පැරිසිය කියන්නේ ලෝකයේ වැඩියෙන්ම සංචාරකයන් ඇදෙන නගරය කිව්වොත් හරියටම හරි. ඒ නිසාම පැරිසියේ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් එයාලා නිතරම අලුත් අලුත් දේවල් හඳුන්වා දෙනවා. O’naturel කියන්නෙත් එයාලා අලුත් සංකල්පයකට අනුව පටන් ගත් අවන්හලක්. මේකෙ විශේෂත්වය රසවත් කෑම බීමවලට වඩා එහා ගිය දෙයක්. ඒ තමයි මේකෙ කෑම ගන්න පුළුවන් නිරුවතින් විතරයි.
අවන්හලට ඇතුළු වුණාට පස්සෙ මුලින්ම මුණගැහෙන්නෙ ලොකර් පිරුණු කාමරයක්. එතැනදී තමන් ඇඳගෙන ආපු ඇඳුම් එල්ලලා තියලා තමයි කෑම ගන්න තැනට ඇතුළු විය යුත්තේ. කෑම කන කොටසට ඇඳුම් විතරක් නෙමේ, ජංගම දුරකතන කැමරා වගේ දේවලුත් ගෙන එන්න බැහැ.
මේ අවන්හලේ ආහාර ගන්නා අය නිරුවතින් සිටියාට අවන්හල් සේවකයන්ට ඇඳුම් අකැප නැහැ. හැබැයි පැරිසියට පෙර නිරැවත් අවන්හල් පිළිබඳ අත්හදා බැලූ බ්‍රිතාන්‍ය බුන්යාඩි අවන්හලේ නම් සේවකයනුත් උඩුකය නිරුවතින් ඉන්නවා.
O’naturel අවන්හලේ එකවර 40 දෙනකුට ආහාර ගන්න පුළුවන්. යුරෝ 30ක වගේ මිල ගණන්වල ඉඳන් ඉහළට මෙතැනින් ආහාර වර්ග ලබාගන්න පුළුවන්. අනිත් එක මෙතැනට පොඩි ළමයි නාවත් වැඩිහිටියන් අතර වයස් භේදයක් නැහැ. වයස අවුරුදු දහ අටේ මට්ටමේ අයගේ ඉඳන් වයස අවුරුදු හැට හැත්තෑව දක්වා වයස් මට්ටම්වල කට්ටිය එකට වාඩිවෙලා කෑම කනවා. නව යොවුන් වයසේ ඉන්න කෙනෙක්ට මෙතැනට එන්න පුළුවන් වැඩිහිටියෙක් එක්ක විතරයි.
මේ හෝටලය ඇතුළේ ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම තහනම්! හැබැයි එයාලා ප්‍රචාරණය වෙනුවෙන් කලින් අරගත්තු ඡායාරූප කිහිපයක් තමයි මේ පළ කරලා තියෙන්නෙ. ඒවාට අනුව නම් කට්ටිය කිසිම වෙනසක්, ලොකු විශේෂත්වයක් නැතිව සාමාන්‍ය අවන්හලකදී වගේ කෑම කන පාටක් තමයි පේන්න තියෙන්නෙ.
“නිරුවත් බව කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි” අවන්හලේ හිමිකරු මයික් කියන්නේ එහෙමයි. මෙතැනට කෙනෙක්ට එන්න පුළුවන් කල්තියා ආසනයක් වෙන්කරවා ගැනීමෙන් පමණයි. එහෙම වෙන්කරද්දී ඒ කෙනා ගැන ටිකක් විස්තර හොයා බලන බවත් මයික් පවසනවා. ඒකට හේතුව තැනට නුසුදුසු අය ඇවිත් විකාර නටාවි කියන සාධාරණ බයයි.
ප්‍රංශය කියන්නේ නිරුවත් බවට සහ නිරුවතින් සිටීමට එහි ජනතාව උනන්දු කරවන සමාජයක්. ප්‍රංශයේ මේ වන විට උද්‍යාන, බාර්, කඳවුරු, පිහිනුම් තටාක වගේ ජනතාවට නිරුවතින් ඉන්න පුළුවන් ස්ථාන 460ක් විතර තිබෙනවාලු. නිරුවත් අවන්හල් සංස්කෘතිය ප්‍රංශයේ තවදුරටත් ජනප්‍රිය කරන්න තමයි මේ අයගේ අදහස.
♦ රෙහාන්