2018 මාර්තු 24 වන සෙනසුරාදා

ෆේස්බුක් එකට ගිය VPN හොර පාර

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 290

ෆේස් බුක් එකට ගිය හොර පාර VPN

සමාජ ජාලා අවහිර කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරා මිශ්‍ර අදහස් අසන්නට ලැබුණ ද බොහෝ දෙනකුගේ මතය වී තිබුණේ එය රජය ගත් අතිශය අදූරදර්ශී තීන්දුවක් බවය. විශේෂයෙන්ම සමාජ ජාලා අවහිර කිරීම ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට රටේ ජනතාවට ඇති මූලික අයිතිවාසිකම බරපතළ ලෙස උල්ලංඝනය වන බව එසේ අදහස් දැක්වූ බොහෝ දෙනකුගේ මතය විය.

එහෙත් සමාජ ජාලා අවහිරතාව එලෙසම තිබියදීත් පසුගිය දින කිහිපය තුළ ලක්ෂ අටකට අධික මෙරට ෆේස්බුක් පරිහරණය කරන්නන් පිරිසක් ෆේස්බුක් වෙත පිවිස තිබූ බවද අනාවරණය විය. ඒ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණය ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලංකා පරිගණක හදිසි ක්‍රියාකාරී සභාව එම සංඛ්‍යා දත්ත මාධ්‍යයට ලබාදීමෙන් අනතුරුවය. 
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සංඛ්‍යා දත්තවලට අනුව එසේ සමාජ ජාලා භාවිත කළවුන්ගේ සංඛ්‍යාව 880,000 ක් පමණ විය. රටේ ෆේස්බුක් තහනමක් තිබියදීත් ඒ කරා ප්‍රවේශ වීමට අවස්ථාව උදාවූයේ කෙසේද? මේ වන විට ඒ පිළිබඳ දැඩි කතාබහක් මතු වෙමින් තිබේ.

මොනවද මේ VPN?

සමාජ ජාලා වාරණයට පෙර අපේ රට තුළ VPN යනු එතරම් හුරුපුරුදු අකුරු තුනක් වූයේ නැත. ස්මාට් ජංගම දුරකතන සහ අන්තර්ජාලය භාවිත කරන අයට මෙම අකුරු තුන අහම්බයෙන් හෝ මුණගැසීමට ඉඩ තිබුණ ද එය හාරා අවුස්සා බැලීමට තරම් අවශ්‍යතාවයක් මෙතෙක් ලාංකිකයන්ට උදාවී නොතිබුණේ යැයි කීම නිවැරදිය. 

VPN යන ඉංග්‍රීසි අක්ෂර තුනෙන් අර්ථවත් වන්නේ virtual private network යන්නයි. එහි ඍජු සිංහල පරිවර්තනය කෙසේ වෙතත් එහි අර්ථය වන්නේ පොදු ජාලයකට සම්බන්ධ වී සිටින අතරේදීම තෙවැනි පාර්ශ්වයක් යොදාගනිමින් පෞද්ගලික ජාලයක් නිර්මාණය කරගැනීමත් එම පෞද්ගලික ජාලය ඔස්සේ අන්තර්ජාලය පරිශීලනය කිරීමකි. 

VPN වැනි තාක්ෂණික යෙදවුමක් ලෝකයට හඳුන්වාදෙන්නේ ඇත්තෙන්ම වාරණය කරන ලද වෙබ් අඩවිවලට පිවිසීමේ අරමුණින් නොවන බවද මෙහිලා සඳහන් කිරීම වටී. VPN හඳුන්වාදෙනු ලැබුවේ විශේෂයෙන්ම පෞද්ගලික ව්‍යාපාර ලෝකයේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙනි. එනම් යම් ආයතනයක සේවය කරන පුද්ගලයකුට කාර්යාලයෙන් බැහැර ස්ථානයක තැනකදී, විදේශ රටකදී පවා තම කාර්යාලයීය තොරතුරු වෙත ප්‍රවේශ වීමේ පහසුව සලසා දිය හැකි විශේෂාංගයක් ලෙසිනි. 

