මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරැය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක දොළොස්වැන්නයි. මෙවර අපේ කථානායකයා වන්නේ විශේෂ පුද්ගලයෙකි. බ්‍රැන්ඩි ගම්පොළ නම් ඔහු, ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ය. සංචාරක මාර්ගෝපදේශනයේ වසර 27ක අත්දැකීම් සපිරි ඔහු ඉතාලි සහ ඉංග්‍රීසි යන භාෂාවලින් කටයුතු කරන්නෙකි.
සංචාරක සමය නිසාවෙන් අතිශය කාර්යබහුල බ්‍රැන්ඩිව අපි අසීරැවෙන් අල්ලාගත්තේ එක් සංචාරයක් අවසන් කර තවත් සංචාරයක් ආරම්භ කිරීමට ඔහු සැරසෙමින් සිටියදී ය.
“මම මුලින්ම රස්සාව පටන් ගත්තේ ෆිල්ම් ලොකේෂන් සර්විස් එකේ. ඒ කියන්නේ චන්ද්‍රන් රත්නම් මහත්තයා එක්ක. එතැනදිත් අපිට ගොඩක් වෙලාවට කරන්න තිබුණේ පිටරට අය එක්ක ලංකාවේ ලස්සන තැන් බලන්න යන එකයි. ඒ හින්දා ගයිඩින්වලට මට පදනම වැටුණේ එතැනින්” හෝරා කිහිපයක කතාබහ එසේ ඇරඹුණේ චිත්‍රපටි දර්ශන තලවලිනි.
ෆිල්ම් ලොකේෂන් රස්සාවෙන් පසු බ්‍රැන්ඩි කෙටි කලකට විදේශගත වූයේ දියුණු වීමේ හොඳම උපාය එය යැයි සිතූ හෙයිනි. ඔහු ගියේ ඉතාලියට ය. ඉතාලිය කෙතරම් සුන්දර රටක් වුවත් ඔහුට ටික කලකින්ම එරට ජීවිතය එපා වී යළි ලංකාවට ඒමට සිත් විය.
“එහෙම ඇවිත් තමා මම ගයිඩින් පටන් ගත්තෙ. ඒ නමසිය අසූ හතේදි. එතකොට ලයිසන් තිබ්බෙත් නෑ”
රස්සාවට ගියාම ගෙදර ප්‍රශ්න වාෂ්ප වෙනවා
අසූ ගණන්වලදී ලංකාවේ සංචාරක කර්මාන්තය අද තරම් සංවිධානාත්මක මට්ටමක පැවතුණේ නැත. ලොකු ලොකු බස් වල නැඟුණු සංචාරක කණ්ඩායම් දකින්න ලැබුණේ කලාතුරකිනි. බොහෝ විට සිදුවූයේ යුරෝපයේ සිට ගුවන් ටිකට්පතක් මිලදීගෙන ලංකාවට එන සංචාරකයා කෙළින්ම කොළඹ හෝටලයක වැදී කාමරයක් වෙන් කරවාගෙන ඉන්පසු තමන් කරන්න යන්නේ කුමක්දැයි සැලසුම් කිරීම ය.
ඒ කටයුත්තට සංචාරකයාට සහාය වීම සඳහා සෑම හෝටලයක්ම ට්‍රැවල් කවුන්ටරයක් විවෘත කර තිබුණි. සංචාරකයාත් ගයිඩ් මහතාත් එකට මුණගැසුණේ මේ ට්‍රැවල් කවුන්ටරයේදී ය. අසවල් දිනයේ අසවල් තැනට කැඳවාගෙන යා හැකි යැයි ඔවුන් දෙදෙනා තීරණය කළේ මේ හමුවේදී ය.
