2018 මාර්තු 03 වන සෙනසුරාදා

එක දවසක අපි සියදිවි නසා ගැනීමක්!

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 375

“එක දවසක අපි මා නැරඹුවේ තවත් ප්‍රේක්ෂකයෙන් සිව් දෙනෙක් සිටි සිනමා ශාලාවකය. එය බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂවරයෙක් වන අනුරුද්ධ ජයසිංහගේ නිර්මාණයකි. තිර රචනය ද ඔහුගේමය. යෞවන හා තරුණ පෙළ ඉලක්ක කරගත් චිත්‍රපට දෙකක් මේ දිනවල තිරගත වේ. “ඒ ලෙවෙල්* සහ “එක දවසක අපිය. ඒ අතරින් “ඒ ලෙවෙල් වෙත තරුණ ආකර්ශනය හිමි වුවද කලාත්මක කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති “එක දවසක අපි වෙත ඔවුන් පැමිණ සිටියේ නැත. එයට බොහෝ විට හේතුවන්නට ඇත්තේ සිනමාපටවලදී තාරුණ්‍යය බලාපොරොත්තු වන අංග මේ කෘතියේ නොමැති වීම විය හැකිය.

සැහැල්ලු රංගනය, විනෝදකාමී ජීවිතය, මුසපත් කරවනා ගීත මෙහි නැත. මෙය ජංගම දුරකථන තුළින් ද නැරඹිය හැකිසේ නිෂ්පාදිත සිනමාපටයකි. ඒ අනුව ලංකාවේ පළමු මොබයිල් චිත්‍රපටය බවට ද “එක දවසක අපි පත්වේ.
එක අතකින් මෙහි දක්නට ඇත්තේ පට්ටගැසූ වට්ටෝරු කතාවකි. එහෙත් එය අදටත් පෙම්වතුන් අත්විදින අපට අසන්නට ලැබෙන ඛේදවාචකවලට මුල්වන කතා තේමාවකි.

විමුක්ති ධනවත් උගත් පවුලක තරුණයෙකි. ඔහු පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු විෂයන් හදාරයි. ඔහුට පාරමී හමුවන්නේ සරසවි නවකවදයේදීය. ඇගේ ගීත ගායනයට ජ්‍යෙෂ්ඨ සිසුහු වශීවෙති.
පාරමී අන්ත දුප්පත් පවුලක අහිංසක තරුණියකි. දෙමාපියන් ද මියගොසිනි. බෙරවා කුලයට අයත්ය. මේ අන්ත දෙකට අයත් ඔවුන් සුන්දර ප්‍රේමයක් අත්විදී. සුපුරුදු ලෙස ධනවත් තරැණයාගේ මව පාරමීට විරුද්ධ වේ. ඇය හා තම පුතා විවාහ වුවහොත් සියදිවි නසාගන්නා බව කියයි. මේ අතර විමුක්තිගෙන් පාරමීට දරුවකු ලැබීමට යයි. ඔවුන් තම ගැටලුවට ඉතා සරල විසඳුමක් සොයා ගනී. ඒ කන්දකින් පහළට පැන සියවිදි නසා ගැනීමයි.

වර්තමානයේ දක්නට ලැබෙන සංකීර්ණ ප්‍රශ්න හා සසඳන විට මේ කතාව චිත්‍රපටයකට ගැලපෙන ප්‍රබල තේමාවක් නොවේ. එය අපට සමාජයේ හමුවන සිද්ධියක් ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමකි. ඔවුන්ට මේ බාධක මැඩපවත්වා ගැනීම සඳහා විකල්ප සොයා ගත හැකිව තිබුණි. එහෙත් අපට පෙනෙන්නේ ඔවුන් නොගැලපෙන විසඳුමක් ඒ සඳහා තෝරාගත් බවයි. චිත්‍රපටය තරුණ්‍යයෙන් ප්‍රතික්ෂේපවීමටත් මේ තේමාවම බලපාන්නට ඇත. තරුණ පෙළට අවශ්‍ය චිත්‍රපටයක් නරඹා විනෝදයක් ලැබීමටය. එහෙත් එක දවසක් අපි තුළින් එය ඉටු නොවේ. 

චිත්‍රපටය දිවයන්නේ අතීතාවර්තනයක් ලෙසිනි. එහි ආරම්භක දර්ශන කලාත්මකව හස්තගත කැමරාවක් මගින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා ඇත. කෘත්‍රීම ආලෝකය වෙනුවට ස්වභාවික ආලෝකය හා ඉන් නිමැවෙන අඳුර රූප රාමු සඳහා යොදාගෙන තිබේ.

