2018 මාර්තු 03 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය අවිනිශ්චිතයි

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

පවතින රජයට කුමන අභියෝග විරෝධතා මතු වුවද එවැනි ප්‍රබල අණ්ඩු විරෝධී ජනතා රැල්ලක් දියත් වෙමින් තිබූ 2017 අප්‍රේල් 30 වෙනිදා දේශය පුවත්පතේ අසිදිසි අතිරේකයෙන් අප කියාසිටියේ “2017 දී මෙම ආණ්ඩුව පෙරළන්න බැහැ කියාය. ඒ වාගේම 2017 දෙසැම්බර් 03 වෙනිදා දේශය පුවත්පතේ අසිදිසි තීරය යටතේ “මෙවරත් ආණ්ඩුව නූලෙන් බේරේවී* යන මාතෘකායව යටතේ අප කියා සිටියේ රාජ්‍යයේ සථාවරත්වයන් ඇතිවන බවය.

ඉහත දැක්වූ අනාවැකි සඳහා ප්‍රබල සාධකය ලෙස අප තෝරා ගත්තේ රවි ග්‍රහයාගේ පැවති ගෝචර ශක්තිය ආණ්ඩුවේ දුබල නායකකාරකාදීන්ට බලපෑ ආකාරයයි. ඒ වගේම එවකට බලපැවැත් වූ මාසික සූර්ය කේන්ද්‍රවල පැවති රාජ්‍ය ස්ථාවරත්ව දෘෂ්ටි බලයයි.

2018 ආරම්භයේ සිටම රජය බලවත් කරන ග්‍රහ ගෝචරයක් රවි, ගුරු, කුජ, ශනි යන චතුර් ග්‍රහ ශක්තිය මඟින් මවා ඇත. මේ තුළින් රජයට එරෙහි බලවේගවල ක්‍රියාකලාපයන් ඔවුන්ටම පාරාවළල්ලක් ලෙස ආපසු කැරකී යාම නිසා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ලබන කණ්ඩායම් තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.

මහ මැතිවරණයක් නැහැ

මේ නිසා රාජ්‍ය විරෝධී කොටස් කොතරම් ඉල්ලුම් කළත් 2018 දී මහා මැතිවරණයක් ලබාදීමට ග්‍රහ ශක්තිය ක්‍රියාකරන්නේ නැත. මනුෂ්‍යයා විසින් 2018 සැප්තැම්බර් මාසයේ දී පළාත් සභා මැතිවරණයක් කැඳවීමට ප්‍රකාශ කර ඇතත් ග්‍රහ ශක්තිය විසින් එවැන්නක් ශ්‍රී ලාංකිකයාට ලබාදීමට තරම් ගෝචර බලයක් ඉස්මතු කරඇති බවක් පෙනෙන්නට නොමැත. මේ නිසා නිර්ධන පොදු මහජනතා සුභ සිද්ධියට කළ යුතු සේවය පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් විසින් සිදුකරනු ලබන්නේ නම් එය නියම පරාර්ථකාමය වන්නේය. 

අතීතයේදී ශ්‍රී විෂ්ණු දෙවියන් විසින් “රාවණා නම් වූ ලංකේශ්වරයාණන් මරා දමනු ලැබ විභීෂණ දෙවියන්ට රටේ ආරක්ෂාව සිදුකිරීමට භාර දුන්නේය. එකී බලය අදටත් ක්‍රියාත්මක වන අතර ජනතා සුභ සිද්ධිය කෙළෙසෙන ක්‍රියාකාරකම් සිදුවන විට නායකකාරකාදීන්ට මෙන්ම මහජනතාවට ප්‍රබල විපත්ති සිදුකර රටත් ජාතියත් සුරැකීම දේව නීතිය වෙයි.

මීට හොඳම උදාහරණ මෑත අතීතයෙන් ලැබී ඇත. එනම් 2004 පැවති සුනාමිය සහ 2009 දී සිදුවූ ප්‍රභාකරන්ගේ විනාශයයි.
මේ නිසා රජය කරවන ඇත්තන්ද විරුද්ධ පක්ෂ මතධාරීන් ද රාජ්‍ය නිලධාරීන් ද හොඳින්ම මතක තබාගත යුත්තේ ජනතාවට හිරිහැරවන ක්‍රියාකාරකම්වල නිරත වීම නොව අහිංසක පොදු මහ ජනතාවගේ සිතගත සැනසෙන ක්‍රියාකාරකම්වල යෙදීම දිගටම පාලනය ස්ථිරකර දෙන බවය.

දැන් මැතිවරණ අවසානය. ඒපිටම ඉල්ලීම් දිනාගැනීමටයයි පවසමින් පටු චේතනා ඉස්මතු කරගෙන රෝගීන්, අහිංසක මගීන්, පදිකයින්, බිල්ලට දෙමින් දියත් කරන උද්ඝෝෂණ විරෝධතා වැඩවර්ජන අසාර්ථක වේ. ඒ නිසා සිහින මාලිගාවන්හි නොව යථාර්ථයට මුහුණ දී රටත් ජනතාවත් සුරකෙන ක්‍රියාකාරකම්වල යෙදීම සැමට හවුහරණයක් ගෙනදෙන බව සිතිය යුතුයි. ග්‍රහ බලය විසින් පත්කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පෙරළන්නට මැර බලයෙන් නුපුළුවන් බව ඈත අතීතයේදී මෙන්ම මෑත අතීතයේදීත් පෙන්නුම් කොට ඇත. ආණ්ඩුවේ අනාගතය දකින්නේ දේශපාලන නායකයින් නොවේ. ජ්‍යොතිර්වේදීන්ය. ඒ නිසා මැතිවරණ කාලය ගැන කියන තෙක් මහජන සේවයේ යෙදීම දේශපාලනඥයින්ගේ යුතුකම හා වගකීම වන්නේය.

ජ්‍යොතිෂ නන්දන
විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී
ගාල්ලේ, තලගල, අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන