මෙරට උසස් අධ්‍යාපන වංශකථාව තුළ ලලිත් ඇතුළත්මුදලි යන නාමයට හිමිවන්නේ අමරණීය තැනක් බව අමුතුවෙන් කිව යුතු නැත. තමා එංගලන්තයේ උගන්නා අවධියේ තමාගේ අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ලද උපකාරයට කෘතගුණ සැළකීමක් ලෙස අසූව දශකය මුලදී තමා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වූ පසු ඔහු මහපොළ නමින් ආරම්භ කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර ක්‍රමය අද වනතුරුත් මෙරට දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවකගේ බත් පතේ සිට කහට උගුර දක්වා සියල්ලටම තීරණාත්මකව බලපාන සාධකයක් වී ඇත්තේය.
ගමේ සිට නගරයට පැමිණි සරසවි අධ්‍යාපනය හදාරන සිසුවාට මහපොළ යනු මහමෙරකි. මේ වනවිට මාසිකව ලැබෙන රුපියල් පන්දහසක මහපොළ ශිෂ්‍යත්ව මුදල ඇතැම් ළමුන් අරපරිස්සමින් පාව්චිචි කර ඉන් කොටසක් ගමේ සිටිනා තම දුප්පත් මාපියන්ට පවා යවන බවද නොරහසකි. එවන් ජාතික කර්තව්‍යයකට පණ දෙන මහපොළ ශිෂ්‍යාධාර අරමුදලට ද ආණ්ඩුවේ සල්ලි කාක්කන් තම උකුසු ඇස යොදා අහවර බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා වන පුබුදු ජයගොඩ මේ පිළිබඳව පසුගියදා රට හමුවේ කරුණු අනාවරණය කළේය.
මුලදී මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් රැස්කිරීමේ ජනප්‍රිය ක්‍රමවේදය වූයේ රට පුරා ගමින් ගම මහපොළ සැණකෙළි සහ ප්‍රදර්ශන පවත්වමින් මුදල් රැස් කිරීමය. නමුත් ක්‍රමයෙන් එය අභාවයට ගිය අතර රාජ්‍ය සුරුකුම්පත්වල මුදල් අයෝජනය කිරීමත්, මහපොළ ලොතරැයිය වැනි නව ලොතරැයි හඳුන්වාදීම හරහාත් මුදල් රැස්කරගැනීම ජනප්‍රිය විය.
රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේදී අවධානය යොමුකළ යුතු විශේෂ කරුණක් වන්නේ ඕනෑම අයකුට හිතුමතයේ ගොස් එවැනි ආයෝජන කටයුත්තක නිරතවිය නොහැකි වීමය. මේ හේතුව මත National Wealth Corporation නමින් මහපොළ භාරකාර අරමුදලේම මැදිහත්වීමෙන් රාජ්‍ය සමාගමක් ලියාපදිංචි සිදුකෙරිණි. එම සමාගම හැරුණු විට එවැනි ප්‍රාථමික වෙළෙඳුන් ලෙස ක්‍රියාකරන තවත් සමාගම් 15ක් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙතැනදී ප්‍රශ්නයක් උද්ගතවන්නේ මහපොළ භාරකාර අරමුදලේ පාලක මණ්ඩල සාමාජිකයකුට රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරන ප්‍රාථමික සමාගමක් හිමිව තිබීමත් ඔහු රාජ්‍ය සමාගම මඟහැර තම පෞද්ගලික සමාගම හරහා මහපොළ මුදල් රාජ්‍ය සුරැකුම්වල ආයෝජනය කරන බවට චෝදනාවක් ඉදිරිපත් වී තිබීමත් හේතුවෙනි.
එසේ පුබුදු ජයගොඩ මහතා එල්ල කරන තවත් නම් මෙම සමාගම වසරක් ඇතුළත රුපියල් මිලියන 522ක ලාභයක් ලබාගෙන තිබීමත් ඒ හරහා රජයට රුපියල් මිලියන 188ක පාඩුවක් සිදුව තිබීමත් ය.
මෙහිදී සැළකිල්ලට ගතයුතු තවත් ප්‍රධාන කරුණක් වන්නේ 80 දශකයේ පටන් මෑතක් වනතුරුම මහපොළ භාරකාර අරමුදල වෙළෙඳ අමාත්‍යංශය යටතේ පැවැති නමුත් 2015 සැප්තැම්බර් 21 නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් මහපොළ භාරකාර අරමුදල මලික් සමරවික්‍රම අමාත්‍යවරයා යටතේ තිබෙන සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබීමය.
