ප්‍රකට ඇමරිකානු සංගීතඥ, කිවියර, ජෝන් මිල්ටන් කේජ් වරෙක කවිය උපදින ආකාරය විග්‍රහ කළේ මේ අයුරිනි.
අපට කිසිවක් හිමි නැති බව වැටහී ගිය විට කවිය උපත ලබයි.
සෝමසිරි ඒකනායකගේ “ඒ රිදුම කොයිතරම් නම් ඉමිහිරි ද” කාව්‍ය සංග්‍රහය ගැන ලියනා මේ කුඩා සටහනට ඉහත ප්‍රකාශය මනා ප්‍රවේශයකැයි මම සිතමි.
පසුගිය කාලය පුරාම අප මුහුණ දුන් බරපතලම ඛේදවාචකය වනුයේ මානව සබඳතාවන් කුරිරු ලෙස බිඳ වැටීමයි. තවදුරටත් අපට වැදගත් වන්නේ මනුෂ්‍ය සබඳතා නොව වාණිජමය වටිනාකමක් ඇති දෑ පමණි. මිනිස්කම යන්න අකුරු අතර ඇති මෝස්තරයක් බවට පටු වී ගොසිණි. පරිභෝජනවාදයේ ඉස්මත්තටම ගොස් අතැති ණය කාඩ්පත් ප්‍රමාණයෙන් අභිමානය මනිනා, වාරික ගෙවීම් මත පඩිපත දියකර හරිමින් දේශප්‍රේමයේ රණ ගී ගයනා, මැතිවරණයක් එළඹුන විට කාට හෝ කතිරය පාවිච්චි කර ඉතිරි මුළු කාලයම දේශපාලකයන්ට හත්පොළේ දිවුරමින් බැණ වදිනා ඡන්දදායකයා අද සුලබය. එමෙන්ම විවිධාකාරයේ විචිත්‍ර චින්තාවන් මවාපාමින් බලයට පැමිණ එසැණින් සිය පුද්ගලික බැංකු ගිණුම ගැන පමණක් කල්පනා කරනා දේශපාලන භාෂාවෙන් දක්ෂිණාංශිකයන්ය කියන්නවුන් මෙන්ම පංති සටනින් තොර ජීවිතයක් ගැන සිතන්නටවත් බැරි සේ හැසිරෙන වාමාංශිකයා ද මේ මොහොතේ එකම පිටපතකට අනුව සිය කොටස රඟපාන්නවුන් ලෙස අපට හමුවෙයි.
අපට හමුනොවන්නේ අපේම මුහුණ පෙන්වන කැඩපත පමණි. සියලු මානව සබඳතා මුදල්මය ගනුදෙනු බවට හැකිළෙන විට සෑම දෙයම ක්ෂණික බවට හැරී ඇති ජීවිතයේ වින්දනයද ක්ෂණික අත්දැකීමක් බවට පත්වෙයි. මළමිනී එකක් දෙකක් නොව සමූහ වශයෙන් දැකීමත් වින්දනයක් බවට පත් සමාජයක කෝච්චියට ගෙල තබා දෙකඩ වූ සිරැරක් යනු මුහුණු පොතේ කොමෙන්ටුවක් වෙනුවෙන් හුවමාරැවන්නකට වැඩි මනත් දෙයක් බවට නොගැනෙයි. ගංවතුරින් කොටසක් අනාථ වනවිට රූපවාහිනියෙන් ඒ නරඹා ගංවතුරේ ඔරු පදින සමාජයක් අද දවසේ උනන්දු වන්නේ සිදුවන අනතුරක මරණ සංඛ්‍යාව ගැන පමණි. මාධ්‍ය ලෝකයද ජනතාවට ප්‍රඥාව ගෙනෙනු වෙනුවට ආතල් සපයන රිපෝටර් ගේ භූමිකාවට පසු බැස ඇති අතර අනෙකාගේ වේදනාව තවදුරටත් අදාළ නොවන මාතෘකාවකි. දුටු තැන සිනහසෙන ජනතාවක් සිටින රට යයි පෙරදී පාසල්වල ආඩම්බරයෙන් ඉගැන්වූ ජනතාවක් ගැන අද ලියන්නට වී ඇත්තේ දුටු තැන අනෙකා සමඟ නොව අනෙකාට සිනහ වෙන ජනතාවක් යනුවෙනි. අප වැටෙමින් ඉන්නා ප්‍රපාතයට පතුළක් නැති තරම යයි කිවහොත් එය අසත්‍යයක් නොවේ. මාක්ස් කී පරිදිම සියලු වෘත්තීන්හි ගරුත්වය කෙලෙසී ගොසිනි. සියලු ඝන ද්‍රව්‍ය දියව ගොසිනි.