VPN අවභාවිතය

නමුත් VPN භාවිත හෝ අවභාවිත කරමින් රටේ පොදු අන්තර්ජාල පද්ධතියෙන් රිංගා යමින් තමාගේම වූ ජාලයක් (තෙවැනි පාර්ශ්වයක සහාය ලබන) ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් වාරණය කර ඇති වෙබ්අඩවි කරා පිවිසීමේ අවස්ථාව පසුගියදා මෙරට වැසියන්ට උදාවිය. 

එහිදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ අදාළ VPN මෘදුකාංගය ක්‍රියාත්මක වන ස්ථානයේ පිහිටීම යොදාගනිමින් අන්තර්ජාලයට පිවිසීමට ලැබෙන අවස්ථාවයි. විශේෂයෙන්ම සමාජ ජාල භාවිත කළඋන් විවිධ රටවල්වල සිට එම වෙබ්අඩවි කරා සම්බන්ධ වන අයුරු දක්නට ලැබුණේ මේ නිසාවෙනි.

එසේ සමාජ ජාලා වෙත පිවිසීමේ තම අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට බොහෝ දෙනකු යොමු වී සිටිය ද VPN නිසා ඇතිවිය හැකි අනර්ථකාරී තත්ත්වය පිළිබඳ ඔවුන් වැඩිදෙනකු තුළ අවබෝධයක් තිබුණාද යන්න පිළිබඳ මතුවන්නේ සැකයකි.

මන්ද VPN සේවා ලබාදෙන ඇප් මෘදුකාංග රාශියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ (Download) හැකියාව තිබේ. එනිසා එසේ VPN භාවිතයට ගත් බොහෝ දෙනා තමන් භාවිත කරන VPN මෘදුකාංගය හරහා තම ජංගම දුරකතනය හෝ පරිගණකයට හෝ ටැබ්ලට් උපකරණයට හෝ අනතුරක් විය හැකිද යන්න පිළිබඳ සැලකිලිමත් වූවාද යන ගැටලුව මතුවේ. මෙහි වඩාත්ම භයානක කාරණය වන්නේ VPN සේවා ලෙස පෙනී සිටින හැකර්වරුන්ගෙන් හෝ VPN සේවාවට බාධාවන් එල්ල කරමින් දත්ත සොරකම් කරන හැකර්වරුන්ගෙන් එල්ල විය හැකි අනතුරයි.

ඩිජිටල් හොරකම්

ඩිජිටල් ලෝකය තුළ හොරකම් සහ වංචාවන් ද ඩිජිටල් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. සයිබර් ප්‍රහාර ගැන නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙන්නේ එනිසාය. 2017 වසරේදී පමණක් එවැනි සයිබර් අපරාධ 3400 ක් පිළිබඳව වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සභාව ප්‍රකාශ කර තිබුණි. එවන් පසුබිමක ව්‍යාජ මෘදුකාංග අටවාගනිමින් ලොව පුරා වෙසෙන පුද්ගලයන්ගේ රහසිගත දත්ත එකතු කිරීමත් ඒවායෙන් අයුතු ප්‍රයෝජන ගැනීමත් මේ හැකරුන්ගේ විනෝදාංශයක් මෙන්ම ආදායම් මාර්ගයක් ද බවට පත්ව තිබේ.

මෘදුකාංග තාක්ෂණවේදීන් පවසන ආකාරයට VPN පරිහරණය කිරීමේදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ, නොමිලේ ලබාදෙන මෘදුකාංග භාවිතයේදීය. යම් පිරිවැයක්, කාලයක්, ශ්‍රමයක් වැය කරමින් නිර්මාණය කරන මෙවැනි මෘදුකාංගයක් ලෝකයේ ඕනෑම අයකුට නොමිලයේ ලබාදීමට යමකු පෙළඹෙන්නේ නම් එතැන යම් අවදානමක් ද සැඟවී තිබිය හැක.

