2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ස්වයංරැකියාවලට යා හැකි ග්‍රහ පිහිටීම්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 292

දල කේන්දරය අතට ගත් පමණින් සමහර විට ජන්මියා ස්වයං රැකියා හෝ හවුල් ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නෙක්දැයි අනුමාන කළ හැකිය. යම් කිසිවකුගේ කේන්දරයේ 7, 10, 5, 9, 2 යන ස්ථාන වැඩි ග්‍රහයන් නියෝජනයක් දක්වන කල (6 දුර්වල වී) හෙතෙම අනුන් යටතේ වැඩ නොකරයි. ස්වාධීන ආදායම් මාර්ගවල නිරත වෙයි. අප දැක ඇති මෙවැනි පිහිටීම් ඇති බොහෝ කේන්දරවල එසේම සිදුවී ඇත. 2 ආදායම් මාර්ගයද, 6 අනුන් යටතේ කරන රැකියාද, 10 පරිපාලනමය හා උසස් මට්ටමෙන් කරන රැකියාද පෙන්වයි.

සමහර අය සුරක්ෂිතභාවය සඳහා රජයේ හෝ වෙනත් ආයතනයක රැකියාවක් කරන අතර, ඊට අමතරව බිස්නස්වලද නිරත වී සිටියි.

මෙවැනි හේතු නිසා අපි අනුමානයට ඉඩ නොතබා හැමවිටම උපස්ථානය සෙවීමට පුරුදු විය යුතුය. 7 උපස්ථානාධිපති 7, 10, 2 ප්‍රධාන වශයෙන් නිවේදනය වීම හෝ 10 උපපති 10, 2, 7 නිවේදනය වන විට හවුල් ව්‍යාපාරවල යෙදෙයි. නමුත් මෙයින් ලැබෙන ලාභයන් ගැන වගකීමට මෙම භාවයන්ට තනිකරම නොහැකිය. ඒ සඳහා 11 වන භාවයේ තත්ත්වය ගැනද සලකා බැලිය යුතුය. බිස්නස් කාරයන් බොහෝ විට වරින් වර ණය ගනියි. මේ නිසා 6 වැනි භාවයද මොවුන්ට වැදගත් වෙයි.

සමහරුන් එතරම්ම ධන කුවේරයන් නොවූවත් තම ආදායම් මාර්ග සඳහා හවුල් ව්‍යාපාර හෝ ස්වයං රැකියා තෝරාගෙන ඇත. එවැනි කේන්දරයක් දැන් අපි බලමු.

1963.07.02 උපන් කන්‍යා ලග්න (50.6) කේන්දරය සලකා බලමු.

එහි 7 උපපති ශනීය. එම ශනී 5, 6 අධිපති වශයෙන් 5ම තැන්පත් වී 12 සිටින 3, 8 අධිපති කුජගේ නැකතේත් තමාගේම උපස්ථානයේත් පිහිටා ඇත. ශනි 11 නැකැත් සහ උපස්ථාන අධිපතිද වෙයි.

මේ අතර 10 උපපති රවි 10 වෙනි භාවයේ 10 රාහුගේ නැකතේ තැන්පත්ව, 9 සිටින 2 හා 9 අධිපති ශුක්‍රගේ උපස්ථානයක ඇත. රවි සහ රාහු දෙදෙනාටම 7 සිටින 7 අධිපති ගුරුගෙන් දෘෂ්ටියක්ද ඇත. රවි 12 අධිපතියාය. ශනි සිටින නැකත අධිපති කුජද 12 සිටියි. මෙයින් ආයෝජන යෙදීම පෙන්වයි. ශනි 6ද අධිපති වීම නිසාත් කුජ 6 නැකැත් අධිපති වීම නිසාද මොහු ටික කලක් ආයතනයක රැකියාවක්ද කළේය. එසේ වුවත් ස්වයං ව්‍යාපාරද අතහැරියේ නැත. දැනට ස්වයං ව්‍යාපාරයක් කරගෙන යයි. මහා පරිමාණ ලාභ අලාභ කෙසේ වෙතත් ඔහු වාහනයක්ද සහ සේවකයන් කීප දෙනකුද යොදවා තම ස්වාධීන වෘත්තිය කරගෙන යයි.

මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍රකරැවන්ට ස්වයං රැකියා මිස කිසිදු විටෙක රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කිසිවකු යටතේ කරන රැකියා යාදෙන්නේ නැත. කුමන හෝ වරදක් නිසා එයින් ඉවත් වීමට සිදුවේ. අතේ සුළු මුදලකින් හෝ යම් ව්‍යාපාරයක් කරගෙන සාර්ථකභාවය ළඟාකර ගැනීමට භාග්‍යවන්ත වනවා ඇත.

♦ පානදුරේ රොහාන් වීරරත්න
දුම්රියපොළ පාර, පානදුර.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00