2018 මාර්තු 10 වන සෙනසුරාදා

ඉල්ලන් කන පරිප්පු

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

වාසිබෝලන්තවාසී මගේ මිත්‍රයකු ඊයේ පෙරේදා දවසක මරු ප්‍රශ්නයක් ඇසුවේය.

මිස්ට ප්‍රභාකරන්ගෙ කටේ රත්තරන් දාන්න වටිනවා නේද?

ඒ මොකද?

මිනිහනෙ කිව්වෙ සිංහල මුනියට ඕනම සිද්ධියක් මතක හිටින්නෙ සතියයි දෙකයි කියලා.

හැබෑට? මිනිහ එහෙම කිව්වද?

මම ප්‍රශ්නය මඟහැරීමට උත්සාහ කළෙමි.

ඔන්න ඕකනෙ කියන්නෙ ප්‍රභා හරි කියලා. ඔහෙලට ඒකවත් මතක නෑනෙ දැන්.

කීයක් කියල දේවල් මතක තියාගන්නද යාළුවා. අපේ මිනිස්සු මේ දැන් කියපු දේ, තව පැයකින් වෙනස් කරනවනෙ. හරි අමාරුයි මතක තියාගන්න.

ඒකද තමුසෙලා අතීතය අමතක කරලා, ආයෙත් පරිප්පුවක් කන්න හදන්නෙ?

වාසිබෝ මිත්‍රයා ඇසුවේ උපහාසාත්මක සිනාවක් පාමිනි.

පරිප්පු අපේ ජාතික ආහාරයක් වගේනෙ... පානුයි පරිප්පුයි... පරිප්පුයි බතුයි... ආදරයෙන් තොර ජීවිතය පරිප්පු නැති හෝටලයක් වගේය කියල ජනප්‍රිය කියුමකුත් තියෙනවනෙ.

මම යළිත් (අටේ වංගුවක්) ගැසීමට උත්සාහ කළෙමි.

තිස් අවුරුද්දක් තිස්සෙ පරිප්පු කෑව ජාතියක් ඒකට ඇබ්බැහි වෙන්න පුළුවන් කියන එකද තමාගේ අදහස?

ඔව් එහෙම වෙන්නත් පුළුවන්

ඔහෙල එක සැරයක් ඉන්දියාවෙන් ඉල්ලන් පරිප්පු කෑවා. මෙදා පාර කන්න හදන්නෙ අයි.එස්.එස්. පරිප්පු! තේරුණාද?

ඒවා කොහෙද? ට්‍රම්ප් මහත්තය ඉන්නෙ ඒවා බලාගන්න. එයානෙ ලෝක පොලිස්කාරයා.

සේරටම කලින්, ලංකාව තියෙන තැන ලකුණු කරපු, ලෝක සිතියමක් එයාට යවන්න වෙයි. ඔහෙලා මහාද්වීපයක් කියල හිතාගෙන හිටියට ශ්‍රී ලංකාව කියන්නෙ පුංචි දූපතක්.

ඒ වුණාට ඔය මහ ලොකු රටවල්වලට වගේ නෙවෙයි, අපිට තියෙනවා අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක්. ශිෂ්ටාචාරයක්.

මම තරමක ආවේගයෙන් පැවසුවෙමි.

ඒ වුණත් තමුසෙල වර්තමානයේ හැසිරෙන විදිහෙන් නම් ඒක පේන්නෙ නෑ.

මගේ මිත්‍රයා කතාව නතර කළේය. දින දහයකට හදිසි නීතිය පනවා ඇති බව සිහිවූයෙන් මම ද කතාව දිග්ගස්සා නොගෙන නිහඬ වීමි. එහෙත් වාසිබෝවාසී මිත්‍රයා කියූ දේවල්, විස කටු මෙන් වරින් වර මගේ සිතේ ඇනෙන්නට විය.

මිතුරාට පසුව හෝ උත්තර බැඳ, මගේත්, රට ජාතියේත් ගෞරවය බේරාගත යුතුය. විදේශිකයන්ට අපට චෝදනා කිරීමට ඇති හේතු කිම්දැයි මම කල්පනා කරන්නට වීමි. එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් මෙරට පිහිටුවන බැවින්, ඉදිරියේ දී කිසිවකුත් අතුරුදන් නොවනු ඇත. පසුගිය කාලේ අතුරුදන්වූවන්ද, සැඟව සිටි තැන්වලින් එළියට පැමිණ තම තමන්ගේ ගෙවල් දොරවල් කරා ගමන් කරනු ඇත.

ආණ්ඩුවක් කියා දෙයක් පෙනෙන්නට නැති බැවින්, මාධ්‍යවේදීන්ට ද ආණ්ඩුව විවේචනය කිරීමට අවශ්‍ය වන්නේ නැත. එහෙයින් ඔවුන් ඝාතනය කිරීම්, හිසකෙස් කපාදැමීම්, තලාපෙලා දැමීම්, තර්ජනය කිරීම් සිදුවීමට ද කිසිදු ඉඩක් නැත.
මේ රටේ දී ප්‍රවෘත්තිවලටත් වඩා ඇසෙන්නේ ධර්ම දේශනාවන්ය. මෛත්‍රී කරුණාවේ අගය ගැන නොකියවෙන දවසක් නැත. එහෙයින් රටවැස්සෝ, පාලකයන් සේම ධාර්මිකය. 