අද වන විට ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග පිරිනමන ගූගල් ප්ලේ ස්ටෝර් හරහා එවැනි ව්‍යාජ මෘදුකාංග විශාල ප්‍රමාණයක් ජනතාව අතට පත්ව ඇතැයි ද ඒවා හරහා හැකර්වරුන් තම ජාවාරම් කටයුතුවල යෙදෙතැයි ද ලොව පුරා තාක්ෂණ විශේෂඥයන් පවසන්නේ කලක පටන්ය.

වාර්තා වන ආකාරයට කෙ‍නකු රැඳී සිටින ස්ථානය, භාවිත නාමයන් (username) සහ රහස් කේත (passwords), වීඩියෝ සහ ඕඩියෝ දත්ත, වෙබ්අඩවි කරා යෑමේ (web browsing) තොරතුරු පමණක් නොව ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පවා ලබාගැනීමේ හැකියාවක් මෙවැනි මෘදුකාංග හරහා හැකර්වරුන්ට හිමිවේ. විශේෂයෙන්ම VPN වැනි මෘදුකාංගයක් භාවිත වන අවස්ථාවක අන්තර්ජාල ගෙවීම් කටයුතු වැනි යමක් සිදුවුවහොත් එම අදාළ තොරතුරු ද පිටට ගලායෑමේ විශාල අවදානමක් පවතී.

තවත් බරපතළම කරුණක් වන්නේ VPN හරහා පුද්ගල අනන්‍යතාවයන් හැකරුන් අතට පත්වීම නිසා එම අනන්‍යතාවය තම ජාවාරම් කටයුතු සඳහා භාවිත කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවීමය. 

මෙරට සයිබර් ආරක්ෂාව පිළිබඳ පුහුණුව ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන CICRA ආයතනයේ සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී බෝෂන් දයාරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසූයේ ද VPN හරහා පාරිභෝගිකයන්ගේ දත්ත මංකොල්ලකෑමේ විශාල ඉඩකඩක් සයිබර් අපරාධකරුවන්ට හිමිවන බවය. 

කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ මේ දක්වා VPN භාවිතයෙන් සිදුවූ එවැනි අකටයුත්තක් පිළිබඳව මෙරටින් වාර්තා වී නොමැති බවය.

පරිගණක සාක්ෂරතාවයේ ඌණතාව

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කරන බවත් පාසල් ළමුන්ට ටැබ් දීමෙන්, පාසල්වල පරිගණක විද්‍යාගාර ඉදිකිරීමෙන් පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කළ හැකි යැයි බලධාරීන් සිතන බව පෙනෙන්නට තිබේ. එහෙත් සමාජ ජාලා අවහිර කිරීම් හමුවේ ඉවක් බවක් නොමැතිව VPN වැනි මෘදුකාංග භාවිත කරමින් පළ කළ හැසිරීමෙන් පෙනෙන්නට ඇත්තේ ඩිජිටල් ලෝකයේ ක්‍රියාකාරකම් පිළිබඳ සාමාන්‍ය දැනුමක් පවා ලාංකිකයන් සතු නොවන බවය. 

උදාහරණයකට පිටකොටුවේ ඇවිද යන පුද්ගලයකු තම මුදල් පසුම්බියට, ජංගම දුරකතනයට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නිරායාසයෙනි. මන්ද පිටකොටුව යනු ගැටකපන්නන්ගේ තිප්පලක් යන්න සාමාන්‍ය දැනීම හේතුවෙනි. ඒ බව තේරුම් ගැනීමට කෙනකු ගැටකපන්නකුගේ ක්‍රියාවකට මුහුණදිය යුතුම නැත. එවැනි සිදුවීම් පිළිබඳ අසා, බලා දැනුවත් වීමක් තුළින් පිටකොටුවේදී මෙවැනි අනතුරුවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට පූර්ව අවබෝධයක් ගොඩනගා ගනී. 

