2018 මාර්තු 17 වන සෙනසුරාදා

මේ තත්ත්වය ඉදිරියට වෙනස් වෙන්නේ නැහැ

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

විශ්වයේ ග්‍රහ ශක්තිය මගින් මිනිසාට එල්ල කරන බලවේගයන් මේ වනවිට උච්ඡම තැනට පැමිණ තිබෙන බව පෙනේ. ඒ සමඟම මිනිසා විසින්ම ඇති කර ගන්නා වූ ක්‍රියා කලාප ද ගොනා පසුපස ඇදෙන රිය සක මෙන් කරදර බාධක වර්ධනය කිරීමට හේතුවේ.  රිය අනතුරු, මිනිස් ඝාතන, වර්ගවාදී ගැටුම්, පාතාල ක්‍රියාකාරකම්, ස්වභාවික විපත්, රාජ්‍යයන් හා විරුද්ධවාදීන් අතර ගැටුම්, රාජ්‍ය තන්ත්‍රයේ පිරිහීම මෙන්ම අභ්‍යන්තරයේ අර්බුද ද ඇති වේ.

ලෝකායන ජ්‍යොතිෂ්‍යයට අනුව විශ්ව ග්‍රහ මණ්ඩලය කුමන බලපෑමක් එල්ල කරන්නේද යන්න ද විමසා බැලීම වටී.

පසුගිය සමයේ ඇති වූ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, ග්‍රහ යුද්ධ, ග්‍රහ පෙරළි මෙයට හේතු වී ඇත. මිනිසා ආගම දහමෙන් ඈත් වනවිට, ආත්ම ලාභය පිණිස ආගම දහම භාවිතා කරනවිට තෙරුවන් වැඩ සිටින පූජනීය ස්ථානවල බෝධි පූජා පවත්වා එහි සිට වෛරී දේශපාලන ප්‍රකාශ නිකුත් කරනවිට ලෝක සත්වයාට විමුක්ති මග කියා දෙන දැන උගත් යතිවරැන් බුදුන් වහන්සේ අමතක කර දේශපාලන වන්දනාවේ යනවිට ඉර හඳ, තාරකා පමණක් නොව ගහකොළ, සතා සිව්පාවන් පවා වෙනස් වේ.

මෙහිදී අප විසින්ම අපගේ විනාශය ළඟා කර ගනිමින් සිටින බව පෙනී යයි. 

මැදින් මස උදා වන්නේ පුන් සඳ එළිය දෙන පුන් පොහොය දිනයක් ද සමඟිනි. මැදින් මස කෙළවර වන්නේ බක් පුන් පෝය උදා කරමිනි. මැදින් මස 14 දින සිට ඉදිරියට මාසයක කාලයක් කෝණ මාසය ලෙස හැඳින්වේ.

ග්‍රහ පෙරළි සැලකීමේදී මාර්තු 02වන දින සිකුරු ග්‍රහයා ගුරැට අයත් මීන, රාශියට ද මාර්තු 3 වැනි දින ග්‍රහ කාරක බුධ ගුරුගේ රාශිය වූ රාශිය වූ මීනයට ද මාර්තු 07 වන දින කුජ ග්‍රහයා ධනු රාශියට ද පිවිසියේය.

කුජ ධනුවට පිවිසෙනවිට පොදු ජනයා නියෝජනය කරන සෙනසුරැ ග්‍රහයාද එහි සිටී. මාර්තු 14 වනවිට රවි ග්‍රහයා ද මීනයට පිවිසෙයි. මේ අතර ගුරැ 09 වැනිදා සිට වක්‍ර වී බලය අඩු විය. මාර්තු 23 වැනි දින බුධගේ වක්‍රය ද සිදු වෙයි. මේ විපරිත ග්‍රහ චාරය සමස්ත ලක් වාසීන්ට දෙන පණිවුඩය යහපත් නොවේ.

