2018 මාර්තු 24 වන සෙනසුරාදා

ආණ්ඩුව සාහිත්‍ය කලා කොන්කරලා!

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

- චන්ද්‍රරත්න බණ්ඩාර

දිර්ඝ කාලයක සිට කැනඩාවේ ජීවත් වෙමින් පුවත්පතක් සංස්කරණ කරන චන්ද්‍රරත්න බණ්ඩාර නවකතා, කෙටිකතා, කාව්‍ය මෙන්ම සමාජ විචාර ග්‍රන්ථ ද රැසක් පළකළ ලේඛකයෙකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇගැයීම් මෙන්ම ඩී.ආර්. විජේවර්ධන සම්මානය ද ඔහුට හිමිවී තිබේ. ඔහුගේ වළාකුළු බැම්ම නවකතාව චිත්‍රපටයට ද නැගීමට නියමිතය. චන්ද්‍රරත්න බණ්ඩාරගේ අලුත්ම කෙටිකතා කෘතිය “ඊළඟට තනාගත් ලෝකය” සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් කෙරිණි.

අප ඔබ මුලින්ම හඳුනාගන්නේ නවකතාකරුවෙක් විදිහටයි?

ඔව්... මම මුලින්ම ලිව්වේ මෙරු නවකතාව. ඒ 1990 දී. ඒ නවකතාව රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී ප්‍රශස්ත නවකතාවක් ලෙස ඇගැයීමට ලක්වෙනවා.

ඔබට ඊට පසු ඩී.ආර්. විජේවර්ධන සම්මානය හිමි වෙනවා?

1992 දී මා ලියූ වනසපුමල නවකතාව විජේවර්ධන සම්මානයෙන් පිදුම් ලබනවා. මුලින්ම ලියූ නවකතා දෙකම එලෙස ඇගැයීමට ලක්වෙනවා. වනසපුමල කෘතිය ඉංග්‍රීසියටත් පරිවර්තනය වෙනවා. Hostage City නම්වේ. 

ඔබ කෙටිකතාකරණයට එළඹ මේ වනවිට වර්ෂ 28ක් ගෙවී ගිහින් නේද?

ඔව්... මගේ පළවෙනි කෙටිකතා පොත නිකුත් වන්නේ 1990දී. කැණිමඬල ගිනිගත්දා මේ වනවිට අලුත්ම පොතක් සමඟ කෙටිකතා පොත් හතරක් රචනා කර තිබෙනවා. ලෙන්දොර පිපුණු ප්‍රේමය කෙටිකතා පොත Under Current නමිත් ඉංග්‍රීසියටත් පරිවර්තනය වුණා.

“ඊළඟට තනාගත් ලෝකයට” ලැබෙන පාඨක ප්‍රතිචාර ගැන කිව්වොත්?

මේ පොත නිකුත් වී තවම මාස කිහිපයයි ගත වුණේ. මේ නිසා තවම පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ.

ඔබේ අලුත් පොත ගැන අපිට පැවසුවහොත්?

මේක ලිව්වේ විදේශ ගතවෙලා ඉන්න අතරතුර කාලයේ. අපි වගේ අවුරැදු 40 පැනලා පිටරට පංදිචිවෙලා ඉන්න කෙනෙකුගේ මානව සම්බන්ධතා ජාලය වැඩිපුර ක්‍රියාත්මක වන්නේ මව්බිම ඇසුරැ කරගෙන. දැනට පදිංචි රටේ බොහෝ දේවල් දකිමින් ඇසුරු කරමින් ඉන්නා අතරේ මව්බිම සම්බන්ධ අත්දැකීම් මතුවෙනවා. ඒක නෙස්ටොලිජියානු මතකයන් විඳින එක් ආකාරයක්. එම ස්මරණ කෙටිකතා විදිහට නිර්මාණය වීමක් ඊළඟට තනාගත් ලෝකය පොතෙන් දකින්න පුළුවන්. මෙහි කෙටිකතා හතක් තිබෙනවා. 