අපට අවශ්‍යව ඇත්තේ පිටකොටුවේ ගැට කපන්නන්ගෙන් බේරීමට යොදන සැලකිල්ල, අවධානය සයිබර් අවකාශය තුළදීද නිසි පරිදි පවත්වා ගැනීමය. 

♦ රජිත ජාගොඩ ආරච්චි 

හැකර්ස්ලා හැමතැනම හැමවෙලේම විමසිල්ලෙන්
සයිබර් ආරක්ෂණ විශේෂඥ බෝෂන් දයාරත්න 

කෙනෙක් VPN පාවිච්චි කළාට කමක් නැහැ. හැබැයි නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් පොදු VPN එකක් පාවිච්චි කරනවා නම් තත්ත්වය ටිකක් භයානකයි. විශේෂයෙන්ම තමන්ගේ බැංකු සහ මුදල් සම්ප්‍රේෂණ කටයුතු ඒ හරහා සිදුනොකළ යුතුයි. ඒ වගේම VPN ඇප් එකකින් බැංකු ඇප් එකකට ඇතුළු වුණත් රහස් තොරතුරු පිටට යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි හැකර්ස්ලා හැමවෙලාවෙම බලාගෙන ඉන්නේ තමන්ට මොකක් හරි අවස්ථාවක් ලැබෙනකල් තමයි. අවස්ථාවක් ලැබුණු ගමන් එයාලා පහරදෙනවා. 

ඉතින් මීට සති දෙකකට ඉස්සෙල්ලා ලංකාවේ මෙහෙම සයිබර් තහනමක් වැටිලා ඊට පස්සේ මිනිස්සු එකදිගට VPN වලින් ඉන්ටර්නෙට් යන්න ගත්ත එකම හැකර්ස්ලට හොඳ අවස්ථාවක්. ඉතින් හැකර් කෙනෙක්ටත් පුළුවන් තමන්ගේම VPN එකක් හදලා ඒක නොමිලේ ලබාදෙන්න. ඉතින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටර්නෙට් යන කට්ටිය කරන කියන හැමදේම අර හැකර්ට බලාගන්න පුළුවන්. ඔයා යන්නෙ එන්නෙ කොහෙටද? ඔයාගේ බැංකු ගිණුම මොකක්ද? ඒකෙ පාස්වර්ඩ් එක මොකක්ද? මේ සේරම අර හැකර්ට බොහොම ලේසියෙන් අරගන්න පුළුවන්.

පොදු ස්ථානවල තියෙන වයි ෆයි පාවිච්චි කිරීමත් ඒ වගේම අවදානම් අවස්ථාවක්. උදාහරණෙකට කෝපි අවන්හලක් ඇතුළේ තියෙන වයි ෆයි එකකින් අපි ඉන්ටර්නෙට් ගියොත් ඒ නෙට්වර්ක් එක ඇතුළෙ ඉන්න කෙනෙක්ට අපේ විස්තර අරගන්න පුළුවන්. 

අනිත් අතට දැන් කොහොමත් VPN පාවිච්චි කිරීමේ වුවමනාවක් ලංකාවේ අයට නැහැ. සමාජ මාධ්‍ය තහනම දැන් අවසන්නේ. නමුත් ව්‍යාපාරික ලෝකයේ VPN දිගටම භාවිත වෙනවා. උදාහරණයකට අපේ කාර්යාලයේත් එවැනි VPN එකක් භාවිත කෙරෙනවා. එතකොට කාර්යාලයේ නැති සේවකයෙක්ට වුණත් තමන් ඉන්න තැනක ඉඳන් VPN එක හරහා කාර්යාලයේ තියෙන තමන්ගේ වෙනත් මෘදුකාංගවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තටම VPN වල හැබෑ ප්‍රයෝජනයත් ඒක තමයි. 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00