පොදු ජනයා නියෝජනය කරන ශනි සිටි තැනට සටන්කාමී කුජගේ පැමිණීමෙන් ජනතා අරගලයක් මතු කර තිබේ. මේ දෙදෙනාගේ එක් වීම වේගකාරී වේ. හද සසල කරවන පුවත් ඇසෙනු ඇත. දේශපාලන දහරාව ද නන්නත්තාර කර තිබේ. කළයුතු නොකළ යුතු දේ තේරැම් බේරැම් කර ගන්නට නොහැකිව සිටිනු පෙනේ. රටේ උත්තරීතර පාර්ලිමේන්තුව ද අවුල් ජාලාවක් කර ඇත. පාලක පාලිකාවන් අසරණ වී ඇත. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 11 වැන්නේ යෙදෙන මේ ග්‍රහ ගෝචරය රටේ ආදායමට පහර එල්ල කර ඇත. දිනපතා සිදුවන රිය අනතුරු නොහික්මීමේ ප්‍රතිඵලයකි. මේ ග්‍රහචාරයෙන් පෙන්වන්නේ කර්ම විපාකයයි. දැන දැනම දහම වනසන, දහමට මුවා වී තම බලය රැක ගන්නට වෙර දරන ඇතැමුන්ගේ ක්‍රියාකලාපයන් නිසා ද සම්‍යක් දෘෂ්ටික දෙවියන් පවා ඉවත බලා ඇත. 

මේ පවතින තත්ත්වය ඉදිරියටත් පවතින හෙයින් ගිනි බිය, සොර සතුරැ බිය, සෙනසුරු බිය ඇති වේ. නියං සාය මෙන්ම සමහර පළාත්වලට මහ වැසි ද ඇතිවනු ඇත. දික්කසාද, පවුල් අවුල් ඇති කරයි. පූජක පක්ෂයට අපල කාලයකි.
පවතින ග්‍රහ තත්ත්වයක් හමුවේ හැම දෙනාම ඉවසීමෙන් සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු වේ. ක්‍රෝධය, වෛරය වෙනුවට මෛත්‍රිය, කරුණාව ඇති කරගෙන ආගමට, දහමට මුල් තැන දී යහපත් ලෙස දිවි ගෙවන කොයිකාහටත් වරදින්නේ ද නැත.
මැයි මාසයේ සිට මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වනු ඇත. ලොව පුරා ත්‍රස්ත ක්‍රියා මෙන්ම ගුවන් අනතුරැ, පිපිරීම්, වැනි බිය ඇති කරයි. රාජ්‍ය නායකයන්ට අපල කාලයකි. තම තමාගේ ආගම දහම කුමක් වුවත්, ඒ ආගමට දහමට ලැදිව කටයුතු කිරීමෙන් කරදර අවම කරගත හැකි වේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
මුළු දිවයිනටම සාම විනිසුරු
බී. ඒ. සමන් ගුණසේන
අලුත් අම්බලම, ඉහළ කොස්ගම.

අඟහරු මකර රාශිගතවීමෙන් රටේ අර්බුද උග්‍ර අතට

ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ශක්තිය, බලය හා සටන ඇතිකරන්නේ අඟහරැ ග්‍රහයාගේ දායකත්වය මතයි. එසේම සත්ව ශරීරයේ වා, පිත්, සෙම් හා සප්ත ධාතූන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බලය ලබාදෙන්නේ ද විශේෂයෙන් රුධිර සංසරණ පද්ධතිය හසුරැවන්නේ ද අඟහරුගේ බලපෑමෙනි. ලෝකයේ මහ බලවතා වන්නට අමෙරිකාවේ ජනාධිපති විසින් බලය යොදවද්දී රුසියාවේ ජනාධිපති තම න්‍යෂ්ටික බලය කොතරම්දැයි ලොවට පෙන්වීමට උත්සාහ ගනී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බලය රැකගන්නට එහි නායකයන් දිවා රූ නොබලා මහත් වෙහෙසක් දරමින් සිටින අතර ගොවියා, කම්කරුවා ගුරුවරයා ආදී මෙකී නොකී සියලුම දෙනා එදිනෙදා ජීවිතය ගෙනයාමේ සටනට උරදෙමින් සිටිති. මේ සියලු ක්‍රියාකාරකම්වලට දායකවන ග්‍රහයා වන්නේ අඟහරුය.