“ඒ රිදුම කොයිතරම් නම් ඉමිහිරිද” ඔස්සේ සෝමසිරි ඒකනායක නම් නවකතාකරැවා, කෙටිකතාකරැවා දැන් කවියකු ලෙසද අප හමුවට පැමිණ සිටී. ඔහුගේ කවියෙහි වැදගත්කම ඇත්තේ ඉහත සමාජ සන්දර්භය තුළ ඔහුගේ සමාජ කියවීම අනුවයයි මම සිතමි. ඔහුගේ සමස්ත කාව්‍යාවලිය පුරාම දක්නට ලැබෙන පොදු සාධකයන් දෙකක් මම දකිමි. ඉන් පළමුවැන්න ඔහුගේ සෑම කවියකම පාහේ දක්නට ලැබෙන සන්සුන් නිවුන ස්වරය, ශෝකී තානයයි. එහෙත් ඇවිලයාම ඇත්තේ ද ඒ නිවුන ස්වරයෙහිමය. ඔහු ඉතා සැලකිලිමත් ලෙස තම කවියෙහි අරැත තීව්‍ර වන ආකාරයෙන් වදන් හසුරැවන්නේ කවිය බෙදා ගන්නා රසිකයාට ද කවියාගේ හද රිදුම කෙළින්ම දැනී යන ආකාරයටය. ඒ රිදුමෙහි සමාන අත්දැකීම තුළින් ඔහු තම කවිය පොදු අත්දැකීමක් බවට පෙරළයි.
ඔහුගේ කවියෙහි ඇති දෙවන පොදු සාධකය වනුයේ මානව සබඳතාවන් බිඳ වැටීමේ ඛේදය මනාව ග්‍රහණය කර ගැනීමයි. මේ කවි සියල්ල තුළින්ම අඛණ්ඩව දිව යන හුයක් සේ එය රසිකයාට දැනෙයි. යුද්ධය, දේශපාලන සර්කස් සංදර්ශන, ආර්ථික අර්බුද, අන්තවාදයේ රණගොස මේ සියල්ල මැද තමාට අනෙකා මෙන්ම තමාවද මගහැරෙන මංසන්ධිය ගැන කවියා ඉතා දැනුවත්ය. එහෙයින්ම ඔහුගේ කවිය යනු තම සමාජය පිළිබඳ දේශපාලන කියවීමක් බවද අපට අමතක කළ නොහැකිය. ඔහු අපට මෙසේ පවසයි.
නැත අපට කවියක් කතාවක්
කිසි බිමක කිසි තැනෙක
පරාජිතයා නිමවෙයි හැමවිටම
ජයග්‍රාහකයාගේ පන්හිඳෙන්
ජීවිතය සැබැවින්ම අසීරු ප්‍රයාණයකි. දේශපාලන අරගලයකි. ඒ මගෙහිදී සෝමසිරි කවියා උකටලී වීම පිළිකෙව් කරයි. සිය කවියෙන් ඔහු නව අපේක්ෂාවක කිරණ දහරාවක් දල්වන්නට උත්සුක වෙයි.
ඒත් සියොතුනි මගේ මිතුරනි
ගොළුව හිඳිනට කිම්ද කාරණ
සියක් දහසක් කැකුළු තව ඇති
අවදියෙන් තොප ගී පතාගෙන
අහිමිවීම් දෛනික අත්දැකීම් කරගත් සමාජයක කවියකුට මේ දැක්ම හොඳටම සෑහේ යයි මම සිතමි.
චූලානන්ද සමරනායක