් සිතක, කුළෑටි බව කියන්නට මෙන්ම, ප්‍රේමයේ මානව ගෞරවය ද පෙරදැරිවය. මිගාර කව ගොතන්නේ. සමාජ වගකීමක් ඇති කවියෙකු වීමට ඒ සුදුසුකම ඕනෑය.
තාම ඉඳහිට ලියන කවියක
උඹේ කවි පද තියෙනවා
පෙම්වතිය මගේ මා ළඟට වී
ඒ කවිය රසවිඳිනවා
කොහෙන් හරි මේ කවිය කියවා
ඇවිත් යන්නට කියනවා
පෙම්වතිය මගේ බිරිඳ වෙයි හෙට
නංගියේ මම බඳිනවා
ප්‍රේමය පිළිබඳ කමටහන් සැපයූ පැරණි පෙම්වතියකට ගෞරවනීය ලෙස ලියන මේ කව ද සරල බව ඇත්තය. එහෙත් හෘදයග්‍රාහී මේ ඇමතුමෙහි ඇත්තේ අනුරාගයම නොව සුහද ලෙස මානව සබඳතා විසඳාගන්නට දරන උත්සාහයයි.
විජිගීෂාවෙන් පෙළෙන ස්ත්‍රී සිතක මායම් දකින්නට උත්සාහ කරමින් මිගාර ලියා ඇති කවිකාර පෙම්වතී නමැති රචනයේ චිත්ත වෘත්තිය වාච්‍ය රූපයකට නගන්නේ මනා බුහුටිකම් පාමිනි.
ගැහැනු අත්අකුරු පිරුණ
කවියක් වනන දවසක
ලෝ දහම නොඉවසන
ස්ත්‍රී වරිගයේම
ඇටමිදුලු දිගහැර
නොඉවසන ඉවසීමෙන්
කතා කළා මම
සමාජානුභූතීන් ඇසුරු කරද්දී මිගාර වඩාත් පරිණතවනවා මෙන්ම භාවික ගුණ පාලනය කරගැනීමේ සමත්කම් ද පෙන්වයි. තම පුතුට කතන්දර පොතක් ගෙනියන්නට පෙරුම් පුරන පියෙකුගේ කම්පන ඇසුරිනි මේ ප්‍රතිචාර ඔහු යොමු කරන්නේ.
ආදරේ මහගෙදර බැරිකර
හොයාගෙන රුපියලක් වැඩිපුර
කුසේ මෝරන පැතුම්වල බර
ලියන හැම අකුරටම හිරකර
තනිව උඹ මුමුණන කතන්දර
මිනිස් හදවත් නොදුටු හින්දම
බේරේ වැවටත් හඳක් පායා
ගෙනැත් දෙයි ආදරේ කිරිකැට
මල් විකුණන, නොකල්හී මවක් වන යුවතියක් ගැන ලියා ඇති කවත්, සනීපාරක්ෂක සේවිකාවක් ගැන ලියා ඇති කවක් ඔහු සිය දුරස්ථ නිරීක්ෂණ පරිකල්පනය කොයිතරම් සාර්ථක කවි බවට පත්කරන්නට උත්සාහ දරන්නේ දැයි පහදා දෙන නිදසුන් වැන්න. පරිසමාප්ත කවි නොවූව ද, මිගාර ප්‍රගුණ කළ යුත්තේ හෘදයග්‍රාහී ගුණයත්, ප්‍රශ්න කිරීමත්, හේතු ප්‍රතිපාදනයට ඉඟිකිරීමත් ජයග්‍රාහී ලකුණ වී ඇති මේ රචනා මාර්ගයයි.
බඩත් උස්සන් මලක් විකුණයි
ඉන්න බැරි දා හාමතේ
උඹේ නංගිත් නෙළුම් විකුණයි
දඟකාර වී මාවතේ
මලක් ගන්නට කාසි තබනෙමි
සිනාසී ගොස් ඈ අතේ
උඹට වුණ දේ ඇයට කියපං
හදාගන්නට ජීවිතේ

 රත්න ශ්‍රී විජේසිංහ