“ඉස්සර ආපු ටුවරිස්ට්ලා අද එන අය වගේ නෙමේ. එයාලා ලංකාව ගැන වැඩිය මුකුත් දැනගෙන නෙමෙයි ආවේ. එයාලා හිතුවේ මේක දූපතක්. හරිම වෙනස් මිනිස්සු ඉන්න රටක් කියලයි. බුද්ධාගමත් ඕකට බලපානවා මම හිතන්නෙ. බෞද්ධ කිව්වම හරි නිවිච්ච නිස්කලංක මිනිස්සු ඉන්න රටක් කියලනෙ හැමෝම හිතන්නෙ”
බ්‍රැන්ඩි ගයිඩින් පටන් ගත් කාලයේදී ඔහුට කරන්නට තිබුණේ ඉතා සරල වැඩකි. දළදා මාලිගාව, සීගිරිය වැනි තැනකට සංචාරකයන් කැඳවාගෙන ගිය විට ලබාදෙන්නට තිබුණේ කෙටි විස්තරයකි. අද මෙන් අන්තර්ජාලය දියුණුව නොතිබුණු එදා සංචාරකයන් ලංකාව ගැන නොදන්නා කරුණු වැඩි නිසා බ්‍රැන්ඩිලාගේ වැඩේ පහසු විය. එහෙත් එය පසුව එන්න එන්නම අමාරැ වූයේ ඔවුන් ලංකාවට පැමිණයේ ලංකාව ගැන බොහෝ තොරතුරැ දැනගෙන වීම් නිසාය. ඒ තොරතුරු ඇසුරින් අසන්නට ප්‍රශ්න රැසක් ඔවුන්ට තිබුණි.
“ඔය සෙල්ලම දිගටම කරගෙන යන්න බැරිවුණා. ටිකෙන් ටික එයාලා අපෙන් ප්‍රශ්න අහන්න ගත්තා. ගල් විහාරෙ බලන්න ගියාම අහනවා, ඇයි එක පිළිමයක් හිටගෙන, ඇයි එකක් නිදාගෙන කියලා. මුලදි ඕවට උත්තර දෙන්න අපි දැනගෙන හිටියෙ නෑ. ඉතින් ඔය තැන්වල තියෙන පුංචි පොත් අරගෙන කියවලා තමයි දැනුම රැස් කළේ. ඔය හේතුව හින්දම තමා අපි ගයිඩ් ලයිසන් එක ගන්නත් පෙළඹුණේ. ඒක ඇත්තටම මරැ කාලයක්” බ්‍රැන්ඩි කීවේ ජනේලයෙන් එපිට ඈත බලාගෙන ය. ගයිඩ් කෙනකු ලෙස සාර්ථක ගමනක් ඒමට අත්විඳි දුෂ්කරතාවය ඔහුගේ සිහියට එන්නට ඇතුවාට සැක නැත.
“මම මේ රස්සාවට පුදුම විදිහට ආසයි, ආදරෙයි. ඒ ආදරේ තව තවත් වැඩිවෙන්නේ, වෙන රස්සාවල් කරන අය මුණගැහුණු වෙලාවට තමයි. මොකද ඒ අය තම තමන්ගෙ රස්සාවේ තියෙන ප්‍රශ්න ගැන කතාකරද්දී මට රස්සාව ගැන කියන්න ප්‍රශ්න නැහැ. ඒ ගොල්ලොන්ට ගෙදර ඉද්දි ගෙදර ප්‍රශ්න, රස්සාවට ගියහම රස්සාවෙ ප්‍රශ්න. හැබැයි මට රස්සාවට ගියහම ගෙදර ප්‍රශ්නත් අමතක වෙනවා” බ්‍රැන්ඩි ඒ ටික හෙමින් කීවේ අසල හිටි බිරිඳට ඇසුණෝතින් කියා විය යුතුය. එහෙත් ඔහු දැන් පරක්කු වැඩි ය.
සුද්දන්ටත් මාර ප්‍රශ්න
බ්‍රැන්ඩිට බොහෝවිට මුණගැසෙන්නේ ආයතන මට්ටමෙන්, සංවිධාන මට්ටමෙන් සංචාරයේ යෙදෙන කණ්ඩායම් ය. MICE Tourism කියා පොදුවේ හඳුන්වන මේ සංචාරවලට සම්බන්ධවන්නේ තම ආයතනයෙන් දීමනාවක් වශයෙන් ලංකාවේ සංචාරයක් හිමිවූ පිරිස් ය. දොස්තරවරු, ගණකාධිකරැවන් මෙන්ම මත්ස්‍ය, වඩු කර්මාන්ත වැනි කාර්මික ක්ෂේත්‍රයන්හි පිරිස් ද ලංකාවට මෙසේ සංචාර හිමිකරගෙන පැමිණෙති.