ඉඳහිට සුළු සුළු ප්‍රශ්න පැනනැඟුණ ද, වහාම කමිටු පත්කිරීම් මගින් ඒවා විසඳාලනු ලැබේ. ජනපති, අගමැති යුවල සිතන්නේ උදෑසන අද අප කුමන කොමිටියක් පත් කරන්නේද? යනුවෙනි. මේ සිදුවන ආකාරයට, අනාගතයේ දී මෙරට සෑම පුරවැසියෙක්ම කුමන හෝ කමිටුවක සාමාජිකයකුව සිටිනු නිසැකය.

යුද්ධය හමාර වූ වහාම ජාතීන් අතර සමගිය ස්ථාපිත කළ බැවින් දැන් ජනවර්ග ප්‍රශ්න නැත. ඇත්තේ සහජීවනයය. ජාතිවාදය වෙනුවට සංහිඳියාවය. ඉඳහිට පොඩි පොඩි අර්බුද මතුවුවත්, ඒවා ජනවර්ග ගැටීම් නොව, පෞද්ගලික ආරවුල් දිග්ගැස්සීම්ය. හදිසි නීතිය හෝ පොලිස් ඇඳිරිනීතිය ගැන ද ඉඳහිට අසන්නට ලැබෙතත්, ඒ ව්‍යවස්ථානුකූලව නීතිය යාවත්කාලීන (update) කිරීම සඳහාය. 

ශ්‍රී ලංකාව අසමත් ජාතියක් යැයි, අපහාස කළේ බටහිර ජාතීහුය. බොරුවක් බවද, අප ඉතා සමත් ජාතියක් බවද, ලෝකයට පහදා දෙන්නට පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පවා ප්‍රමාණවත්ය.

(වඳපෙති) කියා දෙයක් ලෝකයේ මෙතෙක් නිපදවා නැති බව වෛද්‍ය විශේෂඥයන් විසින් සනාථ කොට ඇති හෙයින්, ජාතිය වඳවීමේ ප්‍රශ්නයක් ද දැන් නැත. වඳපෙති තබා බිම්බෝම්බයක්වත් දැන් ලංකාවේ නැති බවට හුසේන් කුමාරයා ද සහතික වෙයි.

මෙබඳු රටකට එරෙහිව චෝදනා එල්ලවන්නේ නම්, එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව පැහැදිලිය. ලෝකයේ වෙනත් රටවල ජනතාවට, ලංකාව තරම් හිසරදයක් තවත් නැත. ඔවුන් හැමතිස්සේම ඇසගසාගෙන සිටින්නේ, අපේ වරදක් අල්ලා ගැනීමටය. දිගන සිද්ධියද, අම්පාර සිද්ධිය ද ජාත්‍යන්තර කුමන්ත්‍රණ බව, අපගේ විශ්වාසයයි.

දැනට මට පෙනීයන අන්දමට, වහාම දුරැකළ යුතු දුර්වලතාවය නම්, රටක් ජාතියක්, වශයෙන් පරිප්පු කෑමට ඇති බලවත් ආශාවයි. විශේෂයෙන්ම ඉල්ලන් පරිප්පු කෑමට ඇති කෑදරකමය.

එහෙත් මෙම චෝදනාව මුළු රට කෙරෙහිම එල්ල කළ නොහැකිය. කොට කලිසම්, ටී ෂර්ට් හැඳගත්, එතරම් උගත්කමක් නැති, තරුණපහේ කණ්ඩායම් පරිප්පු කෑමෙන්, ජාත්‍යාලය වැඩි වේ යැයි විශ්වාස කරන බවක් ජනමාධ්‍ය පළකරන ඡායාරූප ආශ්‍රයෙන් පෙනී යයි. ඔවුනට මාස කීපයක හෝ බන්ධනාගාර පුහුණුවකින් පසු, මෙම පරිප්පු ප්‍රේතකම වළක්වාලිය හැකිය.

මෙබඳු කල්පනාවන්හි යෙදී සිටින අතර, නිදිමතක් දැනී මගේ දෑස් පියවුණි. එසැණින්ම, කිසිවකුගේ හඬ ඇසී බැලූ කල මා ඉදිරියේ සිටියේ බෙග් මාස්ටර්ය.

බෙග් මාස්ටර්, බොහොම කාලෙකින්? මොකද මේ පැත්තෙ? මම සතුටින් ඇසුවෙමි.

මම ආවෙ වැදගත් ඉල්ලීමක් කරන්ඩ. මීටපස්සෙ වෙසක් එකට මගේ සින්දු ගහන්ඩ එපා.

ඒ මොකද මාස්ටර්?

මට දෙපැත්තෙන්ම පරිප්පු කන්ඩ බෑ මල්ලි.

එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නෑ. මාස්ටර් හොඳ බෞද්ධ ගීත කියපු කෙනෙක්නෙ, මුස්ලිම් වුණාට.

ඒවා වැඩක් නෑ මල්ලි. මෙහෙ හරියන්නෙ රණවිරු ගීතම විතරයි. පුදුම රටක් මල්ලි!

බෙග් මාස්ටර්, ශෝකී රාගයක් ගයන්නා සේ හඬන්නට විය.

► කපිල කුමාර කාලිංග