ලංකාවේ දශක තුනක් පුරාවට පැවති යුද වාතාවරණය නිසා රටේ නායකයන්ට එල්ල වී තිබුණේ බරපතළ ජීවිත අවදානමකි. එවකට ත්‍රස්තවාදී ඉලක්ක වූ රටේ දේශපාලන නායකත්ව ආරක්ෂා කිරීමේ පිළියමක් වශයෙන් ප්‍රභූ ආරක්ෂක රථ සේවා ආරම්භ විය. මගතොටදී ජනතාවට හිරිහැරයක් වුවද ප්‍රභූ පරිවාරක රථ සම්බන්ධයෙන් ඒ කාලයේ කිසිවෙක් විවේචනය කළේ නැත. දැනට යුදමය තත්ත්වය ඉකුත් වී වසර නවයක් ගෙවී අවසන්ය. එබැවින් කිසිදු දේශපාලන නායකයකුට යුද බියක්, ජීවිත අවදානමක් හෝ තර්ජනයක් නොමැති වුවද ඔවුන්ගේ ප්‍රභූ ආරක්ෂක රථවලින් අඩුවක් නැත. පදිකයන් තුට්ටුවකට මායිම් නොකොට මාර්ග නීති සහමුලින්ම උල්ලංඝනය කරමින් රටේ නීතිය කමකට නොගෙන අධික වේගයෙන් ධාවනය කරන ප්‍රභූ පරිවාරක රථ සැබවින්ම ජනතාවට හිරිහැරයකි.
පදිකයන් නොසලකා මාර්ග නීති නොතකා අනවශ්‍ය කලබලයක් පෙන්වමින් ප්‍රභූන් බව අඟවා සෙසු ජනතාව අතර කැපී පෙනෙමින් අධික වේගයෙන් ගමන් ගන්නා ප්‍රභූ වාහන සහ පරිවාරක රථ අද ද ඕනෑ තරම් දකින්නට ලැබේ. සියලුම මාර්ග නීති උල්ලංඝනය කරමින් වේගයෙන් ධාවනය කරන මෙකී ප්‍රභූ රථවලින් සිදුවන අනතුරු හේතුවෙන් සාමාන්‍ය ජනතාව අනතුරට පත්වී බරපතළ තුවාල ලැබීම් හා ජීවිතක්ෂයට පත්වූ සිදුවීම් ගණනාවකි. එවැනි අවස්ථාවකදී මොහොතක් නතර නොවී පලා යාමද ඇතැම් ප්‍රභූන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් වී තිබේ.
මාර්ග නීති හා රථ වාහන නීති එකක් නෑර උල්ලංඝනය කරමින් ප්‍රභූන් යැයි සිතා මහජනතාවට වදයක් වන ඇතැම් දේශපාලනඥයන්ගේ පරිවාර රථ සියලු මාර්ග නීති අමු අමුවේ කඩ කරමින් ධාවනය කරන්නේ රථවාහන පොලීසිය නියෝජනය කරන නිලධාරීන් හා පෙර ගමන් රථ වීම කනගාටුවට කරුණකි.
ප්‍රභූ පරිවාරක රථ සහ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසන්නට පෙර ප්‍රභූවරයා කවරෙක්ද යන්න පැහැදිලි කරගත යුතුය. වර්තමානයේ ප්‍රභූත්වය දේශපාලන අධිකාරිය විසින් ගිලගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. එයනම් දේශපාලනඥයින් විසින් බලෙන් ආරෑඪ කරගත් එකකි. යම් අයකුගේ හැකියාව, දැනුම, බුද්ධිය සහ සමාජ අවබෝධය මත ප්‍රභූත්වයට පත්වීම යහපත්ය. ඉතිහාසයේ ප්‍රභූන් සාක්ෂි දරන්නේ ඒ පිළිබඳවය. මහනුවර යුගයේ රදළ පරම්පරාව බලෙන් ප්‍රභූත්වය ආරෝපණය කොට ගැනීම එම යුගය බිඳවැටීමට මෙන්ම විදේශිකයන්ට රට නතු වීමට පවා හේතුවක්ව තිබිණි.