මේ යුවළ දුම්රියෙන් ගමන් කරන්නේ තම අවසාන චාරිකාවයි. ඒ බව ප්‍රේක්ෂකයා නොදැන සිටිය ද කැමරාවෙන් දකින රූප රාමු ඒ බවට ඉඟි සපයයි. දුම්රිය කඳුකරයේ සුන්දර පෙදෙස් හරහා ඇදී ගියද කැමරාව ඒ රූප රාමු හසුකර ගන්නේ ඇල්මැරුණු අයුරිනි. එය පෙම් යුවළගේ උදාසීන මනෝභාවයන් ප්‍රකට කරවීමට සමත් වෙයි. එහෙත් මේ කැමරා උපක්‍රමය හිටිගමන් වෙනස් වෙයි. ඩ්‍රෝන කැමරා ඔස්සේ සුන්දර දසුන් මැවීම දක්නට ලැබේ.
චිත්‍රපටයේ මුල්භාගය පේරාදෙණිය සරසවියේ ජීවිතය නිරූපණය කෙරේ. එහෙත් එහිදී සරසවි සිසුන්ගේ සරල පැවැත්ම, ඔවුන්ගේ විනෝදකාමී හැසිරීම් තවදුරටත් නිරූපණය කළ යුතුව තිබුණි. අපට පෙනෙන්නේ සරසවි ජීවිතය යන්තම් අතපත ගා ඇති බවකි.

බොහෝ අධ්‍යක්ෂවරුන් මෙන්ම අනුරුද්ධ ජයසිංහ ද චිත්‍රපටයේ අවස්ථා තීව්‍ර කිරීමට දුම්රිය හා දුම්රිය හඬ, බෙර හඬ, පිරිත් හඬ වැනි සංකේත යොදාගෙන තිබේ. එය ගැලපෙන ලෙස භාවිතා කිරීමට ද ඔහුගේ ඇති හැකියාව ප්‍රකට වේ.
පුබුදු චතුරංග මෙයට පෙරද සිනමාවේ දී තම හැකියාවන් ප්‍රකට කළ නළුවෙකි. ඔහුට ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති බව පෙනෙන්නේ ඒ සඳහා උපරිම උත්සාහයක් ගෙන තිබෙන බැවිනි. විටෙක කෙළිලොල් චරිතයක් විටෙක අර්බුදයකට මැදිවුණු පෙම්වතාත් යන චරිත ලක්ෂණ ඔහු නිරූපණය කරයි. මුහුණෙහි ඉංගිතද මෙන්ම තම සිරුරේ හැසිරීම් රටා ද ඔහු ඒ සඳහා යොදා ගනී.

නයනතාරා වික්‍රමාරච්චිට ලැබී ඇත්තේ අහිංසක ගැමි පෙම්වතියගේ චරිතයයි. ඇය එයට පණදීමට බොහෝ උත්සාහ ගන්නා බව පෙනේ. මුහුණෙහි ඉගි, කඳුළු පුරවාගත් ඇස්වලින් ඒ හැසරීම් ඉස්මතු වේ. වීණා ජයකොඩි, මේධා ජයරත්න ආදී නිළියන්ගේ රංගනය ද සාර්ථකය. සංගීතය ද චිත්‍රපටයේ අවස්ථා ඉස්මතු කිරීමට ඉවහල් වේ. සංස්කරණය ද සාර්ථකය.

අධ්‍යක්ෂවරයා අවසානයේ හේතු පාඨයන් යොදමින් පවසන්නේ මෙය සියදිවි නසා ගැනීම ප්‍රවර්ධනය කිරීමට නොව එහි නිෂ්ඵලත්වය අවබෝධ කරවීමට දැරූ උත්සාහයක් බවයි. එහෙත් එම පාඨය තිරයේ දිවයන විට බොහෝ ප්‍රේක්ෂකයන් ආසනවලින් නැගිට ගොස් අවසානය.

අද සිනමාවට අවශ්‍ය වන්නේ ප්‍රේක්ෂකයන් සිනමාශාලාවට කැඳවන අතරම කලාත්මක ගුණයෙන් යුත් නිර්මාණ වේ. සිනමාව විශාල මුදලක් වැයවන ආයෝජනයක් නිසා අධ්‍යක්ෂවරු ඒ ගැනත් සිතිය යුතු බවට විවාදයක් නැත. 

 කුසුම්සිරි