කෙසේ වුවද මේ පිළිබඳව තොරතුරු විමසීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ
දැනට මහපොළ භාරකාර අරමුදල් පනතේ සඳහන් ආකාරයට මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන් විය හැක්‌කේ වයස අවුරුදු 70 ට අඩු අයට විතරයි. නමුත් එහි සාමාජික වික්‍රම වීරසූරිය 1939 ඉපදුණු කෙනෙක්. ඔහුගේ වයස 70 ට වැඩියි. ඒ නීතිය කඩමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසිනුයි මේ පත්කිරීම කරලා තියෙන්නෙ. පළවැනි කරුණ තමයි මොහු මහපොළ භාරකාර අරමුදලේ සිටීම නීති විරෝධීයි. දෙවැනි එක මහපොළ භාරකාර අරමුදලේ සභාපති වනවාට අමතරව මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා හදපු Nat Wealth Securities Ltd. සමාගමේ සභාපතිවරයාත් ඔහුමයි.
ඔහු එහි සභාපතිවරයා ලෙස ඉන්නා අතරම ඔහුට තියනවා ඔහුගේම සමාගමක්. ඒ සමාගම තමයි Wealth Trust Securities Ltd සමාගම. මේ සමාගම රාජ්‍ය සුරැකුම්පත් සඳහා ආයෝජනය කිරීම සඳහා ප්‍රාථමික වෙළෙඳුන් වශයෙන් ලියාපදිංචි කළ සමාගම් 16න් එකක්. ඒ සමාගමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ සේනක වීරසූරිය සහ ප්‍රියන්ජිත් වීරසූරිය යන වික්‍රම වීරසූරියගේ පුතුන් දෙදෙනාත් ඉන්නවා. ඒ නිසා මේ සමාගම පියා, පුතුන් දෙදෙනා සහ තව කිහිපදෙනෙක් අධ්‍යක්‌ෂ ධූර දරන පවුලේ පෞද්ගලික සමාගමක්.
මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය සඳහා මහපොළ භාරකාර අරමුදල විසින් ලියාපදිංවි කළ Nat Wealth Securities Ltd රාජ්‍ය සමාගම තිබියදී ඒ රාජ්‍ය සමාගම පැත්තකින් තියලා. සුරැකුම්පත්වල Wealth Trust Securities Ltd කියන වික්‍රම වීරසූරියට අයත් පෞද්ගලික සමාගම හරහා මුදල් ආයෝජනයක් කරලා තියෙනවා. මෙය සිදුවන්නේ 2015 අගෝස්‌තු මාසයෙන් පසුවයි. මේ වංචාව සිදුකරලා තියෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වෙන්වෙන අරමුදලකින්. රුපියල් මිලියන දාහක මුදලක් මහපොළ භාරකාර අරමුදලෙන් අරගෙන රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරලා තිබෙනවා. එය ආයෝජනය කරලා තිබෙන්නේ Natwest Security Limited කියන රාජ්‍ය සමාගම හරහා නෙවෙයි. Wealth Trust Securities Ltd සමාගමයි. එහි අනුබද්ධ සමාගමක් JK Asset Trust Management Ltd කියන පෞද්ගලික කියන සමාගම හරහා. ප්‍රශ්නේ තිබෙන්නේ Asset Trust Management Ltd කියන සමාගමේ සභාපතිවරයා විදිහට ඉන්නෙත් වික්‍රම වීරසූරියමයි. ඒ නිසා මෙයත් ඔවුන්ගේ පවුලේ සමාගමක්. මේ ආයෝජනයෙන් පසුව ලැබූ ලාභයන් පිළිබඳ තොරතුරු ගත්තාම 2015 සැප්තැම්බර් 01 දා සිට 2016 ඔක්‌තෝබර් 31 දක්‌වා ගෙවුණු කාලය තුළ. Wealth Trust Securities Ltd සමාගම මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරුකුම්පත්වල ආයෝජනය කිරීම හරහා අතිවිශාල ලාභයක්, රුපියල් පනස්‌දෙකෝටි විසි දෙලක්‌ෂ අසූඅටදහස් පන්සිය අසූ අටක් උපයා ගෙන තිබෙනවා. සරලව කිව්වොත් වික්‍රම වීරසූරියගේ පෞද්ගලික සමාගම රුපියල් මිලියන 522ක ලාභයක් උපයාගෙන තිබෙනවා.
මේ පිළිබඳව කරුණු විමසීමට වික්‍රම වීරසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ විය. කෙසේ වුවද ඉදිරි අවස්ථාවක ඔහුගේ කරුණු දැක්වීමකට ඉඩ වෙන්කරන බවද දන්වනු කැමැත්තෙමු.
► රෙහාන් රාසික්