ඔබ දීර්ඝ කාලයක් තිස්සේ කැනඩාවේ විප්‍රවාසීව දිවිගෙවනවා වුණත් මෙහි තිබෙන්නේ ලාංකීය අත්දැකීම්?

මා මෙයට පෙර ලියූ වළාකුළු බැම්ම නවකතාවේ හරි අඩක් තියෙන්නේ කැනඩාවේ අත්දැකීම්. කෙටිකතා පොතට නිරායාසයෙන්ම ලාංකීය අත්දැකීම් පිවිස තිබෙනවා. මම එසේ සිංහල පත්තරයක් සංස්කරණය කරන නිසා ලංකාවේ අය සමඟ නිතර සම්බන්ධතා පවත්වනවා. අද දියුණු සන්නිවේදන මාධ්‍ය නිසාත් මව්බිම සමඟ නිතර සම්බන්ධ වෙන්න පුළුවන්නේ. ඒවාත් බලපාන්න ඇති මේ කෙටිකතාවලට අත්දැකීම් තෝරා ගැනීමට.

අපේ සාහිතය ඔබ දකින්නේ කෙසේද?

ලංකාවේ අනෙක් කලාවන් කෙසේ වෙතත්, චිත්‍ර ශිල්පයේ හා සාහිත්‍යයයේ දියුණුවක් මම දකිනවා. සාහිත්‍ය සම්මාන තරගවලට ඉදිරිපත් වී ජයගන්නා සහ ප්‍රශස්ත කෘති වශයෙන් තේරෙන පොත් කියවන විට වැටහෙන්නේ ඒවා අලුත් මංසලකුණු සටහන් කරන බවයි. ඒ කතුවරු විශාල වගකීමකින් නිර්මාණ කෘති ලියා ඇති බව පේනවා. දැන් ඉස්සරට වඩා සංඛ්‍යාත්මකවත් නිර්මාණ කෘති බිහිවෙනවා වැඩියිනේ.

ඔබ චිත්‍ර ශිල්පය සහ සාහිත්‍යය පමණක් ඔසවා තබන්නේ ඇයි?

සංගීතය කඩාවැටිලා. නර්තනය, කාව්‍ය, චිත්‍රපට කඩාවැටිලා බවයි මට ‍පේන්නේ.

සාහිත්‍යය දියුණු යැයි කීවත් සිංහල නිර්මාණ කෘති ජාත්‍යන්තරයට යන්නේ නැහැනේ. ඒවා මේ රටට පමණක් සීමාවෙලා?

ඒක එදා ඉඳන් තිබුණු ප්‍රශ්නයක්. මාර්ටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම වගේ අයගේ පටන් නිර්මාණ කෘති බිහිවුණා. ඒවා නිසිලෙස පරිවර්තනය කළොත් සල්මන් රෂ්ඩිට සම තැනක අපේ ලේඛකයන් ඉන්නවා. නූතන ලේඛකයන්ගේ කෘතිවල වුණත් විශේෂ සංස්කෘතික පදාසයක් අනාවරණය කරන තැන් හමුවෙනවා. මේවා ඉංග්‍රීසියට පරිවර්තනය වීමේ වැඩ පිළිවෙළක් තිබෙනවා නම් ලෝකයේ වෙනත් රටවල් අපේ ලේඛකයන් ඉහළින් පිළිගනීවී. නමුත් අවාසනාවට ඒක ලේඛකයෙක්ට කරන්න පුළුවන් වැඩපිළිවෙළක් නොවෙයි.

අපේ රටේ ඉංග්‍රීසියෙන් නවකතා ලියන ලේඛකයෝ කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක්වුණා නේද?