බ්‍රැන්ඩි පවසන ආකාරයට මත්ස්‍ය, වඩු වැනි කර්මාන්ත පසුබිමකින් එන සංචාරකයන් ලංකාව තුළ ඒ ඒ කර්මාන්ත ක්‍රියාත්මක වන හැටි දැනගැනීමට උනන්දුය.
“වඩු කර්මාන්තෙ ඉන්න අය එහෙම ආව වෙලේ ඉඳන් අපෙන් ප්‍රශ්න කරන්නේ ලංකාවෙ ගස් ගැනම තමා. ඉතින් අපිට ලී වර්ග ගැන විතරක් නෙමේ, ඒවයේ කියුබික් මීටර් ගණන් පවා ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඔය මාළු කර්මාන්තෙ ඉන්න අය ආවම මා දැල් අදිනවා බලන්න යන්න එහෙම ආසයි. ඒගොල්ලන්ගේ රටේ ඒවා නෑනෙ”
“හිටපු ගමන් මාර ප්‍රශ්න තමා අහන්නේ. අහන සමහර දේවල්වලට අපිවත් කැරකැවිලා යනවා” ඔහු කියන්නට ගත්තේ අපූරැ කතාවකි.
අපි දැනගෙන හිටියේ නෑනෙ ලංකාවේ ඉන්න පිරිමි අය ගොඩක් හෝමෝ සෙක්ෂුවල් කියලා. ලංකාවේ මේ තරම් හෝමෝ සෙක්ෂුවල් කට්ටිය ඉන්න එක නම් හරිම පුදුමයි. දවසක් ඉතාලි ටුවරිස්ට් කෙනෙක් මගේ කනට කරලා කීවා. මම බැලුවා මේ මොකක්ද මේ කියන්නෙ කියලා.
බ්‍රැන්ඩිගේ කතාව මා තුළ ඇති කළේද කුහුලකි.
පස්සෙ බැලින්නම් අපේ රටේ කොල්ලෝ සාමාන්‍යයෙන් කරේ අත දාගෙන යනවනෙ. අපේ රටේ යාළුවෝ එහෙමනේ. කරේ අත දාගෙ යන එක හරිම සාමාන්‍යයි. ඒත් යුරෝපෙ පිරිමි අය එහෙම යන්නෙ නෑ, එහෙම යන්නෙ අර වගේ අය විතරයි. ඒකයි අරයා මගෙන් ඒ විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ. පස්සෙ ඉතින් මම එයාට ඇත්ත කියලා දුන්නා” බ්‍රැන්ඩි කීවේ හයියෙන් සිනාසෙමිනි.
අපිට ප්‍රශ්න නොවෙන සාමාන්‍ය දේවල් බොහෝමයක් ලංකාවට එන සුද්දන්ට අමුතු දේවල් ය. දවල් කාලයේ මහ මඟ මිනිසුන් බහුලව ගැවසීමත් ඔවුන්ට ප්‍රශ්නයකි. ලංකාවේ මිනිසුන් රස්සා නොකරන්නේ ද යන්න ඒ සමඟ ඔවුන්ට ඇතිවන ගැටලුවයි. මේ ආදී අතොරක් නැතිව මතුව ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු බැඳීමේ වගකීම බ්‍රැන්ඩිලාගේ කර මත පැටවී තිබේ.
“ඔය විදිහට අහන තව ප්‍රශ්නයක් තමයි ලංකාවේ ගෑනු අයගේ අතේ හැම තිස්සෙම කුඩයක් තියෙන්නෙ ඇයි කියන එක. එහෙම ඇහුවම තමයි අපිටත් තේරෙන්නේ ඇත්ත නේද? මෙහෙම දෙයක් තියෙනවා නේද? කියලා. ඉතින් කොළඹදි අනුරාධපුරේදී වගේ ඔය ප්‍රශ්නෙ ඇහුවොත් අපි කියනවා අව්ව නිසා කුඩේ ඉහළනවා කියලා. නුවරඑළියෙදි හරි ගම්බද පැත්තකදි හරි ඇහුවොත් කියනවා වැස්ස නිසා ඉහළනවා කියලා. වෙන මොන උත්තර දෙන්නද ඒ වගේ ප්‍රශ්නවලට”
පින් සිද්ධ වෙච්චාවේ!