සාමාන්‍යයෙන් අඟහරු ග්‍රහයා මාසයකට ආසන්න කාලයක් එක රාශියක් තුළ ගමන් කිරීම සිරිතයි. නමුත් සමහර අවස්ථාවලදී අඟහරැ ග්‍රහයා මාස 2 ක් හෝ 3ක කාලයක් එක රාශියක් තුළ ගමන් කරන අවස්ථා ඇති බවක් දැකිය හැකියි. කලාතුරකින් මාස 7ක කාලයක් එකම රාශිය තුළ ගමන් කරන අවස්ථා ද ඇති කරයි. කුජ ග්‍රහයාගේ උච්ච රාශිය වන්නේ මකර රාශියයි. අඟහරැ ග්‍රහයාගේ බලවත් මකර රාශිය තුළ මාස 7ක කාලයක් ගමන් කරන කාල පරිච්ඡේදයක් ඇතිනම් ලෝකයේ අතිබිහිසුණු සිදුවීම් ඇතිවන්නට පරිසරයේ දායකත්වය ලබාදෙයි. මෙහිදී පරිසරය යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ පැවැත්ම සඳහා මිනිසා විසින්ම නිර්මාණය කරගන්නා වූ පරිසරයටයි. සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත, අධ්‍යාපන, නිවාස, ආර්ථික මේ ආදී ක්ෂේත්‍රයන් තුළ මිනිසුන් සතුටින් තෘප්තිමත් ද නොඑසේ නම් අසතුටෙන් අතෘප්තිකරව සිටීද යන්න පිළිබඳ සාධකය යහපත් හෝ අයහපත් ලෙස නිර්මාණය කර ඇති පරිසරයයි.

මෙහිදී යහපත් සමාජයක් ගොඩනගාගෙන සිටී නම් අඟහරැගේ බලය ඉතා යහපත් ආකාරයෙන් දායකත්වය ලබාගන්නට එම රටේ ජනතාවට වාසනාව ඇති කරයි. එහිදී රටේ සංවර්ධනයට, දියුණුවට අඟහරැගේ බලපෑම ලැබෙනු ඇත. අයහපත් පරිසරයක් වෙතොත් ගොවියා, කම්කරුවා, ගුරුවරයා, ශිෂ්‍යයා මේ ආදී සියලු දෙනා පාලකයන්ට එරෙහිව උද්ඝෝෂණ, කැරළි ඇති කරන්නට පෙළෙඹෙනු ඇත.

2018 මැයි 02 වැනි දින මකර රාශිගතවන අඟහරු ග්‍රහයා නොවැම්බර් 06 දින දක්වා ගමනක යෙදෙයි. මින් පෙර මකර රාශියෙහි අඟහරැ ග්‍රහයා දීර්ඝ ගමනක යෙදුණේ 1971 අප්‍රේල් මාසයේදීය. එහිදීද පාලකයන්ගේ අනුවණකම නිසා රටේ මහත් වූ විනාශයක් සිදුවිය. එහෙයින් ඉදිරියේ දී ඇති ග්‍රහචාරය තුළ රටට හා ජනතාවට යහපතක් වන්නට නම් ජනතාවගේ දුක්ඛිත තත්ත්වයෙන් ඔවුන්ව මුදවා යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියා කිරීම පාලකයන්ගේ වගකීම වන්නේය.

මෙවරද රටේ බලාපොරොත්තු නොවූ අර්බුදයක් ගොඩනැගුණේ අඟහරැ ග්‍රහයාගේ විෂම ගමන මෙන්ම රජය ද විචක්ෂණ බුද්ධියෙන් තොරව කටයුතු කිරීම නිසාය. විමසිලිමත්ව තීරණ ගත්තා නම් පසුගියදා ඇතිවූ විනාශකාරී තත්ත්වය ගොඩින් බේරාගැනීමට බොහෝදුරට ඉඩ තිබුණි. එහෙත් සියල්ල උපරිමයට වර්ධනය වනතුරු බලාසිටීම අනුවණකමකි. ඒ නිසා අඟහරුටම දොස් පැවසීම වැරදිය. ඕනෑම ග්‍රහයකුගෙන් ඇතිවන හානිය වළක්වා ගැනීමට පුද්ගලයන් හෝ ආණ්ඩු ක්‍රියා කළ යුතුය. එසේ නොකිරීමේ ප්‍රතිවිපාකවලට මෙවර අපට මුහුණදීමට සිදුවූ බව පැවසිය යුතුය. අනාගතයේදීවත් මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

ජ්‍යොතිෂ විඤාණාචාර්ය 
සාමවිනිසුරු 
වෛද්‍ය ඩබ්. තිලක් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00