2018 මාර්තු 17 වන සෙනසුරාදා

පාරිභෝගික භාණ්ඩ මිල ඉහළට

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

ග්‍රහ මණ්ඩලයේ පියා වූ සූර්යා තමාට මිත්‍ර රාශි භවනක් වූ මීන රාශියට 2018 මාර්තු මස 14 වැනි බුධ දින රාත්‍රී 11.43ට පිවිසේ. ගුරැට අයත් පුවපුටුප නැකතේ 4 වැනි පාදයෙන් හා ශනිට අයත් උත්‍රපුටුප නැකතේ සම්පූර්ණවත් බුධට අයත් රේවති නැකතේ සම්පූර්ණවත් ලෙස 2018 අප්‍රේල් 14 වැනි ශනි දින උදේ 8.13 දක්වාම ගමන් කරනු ඇත. රවි මීන රාශියට පිවිසීම හේතුවෙන් උදාවන්නා වූ කෝණ මාසය තුළ, එනම් 2018 අප්‍රේල් 14 වැනි දින දක්වා වූ කාලය තුළ නිවාස ආශ්‍රිත සුභ මුහුර්ත අත්හල යුතු වේ.

රවි මීන රාශිගත වීම අප රටට ඇතිකරන්නා වූ බලපෑම සැලකීමේ දී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවන අතර මූල්‍ය ආයතනවල අශුභ සිදුවීම් වාර්තා වනු ඇත. රජයට අතිරේක වියදමක් දැරීමට සිදුවන අතර විසඳිය නොහැකි ප්‍රශ්න මාලාවකට මුහුණදීමට සිදුවෙයි. භාණ්ඩ ගබඩාවක් විනාශයට පත්වීමක් සිදුවන අතර රාජ්‍ය ප්‍රධානියකුට හෝ මන්ත්‍රීවරයකුට ඉතා අයහපත් සිදුවීම්වලට හෝ මාරක හෝ ඒ සමාන අපලයකට මුහුණදීමට ද සිදුවන්නා වූ වකවානුවක් වනු ඇත.
විදේශීය වශයෙන් ද මුදල් තැන්පත් කර ඇති ස්ථානයකට හදිසි පීඩාවක්, මංකොල්ලකෑමක් හෝ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමක් වාර්තා වන අතර අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් ද, බන්ධනාගාර ආශ්‍රිත අයහපත් සිදුවීමක් රුඳවියන් සමඟ ආරක්ෂක නියාමකවරුන් ගැටුම් ඇතිකර ගැනීමත්, රුඳවියන් පැනයාමක් ද සිදුවන අතර කර්මාන්ත ශාලා ගිනිගැනීම්වලට ලක්වීමක් ද වාර්තා වනු ඇත.

මේෂ - ආර්ථික ගැටලු

ඔබට එතරම් යහපත් ඵල අත්නොවන අතර ගමන්වලදී හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වීම වැදගත් වේ. තමාගේ උනන්දුවට ලැබෙන ඵලය අඩු වකවානුවක් වන අතර ආර්ථික ප්‍රශ්න ද තදින් දැනෙනු ඇත.

වෘෂභ - හවුලට හොඳයි

දේශපාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින අයට යහපත් ඵල අත්වන අතර තමාගේ කටයුතු රාශියක් සාර්ථක කරගත හැකිවනු ඇත. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ද ඇතිවනු ඇත. හවුල් කටයුතුවලින් ද ඵල අත්වේ.

මිථුන - රැකියා දියුණුව

තම මතයට කටයුතු කරමින් ඔබගේ වැඩකටයුතු රාශියක් සාර්ථක කරගනු ලබන වකවානුවක් වෙයි. රැකියාවේ ප්‍රගතියක් ද ඔබට අත්වනු ඇත. ගමන්වලදී ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

කටක - නව නිර්මාණ

ඔබ දැඩි උත්සාහයෙන් යුක්තව කටයුතු කරන කාලයකි. දේශපාලන ක්ෂේත්‍රයේ නියැලි අයට ද ශුභ ඵල අත්වනු ඇත. ජනමාධ්‍ය කටයුතුවල හා ලේඛන කටයුතුවල නිරත අයට නව නිර්මාණ බිහිකිරීමට හැකිවනු ඇත.

සිංහ - කටයුතු පමාවේ

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ යම් යම් කටයුතු අඩපණ වන වකවානුවක් වේ. සිතේ සහනය ද අඩුවනු ඇත. ආර්ථික අපහසුතා ඇතිවන ගමන්වලින් ද පීඩා ඇතිවනු ඇත. යම් යම් කටයුතු ප්‍රමාද වනු ඇත.

කන්‍යා - විදේශගතවීම්

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුල් දිවියේ ද යම් යම් ගැටලුවලට මුහුණදීමට සිදුවන නමුත් විදේශගතවීමේ අපේක්ෂා සහිත අයට එය සාක්ෂාත් කරගත හැකිවේ.

තුලා - හදිසි පීඩා

ඔබටත් එතරම් යහපත් නොවනු ඇත. විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. සිතේ සහනය අඩු කාලයක් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ද පරිස්සම් වන්න.

වෘෂ්චික - විනෝදයට බරයි

ඔබගේ වැඩපිළිවෙළ අතපසුවීම්වලට ලක්වන අතර විනෝද කටයුතු සඳහා වැඩිපුර තම කාලය යොදවනු ලබන වකවානුවක් වේ. දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. ආර්ථික අපහසුතා ද ඇතිවන වකවානුවක් වේ.

ධනු - රැකියාවෙන් ඉහළට

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතුවල සාර්ථකත්වයක් අත්වන කාලසීමාවක් වේ. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිනොවී සිටීමට වගබලාගත යුතු වේ. රැකියාවේ උසස්වීම් අපේක්ෂා කරන අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

මකර - සිතට අවිවේකයි

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට නව නිර්මාණ බිහිකිරීමට හැකියාව ලැබෙනු ඇත. වැඩකටයුතු අධික වීම නිසා සිතට අවිවේකී කාලයක් උදාවේ. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කුම්භ - සමගියට බාධා

ඔබගේ උත්සාහයේ තරමට ඵල අත්නොවන වකවානුවක් වන අතර ආර්ථික අපහසුතා ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඇස් ආශ්‍රිත පීඩාවක් ඇතිවිය හැක.

මීන - සේවයේ ගැටලු

විශාල ලෙස මුදල් යොදවමින් කටයුතු කිරීමට යහපත් වකවානුවක් නොවනු ඇත. සේවා ස්ථානයේ යම් යම් ගැටලු මතුවිය හැක. මෙම වකවානුව තුළ ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර තම මතයට වැඩ කිරීමට යාමෙන් යම් යම් ප්‍රශ්නවලට මැදිවිය හැක.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00