අද වෙද්දී අතරයිටිස් රෝගය බොහෝ දෙනෙක් අතර පවතින රෝගයක් ලෙස හැඳින්විය හැක. ආයුර්වේදයට අනුව ආතරයිටීස් රෝගයේ ප්‍රභේද බොහෝමයක් පවතී. මේ අනුව ආතරයිටීස් වැළඳීමට ප්‍රධාන වන හේතු කිහිපයකි. එනම් අස්ථි බිඳීමක් හෝ අස්ථිවල තුවාලයක් හටගැනීම
වස විස සහිත ආහාර වර්ග
වාත රෝග හටගැනීමට මුල් වන ආකාරයේ ශාරීරික පිහිටීමක් තිබීම
උපතින් නොඑසේනම් ජාන මඟින් මෙම රෝගය ඇතිවීම
දරැණු බැක්ටීරියා රෝග ශරීරය තුළ දිගු කලක් පැවතීම
ප්‍රතිශක්තීකරණය දුර්වල වීම
වයස අවුරුදු 20 – 30 අතර කාලයේදී මුලින්ම මෙම රෝගයේ ලක්ෂණ මතුවිය හැක. මෙහි පළමුවැනි රෝග ලක්ෂණය ලෙසින් හැඳින්විය හැක්කේ කොඳු ඇට පෙළෙහි ඇතිවන වේදනාකාරී තත්ත්වයයි. මේ වේදනාව ඇති වීමේදී බොහෝ අය වේදනා නාශක පෙති ගැනීමට උත්සහ ගනිති. නමුත් මෙම රෝගයට වේදනා නාශක පෙති ගැනීම එතරම් හිතකර වන්නේ නැත. එමගින් ශරීරයේ ඇතිවන වේදනාව සාමාන්‍ය වුවද රෝගයේ අඩුවීමක් ඇති නොවේ.
මැදිවියේ ඇතැම් කාන්තාවෝ මෙලෙස කොන්දේ අමාරැවක් ඇතිවිට එය වාත අමාරුවක්යැයි සිතමින් කිසියම් තෙලක් ආලේප කරති. නමුත් එයද මෙම රෝගයට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. මෙලෙස ඔබට කොන්ද වේදනාවක් ඇත්නම් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසිය යුතුය.
මෙම කොන්ද වේදනාව කල් යාමේදී රෝගියා උදෑසන අවදිවනවිට කොන්ද සහ අත් පා දිග හැර ගැනීමට නොහැකිව අධික වේදනාවක් ඇති වන තත්ත්වයට පත් වෙයි. මෙම රෝග ලක්ෂණවලට අමතරව කොන්ද වේදනාව, ශරීරයේ බර අඩුවීම, උණ නිතර නිතර ඇති වීම, ඇඟ පතට මහන්සිය තදින්ම දැනීම ඇති වෙයි. කල්යත්ම මෙම රෝගය කොඳු ඇටයක හෝ කොඳු ඇට පේළියේ ද ඇති වන්නට පුළුවනි.
ඉන්පසු ඉඟ සහ උරහිස්වල ආතරයිටීස් තත්ත්වයන් ද හට ගැනේ. මෙම රෝගයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු දහඅටට පෙර මෙම රෝගය ඇතිවන්නේනම් එය පාදයේ වළලුකර ආශ්‍රිත සන්ධි සහ දණහිස් විශාල ලෙස ඉදිමීම ලෙසට ඇති වීමය. එමෙන්ම මෙම රෝගය ඇස්වලටද පැතිර යා හැක. ඇස ඇතුළත අධික ලෙස රිදුම් දීම ඇති වේ. ඇස රතු වී ආලෝකය බැලීමට අපහසු වේ. නමුත් බොහෝ දෙනකු මේ තත්ත්තවය පිළිබඳ හරිහැටි වැටහීමක් නැත. බොහෝ දෙනකු සිතනුයේ ආතරයිටීස් ඇති වෙන්නේ සන්ධිවල පමණක් බවය.
ආයුර්වේදයට අනුව ආතරයිටීස් සාර්ථක ප්‍රතිකාර ඇත. මේ සඳහා ආයුර්වේදයට අනුව පත්තු, තෙල්, කසාය වැනි ප්‍රතිකාර ඇති අතර රෝගියාගේ රෝග ලක්ෂණ හා රෝගය පැතිර යන ආකාරය අනුව කරනු ලබන ප්‍රතිකාර ද බොහෝ වේ. එමෙන්ම කැල්සියම් සහ ප්‍රෝටීන් බහුල ආහාර පාලනය කළ යුතුය. මේ අනුව ආතරයිටීස් නිසා ශරීරයේ ඇස, නිකට, බෙල්ල, උරහිස, විලුඹ, පාදය, දණහිස ආශ්‍රිත ප්‍රදේශවල වේදනාව ඇතිවිය හැක. ආතරයිටීස් වර්ග එකසිය හැට හයක් පමණ ඇති බැවින් ඔබත් සන්ධි අමාරුවකින් පීඩා විඳීනම් ඒ සඳහා වේදනා නාශක පෙතිවලින් වේදනා තාවකාලිකව සමනය කර ගන්නට උත්සාහ නොගෙන ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතුය.