2018 මාර්තු 17 වන සෙනසුරාදා

කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 285

කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි කියලා සින්දුවක් රේඩියෝවෙන් ඇහුණා. පුරුද්ද අත අරින්න බෑ. රටෙන් පිට උන්නට ලංකාවෙ රේඩියෝව අහනවා අන්තර්ජාලයට පින්සිද්ධ වෙන්න. ධනවත් අය මනුස්සකම නැති අය හැටියට සැලකීම අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඒක සමාජවාදී අයගේ කතාවකුත් නෙමෙයි. ඈත අතීතයේ කෙනෙක් ධනවත් බව ලබාගත්තේ එක්කො කොල්ලකාලා නැත්නම් උරැමය නිසා. ඉතින් එහෙම අය අතර මනුස්සකම හිඟ බව කියන්න අමුතුවෙන් ඉගෙන ගෙන එන්න අවශ්‍ය නැහැ.

පස්සෙ කාලේ මුදල් නිත්‍යනුකූලව හොයන්න ආදායම් මාර්ග ඇති වුණාම මෙම කියමන කවුරුත් වෙනස් කරන්න ගියේ නෑ. මොකද ඕනෑම සමාජයක ධනවතුන් ඉන්නේ අල්පයයි. හැමෝම ආසයි ධනවත් වෙන්න. ඒත් හැමදාම තමන්ට වඩා ධනවත් කෙනෙක් ආයේ ඉන්නවා. බිල් ගේට්ස් වුනත් ලෝකයේම ලොකුම ධනපතියා කියන තැනින් පහළට ගියානේ. දැන් එයා මහා දානපතියා වෙලා.

නැතිකෙනෙකු ගෙන් යමක් ඉල්ලන්න පැකිළෙන අපි ඇති කෙනෙකුගෙන් ඉල්ලන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ හිතේ සොයාලා නොබලපු අදහසක් තමයි ඇති අය නැති අයට දෙන්න ඕන කියලා. ඒක තමයි මනුස්සකම කියන්නෙ කියලා. ධනවතාගෙන් ඉල්ලලා නුදුන්නොත් අපි බනින්නේ මනුස්සකම නැති එකා කියලා. අනිත් පැත්තට ඉල්ලපු දේ ලැබුණාම කියන්නේ ඊට වඩා වුණත් දෙන්න ඌ ගාව තිබුණ කියලා.

ලෝකෙටම බෙදලා දෙනවා මම ධනවත් වුණාම කියන ගොයියෝ කාටවත් දෙයක් දෙන්න තරම් ධනවත් වෙලා නැති බව හැමෝම දන්නවා. ඒ අය ධනය හොයන්න නෙමෙයි දහිරිය දාන්නෙ. මේ හරියට තමන් රාජ්‍ය පාලනයට තේරිලා පත් වුණාම හොඳ පාලකයෙක් වෙනවයි කියන පුරසාරම් වගේ. ප්ලේටෝ කියපු දාර්ශනික රජු සංකල්පයක් පමණයි. ඒ සංකල්පය සත්‍යය කරන්න තියා ඒකට කිට්ටු කරන්නවත් එදා මෙදා ලොවට බිහිවෙච්ච රාජ්‍ය පාලකයෙක් නැහැ.

රටට සේවය කරන අයගේ මුදල් පසුම්බි තරවෙන එක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. එහෙත් එහෙමයි. අ‍ෙමරිකාවෙත් එහෙමයි. ඔබාමා සෙනෙට් සභාවට තේරිලා පත් වුණාම වයිෆ්ගේ පඩිය ඉහළ ගියා. ඒ අර කරපු වැඩකට නෙ‍මේ. සිරිබිරිස් කාටුනයේ එන මගෝඩිස්තුමා හැමදාම තරබාරු වෙන එක කිසිම රටක නැවතිලා නැහැ.

සමහර විට මනුස්සකම හිඟ උරුමයෙන් ධනවත් වෙච්ච හෝ කොල්ලා කාගෙන ධනවත් වූ අය ‍ළඟ වෙන්නැති. ඒ නිසා මහන්සි වෙලා වැඩක් පළක් කරලා මුදල් හොයාගත්තු අය ළඟ මනුස්සකම නැහැයි කියන එක නම් වැරදියි. එතකොට ඒක අපිත් එක්ක ‍බෙදා නොගන්න අය ළඟ මනුස්සකම නැහැයි කියනවා වගේ කතාවක් වෙනවා. ධනවත් හැමෝම මනුස්සකමෙන් පිරිහිලා ගිහින් නැහැ වගේම අතේ සතේ නැති හැමෝම මනුස්සකමෙන් පිරිපුන් අයත් නෙවෙයිනෙ.

► අරුණි ශපීරෝ