සංචාරක කර්මාන්තය යනු වර්තමාන ලෝකයේ ඇති වඩාත්ම තරගකාරී ක්ෂේත්‍රයක් යැයි කීම වැරදි නැත. ලංකාව මෙන්ම සංචාරකයෙක්ට අත්දැකීම් ලැබිය හැකි සුන්දර ගමනාන්ත රුසක් ලොව පුරා පවතී. ලංකාව වැනිම අත්දැකීම් පිරිනමන තැන් ද බොහෝය.
“මම දැන් ලංකාව ප්‍රමෝට් කරන්නේ පින කියන සංකල්පය ඉස්සරහට අරගෙනයි. ඒ කියන්නේ, ලංකාවට ටුවරිස්ට් කෙනෙක් එන්න තීරණය කරපු මොහොතේ ඉඳලා, පැකේජ් එකකට සල්ලි බැන්ද දවසෙ ඉඳලා ඒ අයට ලොකු පිනක් ලැබෙනවා කියලා මම එයාලට තේරුම් කරලා දෙනවා. එයාලා මේ ටුවර් එක ගත්ත හින්දා අපේ රටේ කීදෙනෙක් ජීවත් වෙනවද? ගයිඩ් විදිහට මම ජීවත් වෙන්නෙත් ඒකෙන්නෙ. ඉතින් ඒ පින එයාලට ලැබෙනවා කියලා මම පෙන්නලා දෙනවා. වෙන කිසිම රටකදි ඒ පින ලැබෙන්නෙ නැති බවත් කිව්වට පස්සේ සුද්දා ආපහු තමන්ගේ රටට යන්නේ ලෝකෙ වෙන කොහෙන්වත් ගන්න බැරි අත්දැකීමක් ලැබුවා කියලා හිතාගෙනයි. අනික ඒක බොරැවකුත් නෙමේනෙ”
බ්‍රැන්ඩි කියන ආකාරයට ලංකාවේ මිනිස්සුන්ට මෙන්ම සතුන්ට ද සංචාරකයන් නිසා ලැබෙන්නේ ලොකු අවස්ථාවකි. එනිසා මිනිසුන්ගේ ආශීර්වාදය මෙන්ම සතුන්ගේ ආශීර්වාදය ද සංචාරකයන්ට හිමිවිය යුතුය.
“පින්නවලට එහෙම ගියාම එයාලා ප්‍රශ්න කරන්න කලින් මම කතාකරනවා. පින්නවල ටිකට් එක රුපියල් දෙදාස් පන්සීයයි. ඉතින් මම කියනවා, අලියෙක්ට දවසකට කෑම මෙච්චරක් ඕනෙ, කිරි ලීටර් මෙච්චරක් ඕනෙ. ඒ වෙනුවෙන් ලංකාවේ රජයට වියදම් කරන්න සල්ලි නැහැ. ඔයාලගේ සල්ලිවලින් තමයි මේ සත්තු කෑම කන්නෙ, කිරි බොන්නෙ කියලා. එහෙම ඇහුවම එයාලට හරිම සතුටුයි. සමහර අයගේ ඇස්වලට කඳුළුත් උනනවා. ඒ හින්දා ටිකට් එකේ ගාණ වැඩියි වගේ ප්‍රශ්න අහන්න එන්නෙත් නෑ”
නමුත් එකම තෙලේ හැමතැනටම හරියන්නේ ද නැත. විශේෂයෙන්ම සුද්දාට හරියන තෙලේ ඉන්දියානුවාට හරියන්නේ නැත.
“දළදා මාලිගාවට ගියාමත් ටුවරිස්ට්ලා ටිකට් ගන්න ඕනෙන. ඒ වෙලේට සමහර ඉන්දියන් කට්ටිය අපිත් එක්ක ගෝරි දාගන්නවා. බුදුන් කියන්නේ අපේ රටේ මනුස්සයා. ඒ මනුස්සයගේ ධාතු බලන්න යන්න අපි සල්ලි ගෙවන්න ඕනෙ ද කියලා අහන්න ගන්නවා. මොනව කරන්නද ඉතින් අපේ ගෙස්ට්නෙ. බොහොම අමාරුවෙන් මුකුත් නොකියා කරබාගෙන ඉන්නවා”
(සංචාරයන් අතරතුර බ්‍රැන්ඩි මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම් රැසක් සමඟින් ලබන සතියේ හමුවෙමු)
රජිත ජාගොඩ ආරච්චි