මෙම ව්‍යාජ ප්‍රභූත්වය පසෙක දමා සැබෑ ප්‍රභූන් කවුරුන්දැයි දැක්වීම සුදුසුය. අතීත රාජාණ්ඩු සමයේ රජවරු පවා සිය මව පියාට හැර හිස දණ නමා අචාර කළ පිරිසක් සිටියහ. පූජ්‍ය පක්ෂය එහිදී ප්‍රමුඛ විය. ඔවුන් යහමඟ යවන්නට කැප වූ තම සුඛ විහරණය නොතකා රටේ සුබ සිද්ධියට කටයුතු කිරීම හේතුවෙන්ම ඔවුහු ප්‍රභූන් බවට නිතැතින්ම පත් වූවෝ වෙති. ගුරුවරයා සිය දරුවන් යහමග යවන්නට ගන්නා උත්සාහය තුළ ගෝලයා ගුරුවරයා අභිබවා යාමට යන අදහස මූලිකය. මෙහිදී තමුන්ට වඩා බාල පරම්පරාව ඉහළට ඔසවා තැබීමට කරන මෙහෙය නිසා නිතැතින්ම ප්‍රභූවරයෙක් බවට පත්වී තිබේ. වෛද්‍යවරයා රෝගීන් සුවපත් කිරීම සඳහා සිදු කරන මෙහෙවර හේතුවෙන් ඔහු ද ප්‍රභූවරයෙක් වශයෙන් සැළකීමට රජවරුන් ක්‍රියා කර තිබුණි. මෙකී ප්‍රභූන් තිදෙනාම සිය සමාජ මෙහෙවර තුළින් ආත්ම තෘප්තිය ලැබූවෝ වෙති. මේ පිරිස් හරහා ගමේ නායකත්වය රැඳී තිබුණි. නිතැතින්ම ඔවුන්ට සමාජයේ ඉහළ ගරැත්වයක් ලැබී තිබුණි. මෙය රටේ දේශපාලනයට වඩා ඉහළින් ඇගයූ ප්‍රභූත්වයකි.
එහෙත් නිදහස ලබා ගත වූ වසර 70 තුළදී රටේ දේශපාලන යාන්ත්‍රණය විසින් සූක්ෂම ලෙස ප්‍රභූත්වය විනාශ කර තිබේ. එය රටේ ආර්ථික, සාමාජික, සාර්ධර්ම වශයෙන් වර්තමානයේ උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. ඊට ප්‍රමුඛ කරැණ වන්නේ ප්‍රභූත්වය බලෙන් ආරෝපණය කරගත් පිරිසක් බිහි වීමය. මේ නිසා වර්තමානයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරයා මෙන්ම වෛද්‍යවරයා යන අතීත ප්‍රභූන් දේශපාලනඥයන්ට වඳින සහ ඔවුන්ගේ අතකොලු බවට පත්වී හමාරය. එබැවින් රටේ උගත් බුද්ධිමත් ප්‍රභූ පිරිස දේශපාලනඥයන්ගේ මුදල් මත යැපෙන තත්ත්වයට පත් කරනු ලැබ තිබේ. මෙහිදී නිසි ප්‍රභූන් සමාජයේ කොන් වීමත් මුදල් බලයෙන් ප්‍රභූත්වය ආරෝපණය කරගත් දේශපාලනඥයන්ගේ පිබිදීමත් ඇරඹී ඇත. එය ඔවුන්ගේ කූඨ උපක්‍රමයක ඵලයකි.
තිස් වසරක් රටේ පැවති යුද වාතාවරණය තුළ ශ්‍රී ලංකාවට එරෙහි වූ පොදු සතුරා එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. එය සහමුලින්ම විනාශ කිරීම රටේ බලාපොරොත්තු විය. එයට ජාති ආගම් භේදයක් නොවීය. මෙහිදී බහුතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින රටේ දේශපාලන නායකත්වය ආරක්ෂා කිරීම රටේ ප්‍රබල අවශ්‍යතාවයක් විය. එය රට පුරා ස්ථාවරව තබා ගැනීමට ප්‍රබල අවශ්‍යතාවයකි. මේ කාලය තුළදී පෙර කී ප්‍රභූ කණ්ඩායම්වල නායකයන් මෙන්ම රටේ ආර්ථික මර්මස්ථානවලට වැදගත්කමක් දිය හැකි බොහෝ නායකයෝ ද ත්‍රස්තවාදීන්ට ගොදුරැ වූහ. මේ හරහා ප්‍රභූ ආරක්ෂාව අත්‍යාවශ්‍ය කාරණයක් වූයෙන් ඊට ප්‍රතිපාදන හා පහසුකම් නිර්මාණය කෙරැණි. එම අවශ්‍යතාවය ඉතා පැහැදිලි හා කාලෝචිත එකකි. එහෙත් අද රටේ තත්ත්වය වෙනස්ය. ත්‍රස්තවාදය මෙන් රටට පොදු සතුරෙක් ඇත්තේ නැත.
වර්තමාන ලංකාවේ දේශපාලනාධිකාරිය සුළුතරයකි. බහුතරය වන්නේ රටේ මහජනතාවය. ඒ අනුව දැනට රටේ පොදු සතුරෙක් වශයෙන් දේශපාලනඥයන් හැඳින්වීම වරදක් නැත. බහුතර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු දේශපාලනඥයා අද ජනතාවගෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රභූ ආරක්ෂාව සහ ප්‍රභූ පරිවාරක රථ භාවිතා කරති. ඔවුන් මහජන ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් වුවද සිදු කරන්නේ කළු චරිතයක් ලෙස හිඳිමින් තමුන් ආරක්ෂා වීමට මාන බැලීමය. දැනට දේශපාලනයේ ඇතැම් නායකයන් කළු හෝ ජරා චරිත බවට ජනතාව හඳුනාගෙන සිටිති. සමාජ විරෝධී චරිත වන ඔවුන්ට මහජනතාවගෙන් බේරීම සඳහා ඔවුන් ප්‍රභූ ආරක්ෂාව ආභරණයක් කොටගෙන සිටිති.