ඔව්... මයිකල් ඔන්ඩච්චි, ෂෙහාන් කරැණාතිලක, සොනාලි දැරණියගල, ෂ්‍යාම් සෙල්ලවදුරෙයි ඒ අතර ඉන්නවා. ඒ අය ලියා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්. ඒ අය සම්මානයට ලක්වන්නේ ඉංග්‍රීසියෙන් ලියන නිසයි.

ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමියක් තිබෙනවා. අපේ රටේ එහෙම දෙයක් ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි?

මේ ආණ්ඩුව වගේම කලින් ආණ්ඩුවත් කලාව තමන්ගේ වපසරියෙන් ඈත් කරලා තිබෙනවා. කලාවට ආණ්ඩුවෙන් කිසිම අනුග්‍රහයක් නොලැබෙන බවයි පෙන්නේ.

කැනඩාවේ සාහිත්‍යයට ලැබෙන්නේ මොනවගේ පිළිගැනීමක් ද?

එහේ සාහිත්‍යයට ඉහළම පිළිගැනීමක් ලැබෙනවා. අපේ ලේඛක මයිකල් ඔන්ඩච්චි කැනඩාවේ ජීවත්වෙන කෙනෙක් නිසා ඔහුටත් විශාල ගෞරවයක් තිබෙනවා. කැනඩාවේ කෝච්චිවල පවා ඔහුගේ කවිවලින් උපුටාගත් කොටස් සඳහන් කර තිබෙනවා. කැනඩාවේ නම් ආරංචිය පැතිර යන්නේ ඔහුට ඉදිරියේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබීමට ඉඩ ඇති බවයි. ඔහු ගැන ලාංකිකයන් ලෙස අපටත් ලොකු ආඩම්බරයක් තිබෙනවා. ඒ වගේම ශ්‍යාම් සෙල්වදුරෙයිගේ පොත් එහේ විශ්වවිද්‍යාලවල අමතර කියවීම් පොත් ලෙස පරිහරණය වෙනවා.

ලේඛකයන් කිහිපදෙනකුගේම විශිෂ්ට කෘති කිහිපයක් ඉංග්‍රීසියට පරිවර්තනය වුණානේ. ගම්පෙරළිය, චරිත තුනක්, ස්වයංජාත වගේ. නමුත් ඒවාට ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකයේ පිළිගැනීමක් ලැබුණේ නැහැනේ?

එතන ප්‍රශ්නයක් තිබෙන්නේ පොත්වල නොවේ. මම නම් හිතන්නේ පරිවර්තනවල තමයි ගැටලුව තිබෙන්නේ. ලංකාවේ වෘත්තීය පරිවර්තකයන් නැහැ. ඒක දියුණු කරගත යුතු විෂයයක්. මටසිළුටු බවේ හෝ වෙනත් ප්‍රශ්නයක් එතැන තිබෙනවා. මම නම් හිතන්නේ අවුරුද්දකට හොඳ පොත් 10ක්වත් ඉංග්‍රීසියට පරිවර්තනය කර පිටරටට යැවිය යුතුයි.

කැනඩාවේ කියවීමේ පුරුද්ද කෙසේද?

එහේ පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට කියවීම හුරැකරනවා. ටෙරොන්ටෝවල රූපවාහිනී චැනල් 200ක් තිබෙනවා. තවත් විනෝද මාධ්‍ය ගොඩාක් තිබෙනවා. නමුත් Best Selling පොත් සෑහෙන්න එහේ පිටවෙනවා. ඒ කියන්නේ පිටපත් ලක්ෂ ගාණක් අලෙවි වෙන පොත්. එහේ පුස්තකාල තිබෙන්නේ පාඨකයෝ එලවාගැනීමට නොවෙයි. කැඳවා ගැනීමටයි. අපේ රටේ නම් ප්‍රාදේශීය පුස්තකාලවල පාඨකයන්ට හිතකර වටපිටාවක් නෑනේ. කියවීමේ රුචිය වර්ධනය කරන වැඩසටහන් රැසක් කැනඩාවේ ක්‍රියාත්මක වෙනවා.

 කුසුම්සිරි