මේ හරහා ප්‍රභූත්වය ගොඩනගා ගන්නා දේශපාලකයා වඩාත් ප්‍රභූ ආරක්ෂාව යොදාගනිමින් සිටිති. ඒ හැර රටේ කිසිදු ප්‍රභූ ආරක්ෂාවක් හෝ එවැන්නකට වෙහෙසීමේ අවශ්‍යතාවයක් රට තුළ නැත. යහපත් නායකයන් ආරක්ෂා කරන්නට සමාජය ඉදිරිපත් වෙති. එය ස්වභාවිකය. නමුත් දැනට පවතින තත්ත්වය අනුව රටේ ඇතැම් නායකයන් හෝ පාලකයන් සමාජයේ බහුතරය ප්‍රතික්ෂේප කළවුන්ය. යුද වාතාවරණය පැවති සමයේ වුවද රට පිළිගත් වැදගත් නායකන් කිසිදු ආරක්ෂාවක් රහිතව ගැවසෙනවා දකින්නට ලැබිණි. ඔවුහු වැදගත් උගත් බුද්ධිමත් නිහතමානී පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ගරුත්ව හැසිරීම නිසා සමාජය ඔවුන්ව සුරකින්නට ඉදිරිපත්ව සිටියේය. කනගාටුවට කරැණ අද දකින දේශපාලනයේ ප්‍රභූන් යැයි කියන පිරිස් අතර එවැනි පෞරැෂත්වයක් නොපෙනීමය. එකී උගත්කම, දැනුම, බුද්ධිය, හැකියාව නොමැති සියල්ල ඇති කර ගැනීම සඳහා ප්‍රභූ ආරක්ෂාව උපයෝගී කරන්නට පෙළඹී සිටිති. රට නොදියුණු වී අරාජිත වන්නට එම ක්‍රියාකාරකම් ප්‍රබල හේතුවකි.
මාර්ග නීති රටේ පොදු නීතියේ කොටසකි. ඒවා උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට හෝ හිමිකම් නැත. රටේ පවතින නීතිය සමානාත්මක නොවීම ගැටලුවකි. දුප්පත් පොහොසත් දෙපිරිසට නීතිය දෙආකාර බව පැහැදිලිය. යතුරැ පැදියට, ත්‍රී රෝද රථයට ක්‍රියාත්මක රථවාහන නීති හෝ මාර්ග නීති දේශපාලනඥයන්ට හෝ ධනවතුන්ට බලපාන්නේ නැත. ඒවා ප්‍රභූ දේශපාලකයන්ට අදාළම නැත. නීතිය රකින්නට ඇති පොලීසියට සිදුව ඇත්තේ සිය ජීවිතය සතුට මුදලට පාවා දෙමින් දේශපාලකයා හරහා යැපෙන්නටය. මේ නිසා ප්‍රභූත්වය ආරෝපණය කරගත් දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වීම බලාපොරොත්තු වීමත් විහිළුවකි.
රටේ නීතිය සමානාත්මතාවයෙන් ක්‍රියාත්මක වේනම් කිසිදු දේශපාලකයකුට මාර්ග නීති උල්ලංඝනය කරමින් පරිවාරක රථ වට කරගෙන යාමේ හැකියාවක් නොමැත. ඒ අයුරෙන් ධාවනය කරනා බව දකින සෑම අවස්ථාවකම ජනතාව අවබෝධ කරගත යුත්තේ මේ කාබාසිනියා වන්නේ රටේ මහජන මුදල් බවය. එය අවබෝධ නොකර ගැනීම අභාග්‍යයකි. රටේ යහපත් දේශපාලන නායකත්වයක් පවතීනම් යැපුම් සංස්කෘතිය වුවත් ගැලපෙන්නේය. එය ශක්තිමත්ය. එහෙත් එතුළින් පිරිසිදු නායකත්වයක් බිහිවීම පිළිබඳ සිතිය නොහැකිය. ලංකාවේ කම්කරු වෘත්තියේ නිරත පුද්ගලයෙක් ඔහුගේ දරැවා කම්කරැ වෘත්තියෙන් ඉහළ තලයකට යොමු කරන්නට උත්සාහ ගත්තද මෙරට දේශපාලනඥයා ඔවුන්ගේ දරුවන් ද දේශපාලකයෙක් කිරීමට පෙළඹේ. මේ තත්ත්වය මත රටේ ජනතාව අතර ස්වාධීන මතධාරීන් පිරිසක් බිහි වූයේනම් යහපත් තත්ත්වයක් ඇති වේ. බහුතර නූගත් දේශපාලනඥයන් සිතන්නේ තමා වටා ආරක්ෂක නිලධාරීන් සහ පරිවාරක රථ වැඩි වූ පමණින් සිය පෞරෂය හා බලය වැඩි වන බවය. මෙය පැහැදිලිවම මිථ්‍යාවකි. මේ සඳහා විරැද්ධ වීමට ජනතාව ඉදිරිපත් නොවනතාක් පුහුමානය සහිත ප්‍රභූ දේශපාලකයන් මහමග සංදර්ශන පවත්වනු ඇත.
සාකච්ඡා කළේ
විල්තෙර